ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය  දැන් ඇති වී තිබෙනවා  – ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියයි

478

තරග ජයග්‍රහණය පිළිබඳව කණ්ඩායම තුළ දැන් හොඳ විශ්වාසයක් ගොඩනැඟී ඇති බවත් මෙවැනි තණතීරුවකදී ඕනෑම ඉලක්කයක් හඹා යා හැකි බවට කණ්ඩායම අධිෂ්ඨානයක පසු වූ බවත් ආසියානු කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති සුපිරි හතරදෙනාගේ තරග වටයේ ලද ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සතුව හොඳ පිතිකරුවන් රැසක් සිටියත් තම පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බවත් කුසල් සහ පැතුම් දෙදෙනාගේ ආරම්භය මෙන්ම භානුක සහ ගුණතිලක දෙදෙනා දක්ෂ ලෙස පන්දුවට පහර එල්ල කළ බවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.

තරගයට පිවිසෙන්නේ කෙසේද, තරගය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳින් අධ්‍යයනය කර මෙම තරගයට අවතීර්ණ වීමේ ප්‍රතිඵලය ක්‍රීඩා පිටියේ දී උදා වූ බවත් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.

ඩිල්ෂාන්, අසිත, මහීෂ් හොඳින් පන්දු යැව්වා. ඒ වගේම වනිඳු හසරංග ගේ පන්දු යැවීමත් අද අමතක කරන්න බැහැ. කුසල් සහ පැතුම් හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම භානුක සහ ගුණතිලක දෙදෙනා එය ජයග්‍රහණය කරා රැගෙන ගියා. සැලසුමකට අනුව ක්‍රීඩා කිරීමෙන් ජයග්‍රහණය පහසු වුණා. මේ වගේ තණතීරුවක ලකුණු හඹා ගොස් ජයගත හැකි බවට විශ්වාසය තිබුණා.”

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු තරගයේදී කණ්ඩායම ලකුණු 105කට දැවී යෑම හේතුවෙන් ඔවුන් සමග මේ තරගයට පිවිසියේ කොහොම හරි ජයග්‍රහණය කළ යුතු යැයි යන මානසිකත්වයෙන් බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසීය.

පළමු පන්දු වාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 83ක් ලබා සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 175න් නතර කර ගැනීමට හැකි වීම ඉතා හොඳ දක්ෂතාවයක් බවද මහීෂ් තීක්ෂණ සඳහන් කළේය.

එහිදි ඇෆ්ගනිස්තාන ඉනිමේ 17 වෙනි සහ 19 වෙනි පන්දු වාර ක්‍රියාත්මක කළ මහීෂ් එම පන්දු වාරයන් දෙක ලකුණු 5කට සහ ලකුණු 3කට සීමා කිරීමට සමත් වූයේ සිය 99 වෙනි පන්දු වාර 20-20 තරගයට සහභාගි වූ ඇෆ්ගනිස්තාන නායකයාගේ ඉනිමද එක ලකුණකට නිමා කරමිනි.

ඊළඟ තරග දෙකද ජයග්‍රහණය කර ‘කප් එක’ අරගෙන ඒම කණ්ඩායමේ බලාපොරොත්තුව වී ඇති බවද මහීෂ් තීක්ෂණ එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ සාජා සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment