ජයග්‍රාහී ගමනකට නැවත ආගමනය මහේල

1756

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර සඳහා මහේල ජයවර්ධන මහතා ඉකුත් සතියේ පත් කරනු ලැබීය. අති සාර්ථක පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තරයේ මහත් කීර්තියක් උසුලන මහේල ජයවර්ධන මහතාගේ එම පත් කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පැත්තෙන් ඉතා සුබදායක කරුණක් බව විචාරක මතයයි. මහේල ජයවර්ධන මහතාගේ එම පත් කිරීම ලබන වසර පුරාවටම ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම සමග බැඳී පවතී.

මහේල ජයවර්ධන මාතා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුරු සඳහා පත් වුණේ මේ පළමු වරට නොවේ. පුහුණු උපදේශක ලෙස ඔහුගේ පළමු ආගමනය සිදු වූයේ පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ය. එවර ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු අදියරේ තරග වදින තෙක්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ගුරුහරුකම් දුන්නේ මහේල ය.

ශ‍්‍රී ලංකාව පළමු වටයේ තරග තුනම පහසුවෙන් ජය ගත්තේය. සුපිරි කණ්ඩායම් 12 වටයට වත් සුදුසුකම් ලබනු ඇතැයි නොසිතූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබුවේ අංක එකේ කණ්ඩායම ලෙස ය. සුපිරි 12 වටයේ දී නික්ම ගිය ද තමා තාක්ෂණය ඔස්සේ ශ‍්‍රී ලංකා කිකට් කණ්ඩායම සමග රැඳී සිටින බව ද මහේල ප‍්‍රකාශ කර සිටියේය.

දින දහයකට පමණ සීමා වුවද මහේලගේ පුහුණු උපදේශක කාර්යය ඉතා සාර්ථක වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දසුන් ශානකගේ මතය විය. මහේල ජයවර්ධන මහතා යටතේ තමන් බොහෝ දේ ඉගෙන ගත් බවද කණ්ඩායමට එම පුහුණු උපදේශනය ඉතා වැදගත් වූ බවද දසුන් ශානක ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කර සිටියේය. එවර දින 10 කට සීමා වූ මහේලගේ පුහුණු උපදේශකත්වය දැන් වසරක් දක්වා දික් වී ඇත. එය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පුහුණු උපදේශයනයක් මතු නොව ආශිර්වාදයක් කර ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වගබලා ගත යුතුය. මහේලගේ පත්වීම පත්වීම සිදු කරනු ලැබුවේ පසුගිය සඳුදාය. ඉන් දින හතරක් ඉක්ම යන්නට මත්තෙන් තවත් සුබ ආරංචියකට ඉඟියක් ශ‍්‍රී ලංකා හිටපු නායක රොෂාන් මහානාම ලබා දුන්නේ ය. තම ක‍්‍රිකට් ජීවිතය පිළිබඳව රචනා කරන ලද ග‍්‍රන්ථයක් එළි දක්වමින් පැවති උත්සවයකදී මහානාම ඒ බව ප‍්‍රකාශ කර සිටියේය.

”ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ආරාධනාවක් ලැබුණොත් මා ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම්”

රොෂාන් මහානාම මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට කතිකාවතක් පසුගිය මාස කිහිපය පුරාවටම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්බන්ධයෙන් ගොඩනැඟී තිබිණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තාක්ෂණ උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මහතා ඒ පිළිබඳව කිහිප වරක් මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබිණි. මුත්තයියා මුරලිදරන් මහතාගේ මතය වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැන් සිටින තත්ත්වය අනුව පුහුණුකරු ධුරය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා රොෂාන් මහානාම මහතා බවය. එහෙත් මහානාම මහතා ඒ පිළිබඳව කිසිවක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර නොතිබිණි.

එම මාධ්‍ය හමුවේදීම මහානාම මහතා තව දුරටත් පවසා සිටියේ මීට මාස හතරකට පමණ උඩදී තමන්ට ඒ පිළිබඳව ආරාධනාවක් ලැබුණු බවත් පුද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් තමන්ට එම අවස්ථාවේදී ඊට පිළිතුරක් ලබා දීමට නොහැකි නොහැකි වූ බවත් ය. ඒ අනුව මහනාම මහතා දැන් පිළිතුරක් ලබා දී ඇත. අවැසි වන්නේ ඒ පිළිතුර ඔස්සේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නගාසිටුවීමට පිළිතුරක් සොයා ගැනීමයි. මහේල ජයවර්ධන මහතා වසරක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමඟ රැඳී සිටීම එම පිළිතුරට ලැබුණු ධනාත්මක බවකි. දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට කොහොමත් ඇබෑර්තුවක් ඇත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර දැරූ මිකී ආතර් මහතා පසුගියදා එම තනතුරට සමු දීමත් සමඟ එම ඇබෑර්තුව ගොඩනැඟිණි. ජාතික කණ්ඩායමක පුහුණුකරු ධුරය යනු ඉතා බැ?රුම් වගකීමකි. ඒ සඳහා නියම සුදුස්සෙක් තෝරා ගැනීම ජාතික කණ්ඩායමේ මතු නොව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රගමනයට ද හේතුවක් වනු නොඅනුමානය. ශ‍්‍රී ලංකා කණ්ඩායම සතුව මෙතෙක් සිටි පුහුණුකරුවන් අතරෙන් වැඩි දෙනෙක් විදෙස් පුහුණුකරුවන් ය. ඒ බව නොරහසකි. එහෙත් ඒ විදෙස් පුහුණු කරුවන් ක‍්‍රීඩකයන් සමග පවසන දේ කණ්ඩායමේ වැඩි දෙනෙක් හට නොතේරීම ප‍්‍රසිද්ධ රහසකි. ඊට හේතුව භාෂා ප‍්‍රශ්නය යි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු ලෙස අවසාන වශයෙන් කටයුතු කළ මිකී ආතර් මහතා විනාඩි 40ක පමණ උපදේශනයක් පැවැත්වුවද ඔහු කීවේ කුමක්දැයි තවත් පැය හතරක් පමණ යනතුරු සිහි එළවා ගැනීමට නොහැකි වන බහුතරයක් කණ්ඩායමේ සිටිති. මිකී ආතර් මහතාගේ උපදේශන මතු නොව හෙට දිනයේ තවත් විදෙස් පුහුණුකරුවකු පැමිණියද සිදුවන්නේ මේ දෙයමය. මිකී වෙනුවට රිකී පොන්ටින් ආවද, ඇන්ඩි ෆ්ලවර් ආවද නැත්නම් ලාන්ස් ක්ලූස්නර් ආවද සිදුවන්නේ එයමය. ඔවුන් සිංහල ඉගෙන ගන්නා විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැටෙන්න ඕන තැනට වැටී තිබිය හැක. එසේ නැත හොත් කණ්ඩායමේ සියලූ ක‍්‍රීඩකයන් ක‍්‍රිකට් ගැසීම පසෙක තබා චතුර ලෙස ඉංග‍්‍රීසි කතා කරන්නට, තේරුම් ගැනීමට ඉංග‍්‍රීසි පන්තියකට යවන්නට සිදුවනු ඇත. නැත් නම් ක‍්‍රිකට් පුළුවන්කම පැත්තක තබා ඉංග‍්‍රීසිවලට ආචාර්ය උපාධියක් ඇති යන්තම් බෝලෙට බැට් එකෙන් ගසන්නට හැකි පිරිසක් ජාතික කණ්ඩායමට බඳවා ගත යුතුය.

විදේශ පුහුණුකරුවන් අපට ඇලජික් යයි අපි නොකියමු. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග‍්‍රහණය කළේ ද විදෙස් පුහුණුකරුවකු යටතේ බව අමතක නොකළ යුතුය. ඔහු ඬේව් වට්මෝර් වේ. එමෙන් ම ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබූ බොහෝ ජයග‍්‍රහණ පිටුපස සිටියේ ද විදෙස් පුහුණුකරුවන් ය. එහෙත් එම කාල වකවානුවේදී කණ්ඩායමේ රැඳී සිටි ක‍්‍රීඩකයන් සහ දැන් සිටින ක‍්‍රීඩකයන් අතර බොහෝ වෙනස්කම් වේ. ශ‍්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජයග‍්‍රහණය කළේ ඉතා පරිණත කණ්ඩායමක් සමගිනි. වසර ගණනාවක් පුරා කණ්ඩායම තුළ අඛණ්ඩව රැඳී සිටිමින් ඔවුන් සතුව තිබූ අත්දැකීම් බහුල විය. ඉංග‍්‍රීසි භාෂා ඥානයෙන් ද දැන් සිටින ක‍්‍රීඩකයන් ට වඩා ඉහළින් සිටියේය. ඒ නිසා වට්මෝර් කියූ දෙය කණ්ඩායමේ භාගයයකටත් වඩා හොඳින් ම අවබෝධ විය. තවත් භාගයකට අඩු පිරිසක් ඒ කියූ දෙයින් සියයට 60 කට වඩා තේරුම් ගැනීමට සමත් වූහ. ඒ නිසා පුහුණුකරුවා කියූ දෙය අන්ඩර දෙමළ නොවීය.

එහෙත් දැන් ජාතික කණ්ඩායමේ තත්ත්වය ඊට වෙනස්ය. කණ්ඩායමේ සිටින බහුතරයක් දෙනා ඉතා නවක ක‍්‍රීඩකයෝ වෙති. අත්දැකීම් අඩුය. චතුර ලෙස ඉංග‍්‍රීසි කතා කිරීමේ සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් කියන යමක් ඉතා හොඳින් වටහා ගැනීමේ හැකියාවන් යුතු පිරිස ද අල්පය. එහෙත් භාෂා ප‍්‍රශ්නය මතම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුර ස්වදේශිකයකුට ලබා දීම යුතු නොවේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර මෑත අතීතයේ දී ශ‍්‍රී ලංකික විසින් දරන ලද්දේ චන්දික හතුරුසිංහ මහතා විසිනි. බංගලිදේශයේ දී ඉතා සාර්ථක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටී හතුරුසිංහ මහතා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. එහෙත් සිදුවූයේ හතුරුසිංහ පුහුණුකරුවකු ලෙස එතෙක් ලබාගෙන සිටි කීර්ති නාමයටද ඉන් කැළලක් එකතු වීමයි. ශ‍්‍රී ලංකාව ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ හොඳ ජයග‍්‍රහණ ලැබුවේ නැත. ශ‍්‍රී ලංකාවට හතුරුසිංහ එපා විණි. ගිවිසුම් කාලයටද පෙර හතුරුසිංහට යන්න කීවේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් එවැනි අතීතයක්ද ඇත. මිකී ආතර් මහතාද එතරම් සාර්ථක නොවූවෙකි. ටෙස්ට් තරග දාහතරකින් ඔහු යටතේ ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළේ ටෙස්ට් තරග 4 කි. එක් දින තරග 17 න් හතකි. පන්දුවාර විස්සයි විස්ස තරග 21 කින් ජයග‍්‍රහණය කළ තරග ගණනද හතකි. හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වූ ලසිත් මාලිංග මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ තාක්ෂණික ඥානය සපිරි පුහුණුකරුවකු නොව උපායමාර්ගික දැනුමෙන් පරිපූර්ණ පුහුණුකරුවකු බවයි. මහේල ජයවර්ධන මහතා ඒ අතින් ඉහළින්ම සිටින්නෙකි. එසේම රොෂාන් මහානාම මහතා විනයට මුල් තැන දෙන තමන්ට භාර දුන් කාර්යය හරියට ඉටු කරන්නකු ලෙස ප‍්‍රකටය. අදාළ මාධ්‍ය හමුවේදී රොෂාන් මහානාම මහතා තව දුරටත් පවසා සිටියේ පුහුණුකරුවකුට සියල්ල වෙනස් කළ නොහැකි බවත් ප‍්‍රතිඵලය එන්නේ සියලූ දෙනා කණ්ඩායමට එකාවන්ව ලබා දෙන සහයෝගය මත බවය.

මහානාම මහතා පවසන පරිදි කණ්ඩායමේ සියලූ දෙනාගේ ජවය එක මිටකට ගත හැකි පුහුණුකරුවකු ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙත ලබාදීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වගකීමකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment