ජයසිරිමහ බෝධිය ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ උඩමළුවේ නාහිමිපාණෝ

195

ආදාහන පූජෝත්සවය අද

1953 ජනවාරි මස 02 වන දින මාතලේ දිසාවේ පල්ලේගම ග්‍රාමයේ
දුක්ගන්නා වලව්වේ දී උපත ලැබූ මේ පින්වත් කුමරා හත්වන වසර දක්වා පාසල් අධ්‍යාපනය ලැබීය

වැඩිදුර අධ්‍යාපනය සඳහා සිය සහෝදර පල්ලේගම හේමරතන හිමියන්ද
සමග මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට භාරකරන ලදහ

1975 වසරේදී හේමරතන හිමි සමග උපසම්පදාව ද ලබාගත්හ

1995 වසරේදී රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධුරයට පල්ලේගම සිරිනිවාස
නාහිමියන් පත්කරන ලද්දේ ගුරුදේව ඤාණරතන හිමියන් විසිනි

1997 ජුනි 07 වන දින අටමස්ථානාධිපති පදවියට පත් කරන ලදී

අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක,
අග්ගමහා සද්ධම්මජොතිකධජ, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ
මඳකලක් රෝගාතුරව වැඩ සිට අපවත් වී වදාළහ.

1953 ජනවාරි මස 02 වන දින මාතලේ දිසාවේ පල්ලේගම ග්‍රාමයේ දුක්ගන්නා වලව්වේ දී උපත ලැබූ මේ පින්වත් කුමරා හත්වන වසර දක්වා පාසල් අධ්‍යාපනය ලැබීය. 1968 වසරේ අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යාරාමයේදී පල්ලේගම ධම්මරක්ඛිත, පල්ලේගම ඥානරතන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් ප්‍රවෘජ්‍යාභූමියට ඇතුළත් විය. මූලික ශාසනික අධ්‍යාපනයෙන් පසු මහා විහාර පිරිවෙණට විධිමත් අධ්‍යාපනය සඳහා ඇතුළුව වසර කීපයක් එහි උගෙනුම සිදුකළ නවක සිරිනිවාස හිමියෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා සිය සහෝදර පල්ලේගම හේමරතන හිමියන්ද සමග

මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට භාරකරන ලදහ. විද්‍යෝදය පිරිවෙණේදී සම්ප්‍රදායික භික්ෂු අධ්‍යාපනය ලැබූ සිරිනිවාස හිමියෝ විද්‍යෝදය ශාඛාවක් වූ සඳලංකාවේ ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙණට ඇතුළු කරන ලද්දේ සති අන්තයේ අනුරාධපුරයට වැඩම කිරීමට පහසු වීම සඳහාය.

එහිදී අ.පො.ස. සා පෙළ සමත් වූ තරුණ සිරිනිවාස හිමියෝ සපිරුණු විසි වයසේදී මහනුවර මල්වතු මහා විහාරයෙන් 1975 වසරේදී හේමරතන හිමි සමග උපසම්පදාව ද ලබාගත්හ. 1977 වසරේදී අටමස්ථානාධිපතිව වැඩ විසූ හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පල්ලේගම ඤාණරතන නාහිමියන් අටමස්ථානාධිපති ධුරයට පත්වූ අතර තරුණ සිරිනිවාස හිමියන්ට ද අටමස්ථානයේ යම් යම් වගකීම් වැඩි වැඩියෙන් පැවරෙන්නට විය. කෙසේ වෙතත් තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා ආචාර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි හුණුපිටිය ගංගාරාම පිරිවෙණට ඇතුළුව උසස් පෙළ විභාගයට පෙනී සිට උත්තීර්ණව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1988 වසරේ දී ශාස්ත්‍රවේදී උපාධිය ද ලබාගත්හ. අනතුරුව තම නිත්‍ය වාසය සඳහා බෝමළුව හා විහාරයට වැඩම කළේ ජයසිරිමහා බෝහාමුදුරුවන්ට නිත්‍ය උපස්ථානයට උන්වහන්සේ තුළ තිබූ බලවත් ආසාව නිසාමය. එහෙත් උන්වහන්සේට තවත් වගකීමක් අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගෙන් 1989 වසරේදී පැවරිණ. ඒ එවක ප්‍රතිසංස්කරණය වෙමින් පැවති මිරිසවැටි චෛත්‍යාරාමයේ දාගැබ්වහන්සේගේ කටයුතු ඉක්මන් නිමාවක් දැකීමේ අදහසිනි. කාගේත් ගෞරව ආදරය ලබමින් මිරිසවැටි චෛත්‍යය නිමකොට එය විවෘත කිරීමේ උත්සවය 1993 සහ පොසොන් පුන් පොහෝ දින ජනපති ප්‍රේමදාස මැතිතුමා අතින් විවෘත කිරීමට කටයුතු සූදානම් කරමින් තිබිණ.

එහෙත් කවුරුත් නොසිතූ පරිදි ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවයට පත්වීමෙන් පසුව එම වගකීම පැවරුණේ එවක ජනාධිපති ඩී. බී. විජේතුංග මැතිතුමන්ටය. එතුමන් විසින් 1993 ජුනි 04 වන දින කොත් වහන්සේ නිරාවරණය කෙරිණ. ඒ කටයුතු අවසන් වීමෙන් පසුව අභයගිරි විහාරාධිකාරීව වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ධුරයට තරුණ සිරිනිවාස නාහිමියන් පත් කරන්නට යෙදින.

ජයසිරිමහ බෝධිය ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ උඩමළුවේ නාහිමිපාණෝ

එම තනතුරේ ද කටයුතු සිදු කරන්නට වූයේ වසරක් පමණි. 1995 වසරේදී රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පදවිය ඉසිලූ ඇතිනිමලේ ගුණරතන නාහිමියන් වහන්සේ අපවත්වීමෙන් පසුව 1995 වසරේදී රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධුරයට පල්ලේගම සිරිනිවාස නාහිමියන් පත්කරන ලද්දේ ගුරුදේව ඤාණරතන හිමියන් විසිනි. 1997 වසරේදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිරේවත ඤාණරතන නාහිමියෝ රෝගාතුරව අපවත් වී වදාළහ.

තදනන්තරව අටමස්ථාන සභාව 1997 ජුනි 07 වන දින අටමස්ථානාධිපති පදවියට පත් කරන ලදී. ඒ සමගම ඤාණරතන නාහිමියන් දැරූ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය ද මල්වතු සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් වෙත පත්කරන ලද්දේ ‘සිරිසුමන ධම්මරක්ඛිත’ යන ගෞරව අභිධානය ද සමගිනි.
එවක 44 වන විය පසුවූ සිරිනිවාස නාහිමි, ලාබාලතම අටමස්ථානාධිපතීන් වහන්සේ වූහ.

පල්ලේගම සිරිනිවාස නාහිමි, මුල්වරට බෝමළුවට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ තුළ ඇති වූ සිතිවිල්ල නම් දෙවෙනි රන් වැටක් ජයසිරිමහ බෝධියට ඉදිකළ යුතු බවය.

1999 වසරේ දී විවිධ පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් ඒ කටයුත්ත ආරම්භ විය. 2001 වසරේදී නව අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයසිරි මහබෝධිය වන්දනාවට බෝමළු විහාරයට පැමිණීමත් සමග මේ දෙවන රන් වැට පිළිබඳව අගමැතිවරයාට දැනුම්දීමෙන් පසු ඒ සඳහා උපදේශක සභාවක් හා රන්වැට අරමුදලක් ද පිහිටුවීය.

මන්දගාමීව පැවති ඒ කටයුතු 2002 දෙසැම්බර් වනවිට අවසන් විය. එය එවක ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අතින් 2003 වෙසක් මස 14 වැනි දින විවෘත කෙරිණ. අටමස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිනිය විසින් ශ්‍රී මහා බෝධි පහළ මළුවේ ආරක්ෂක ගේට්ටු 5ක් සවිකරන ලදී. පසුව අගමැති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් බෝමළුව වටා පෙරහැර මාර්ගය ප්‍රතිසංස්කරණය කොට 2004 වසරේදී පෙරහැර මාවත විවෘත කරවා ගත්හ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, 2005 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එවක ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ජයශ්‍රී බෝධිරාජයාණන් වහන්සේගේ ප්‍රවේශද්වාරය වෙනස් කොට එම පරිශ්‍රයට විශාල ගෞරවයක් ලැබෙන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කොට නව මාර්ග ඉදිකරවා රථගාල්, ආරක්‍ෂක කුටි පමණක් නොව අධිආරක්‍ෂිත කැමරා පද්ධති ද සකස්කොට සුවිසල් දියුණුවක් ශ්‍රී මහාබෝධි පරිශ්‍රයට සිදුකරන ලදී.

ත්‍රිවිධ හමුදාවේ මෙහෙයවීමෙන් ආවාස, දාන ශාලා, සම්මුඛ ශාලා, සම්මන්ත්‍රණ ශාලා වශයෙන් ඓතිහාසික මහා විහාරය සිහිගන්වමින් විශාල සේවයක් සේවාවක් සිදු කළේය. ශ්‍රී මහාබෝධීන් වහන්සේට මහත් ගෞරවයක්, ශ්‍රද්ධාවක් ඇතිව සිටි සිරිනිවාස නාහිමියෝ එහි පෞරාණික චාරිත්‍ර ඉටුකිරීමට සම්ප්‍රදායික ගෞරවය රැකීමට බලවත් උනන්දුවක් දැක්වූහ.

විවිධ රටවලට ශ්‍රීමහා බෝධි ශාඛා ඉල්ලුම් කළත් නිසි ගෞරවය සැලසෙන ස්ථානවලට පමණක් එය පරිත්‍යාග කළහ. ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ මතු ආරක්‍ෂාව සඳහා ‘රන්වැට භාරකාර මණ්ඩලය’ නමින් සංස්ථාපිත ආයතනයක් පිහිටුවා එහි කාර්යාලයක් අගනුවර ස්ථාපනය කරන ලදී.

උන්වහන්සේ කලක පටන් තරමක් රෝගීව වැඩසිටියහ. ලෝකයේ බොහෝ රටවල සංචාරය කර ඇති උන්වහන්සේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට ද බෙහෙවින් ලැදිය. ගුරු භූමියට මහත්සේ ගෞරව කළහ. තොරතුරු විමසූහ. හමුවන හැමවිටම අප සමග තොරතුරු කතා කළහ.

විදේශ ගමන්වල දී අප සමග එකට එක්ව කටයුතු කළහ. අපගේ කල්‍යාණ මිත්‍රයකු වූහ. කොපමණ සෙනඟ සිටියත් අපව දුටු පමණින් පිළිසඳරෙහි උත්සුක වූහ. අපගේ ඉල්ලීම පරිදි ලෝක බෞද්ධ මහා සම්මේලන සභාවාරයක් මහා විහාර පරිශ්‍රයේදී අත්‍යාලංකාරයෙන් සිදුකොට ආගන්තුක සත්කාර ද පවත්වන ලදී.

උන්වහන්සේ බලාපොරොත්තු නොවූ අවස්ථාවක අපවත්වීම සම්බුද්ධ ශාසනයට, අනුරාධපුර අටමස්ථානයට ද පිරිමැසිය නොහැකි පාඩුවකි. උන්වහන්සේ පතන බෝධියකින් නිවන් සුව පසක් වේවායි ප්‍රාර්ථනා කරන අතර මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ සංවේගය පළකර සිටිමි.

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි
– කුලපති රුහුණු විශ්වවිද්‍යාලය මාලිගාකන්දේ විද්‍යොදය පරිවේණාධ්‍යක්‍ෂ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක

advertistmentadvertistment
advertistmentadvertistment