ජයන්ත සමරවීර රාජ්‍ය ඇමැති ධුරය අත්හරී

532

ගුදම් පහසුකම්, බහාලූම් අංගණ, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ (08වැනිදා) පස්වරුවේ ප‍්‍රකාශ කළේය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කිරීමක් ලෙස මෙලෙස තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඒ මහතා කියා සිටියේය.

පෙරේදා (07වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි තමන් එම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් මගින් භාර දුන් බව ඊයේ (08 වැනිදා) පස්වරුවේ ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද කීය.

අපේ රටටත් ජනතාවටත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට ඉවහල්වුණු 69 ලක්‍ෂයේ ඓතිහාසික ජනවරටමත්, 2/3ක පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කරපු අගෝස්තු 05 ලැබුණු සුවිශේෂී ජනවරමටත් අපේ ආණ්ඩුවටත් හතුරු දුෂ්ට කුමන්ත‍්‍රණයක් මේ මොහොත වන විට ක‍්‍රියාත්මක වෙනවා. අද අපේ රට ඉතිහාසයේ ගැඹුරුතම අර්බුද සුළියට මුහුණදී තිබෙනවා. සකලවිධ ලක්වැසි ජනතාව ඒ අර්බුද වළල්ලේ රුදුරු ග‍්‍රහණයට නතුවෙලා. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න නැතිව සියදිවි හානිකර ගන්න පියවරුන්ගෙන්, ඉන්ධන පෝලිම්වල ඉන්න මිනිස්සු ගුටි ඇනගන්නා තත්ත්වයන්ට, ගමේ තේ කඬේ සිට නගරයේ ආපනශාලාව විතරක් නොවෙයි මහා පරිමාණ හෝටල් දක්වා ගෑස් හිඟය නිසා වැසී යන තත්ත්වයන්ට, තමන්ගෙ කර්මාන්තයට ඕන කරන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කර ගැනීමට නොහැකිව තතන තතන ඉන්න කර්මාන්තකරුවන් වැනි තත්ත්වයකට අද අපේ රට මුහුණදී තිබෙනවා.

මේ පරපීඩක තත්ත්වයෙන් මේ ඉතාම ගැඹුරුතම අර්බුදයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීම මේ ජනවරම නිර්මාණය කරන්න කැපවුණු දේශපාලන පක්‍ෂයක ඒ වගේම සහෝදර පක්‍ෂවල පැහැර හැරිය නොහැකි වගකීමක් බව අපි ඉතා තදින් විශ්වාස කරනවා. එකී වගකීම දෙවුරට ගත් අපේ පක්‍ෂය ජාතික නිදහස් පෙරමුණත් අපත් සමග එකට බැඳී සිටින සහෝදර පක්‍ෂ 10කුත් ආණ්ඩුව තුළ තමන් නියෝජනය කරන ආයතනවල, කැබිනට් මණ්ඩලය තුළ, රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය තුළ, ආණ්ඩු පක්‍ෂය තුළ, පාර්ලිමේන්තුව තුළ මේ ගැඹුරුතම අර්බුද සුළියෙන් රටත් ජනතාවත් ගලවා ගැනීම සඳහා වන යෝජනා විටින් විට කඩින් කඩ දිගටම ඉදිරිපත් කළා. නමුත් එම යෝජනාවලට නිසි සැලකිල්ලක්, නිසි අවධානයක් ඇතිවුණේ නෑ. ඒවා පිළිබඳ සාධනීය සංවාදයක් ආණ්ඩුව තුළ ඇති වුණේ නෑ. ඒවා බැහැර කළේ බොහොම නිද්‍රාශීලි ලෙස නොදුටු දෑසින්, නොඇසි කනින් යුතුව අඳ ගොළු බිහිරන් සේ ආණ්ඩුවේ ඇතැම් නායකයන් එම සාධනීය යෝජනා බැහැර කළා. ඊට පස්සේ මේ දුෂ්ට අර්බුද සුළියෙන්, දිග්ගැස්සෙන අර්බුද වළල්ලෙන් ලාංකීය ජනතාව ගලවා ගැනීමේ පරම අභිලාෂයෙන් යුක්තව ජාතික නිදහස් පෙරමුණත් සහෝදර පක්‍ෂ 10ත් එකතුව මේ ආණ්ඩුව නිර්මාණය කරන්න කැපවුණු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මේ රට පැවරීමට ඉවහල්වූ අගෝස්තු 05 ජනවරම නිර්මාණය කරන්නට පුරෝගාමීව දායකවූ මේ රටට ආදරය කරන මහා ස`ගරුවන, දේශපේ‍්‍රමී විද්වතුන්, වෘත්තීයවේදීන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සාහිත්‍යධරයන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් පමණක් නොවෙයි මේ ජනවරමේ අයිතිකරුවන් වූ දිස්ත‍්‍රික්, ප‍්‍රාදේශීය නායකයන්, ජනවරමේ සැබෑ නිර්මාපකයෝ කැඳවලා ඉකුත් 02 වැනිදා මුළු රටම හරිමගට නම්වූ ජාතික ප‍්‍රකාශනය අප විසින් එළිදැක්වූවා.

ඒක අපි කළේ අපේ රටත්, පීඩාවෙන්, පීඩාවට පත්වූ ජනතාවත්, මේ ආණ්ඩුවත් ගලවා ගැනීමේ පරම සත්භාවය ඇතිවයි. ජනතාව පිළිබඳ අපේ මාතෘ භූමිය පිළිබඳ අපට තිබෙන අනුරාගී හැ`ගීම ඇතිවයි. නමුත් මොකද වුණේ? විය යුතුව තිබුණේ කුමක්ද? විය යුතුව තිබුණේ මේ අප විසින් ඉදිරිපත් කළ මුළු රටම හරි මගට ජාතික ප‍්‍රකාශනය ආණ්ඩුව තුළ සංවාදයට ගෙන ඒවායේ තිබෙන සාධනීය යෝජනා ක‍්‍රියාත්මක කිරීම පිණිස සමාජ සංවාදයක් පණගන්වන එක. ඒ සමාජ සංවාදයත් ආණ්ඩුව ඇතුළේ තිබෙන සංවාදයත් ප‍්‍රයෝජනයට ගෙන මේ යෝජනා ක‍්‍රියාවට නංවා මේ අර්බුද වළල්ලෙන් ජාතියත් රටත් ගලවා ගන්න එක තමයි කරන්න නියමිතව තිබුණේ. නමුත් මොකක්ද වුණේ? ආණ්ඩුව තුළ සිටින දුෂ්ට මෙහෙයුම්කරුවන් 69 ලක්‍ෂයේ ජනවරම පිළිබඳ කිසිම තැකීමක් නොකරන දුෂ්ට මෙහෙයුම්කරුවන් අගෝස්තු 05 සුවිශේෂී ජනවරම පිළිබඳ කිසිම තැකීමක් නොකරන දුෂ්ට මෙහෙයුම්කරුවන්, අප විසින් ඉදිරිපත් කළ මුළු රටම හරි මගට යෝජනාවලිය පිළිබඳ සාකච්ඡුාව ක‍්‍රියාත්මක කරනවා වෙනුවට ඒ පණිවිඩය තේරුම් ගන්නවා වෙනුවට ඒ පිළිබඳ ඇහැක් ඇරල බලන්නැතුව ඒ පණිවිඩකරුට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

ඒ රට නිසිමගට හරිමගට ගැනීමට පොර බදපු, විමල් වීරවංශ මහතා, 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වූ මොහොතේ සිට හිරේ විලංගුවේ වැටි වැටී මේ ජනවරම නිර්මාණය කිරීමට ඔහු කළ සුවිශේෂී කාර්යභාරය ඔබ දන්නවා. උදය ගම්මන්පිල මහතා මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ මේ බලවේගය බලයට ගෙනඒම සඳහා හිරේ විලංගුවේ වැටි වැටී ඔහු කළ සුවිශේෂී කාර්යභාරය.

ඔවුන් දෙදෙනා සමග අපේ සහෝදර පක්‍ෂ නායකයන් මේ මුළු රටම හරි මගට යෝජනාවලිය ඉදිරිපත් කළේ එය ආණ්ඩුව නිසි ලෙස ප‍්‍රයෝජනයට ගෙන රට නිසිමගට හරවාවි යන පරම විශ්වාසයෙන්. නමුත් මේ දුෂ්ට මෙහෙයුම්කරුවන් කළේ රට හරි මග ගෙනියනවා වෙනුවට රට මහමගට වැටෙන පරිද්දෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් හෙබවූ අමාත්‍යධුරවලින් ඔවුන්ව ඉවත් කිරීමයි. අපි විශ්වාස කරනවා ඉතාම තදින් මේ රටට හතුරු ජනතාවට හතුරු ජන වරමට හතුරු, ආණ්ඩුවට හතුරු මේ දුෂ්ට මෙහෙයුම්කරුවන්ගේ ප‍්‍රහාරය මේ ජනවරම නිර්මාණය කරන්න කැපවුණු කිසිවෙක් ඉවසන එකක් නැහැ. යුක්තිය පිළිබඳ අබමල් රොනක හැ`ගීමක් තියෙන කිසිවෙක් ඉවසා දරාගෙන ඉන්න එකක්. නෑ. සාධාරණය පතන කිසිවෙක්, හෘදසාක්‍ෂියක් තියෙන කිසිවෙක් මීට අනුකූල වෙන එකක් නෑ.

69 ලක්‍ෂයේ ජනවරම නිර්මාණය කරන්න කැපවුණු ඒ වගේම අගෝස්තු 05 ඓතිහාසික පාර්ලිමේන්තු 2/3ක බලය නිර්මාණය කරන්න කැපුවුණු දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයෙක් ලෙසත් ලක්‍ෂ සංඛ්‍යාත ජනයාගේ ඡුන්දවලින් පාර්ලිමේන්තුවට පිවිසි මහජන නියෝජිතයෙක් ලෙසත් හෘදසාක්‍ෂියක් තිබෙන කශේරුකාවක් තිබෙන රටවැසියකු ලෙසත් අඳුරු තිත්ත කළුවර මැද ඇත්ත දකින ඇස් දෙකකින් හෙබි පුරවැසියකු ලෙසත් මේ රටට හතුරු ජනතාවට හතුරු ජන වරමට හතුරු ආණ්ඩුවට හතුරු දුෂ්ට සතුරු අමනෝඥ ප‍්‍රහාරය ඉවසන්න අපි සූදානම් නෑ. ඒ නිසා තවදුරටත් ඉවසා සිටීමෙන් වෙන්නේ මේ සතුරු මෙහෙයුමේ දිග එළිවෙන එක. ඒ නිසා අපි තීන්දු කළා මේ සතුරු මෙහෙයුමේ ප‍්‍රහාරයට එදිරිව මේ දුෂ්ට මෙහෙයුමට එදිරිව ගෝඨාභය රාජපක්‍ෂ පාලනයේ අප මෙතෙක් හෙබවූ ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පෙරේදා (07වැනිදා) සිට ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත දැනුම් දුන්නා.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment