ජය ඝෝෂා මැද රන්ජන් එළියට

252

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසරයි මාස 7 යි දින 14ක් තිස්සේ සිරගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (26 වැනිදා) සවස ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කරන ලදී.

නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා පිළිගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු අති විශාල ජනතාවක් රැස්ව සිටියහ.

රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙද්දී එහි රැස්ව සිටි ජනතාව ප්‍රීඝෝෂා පවත්වමින් ඒ මහතා පිළිගැනීමට කටයුතු කළහ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවූ රන්ජන් රාමනායක මහතා ඉකුත් 2021 වර්ෂයේ මාර්තු මස 12 වැනිදා වසර 4ක සිරදඬුවමක් නියම කරන ලදී.

දඬුවම් ලැබීමෙන් පසු ඒ මහතා සති 2ක කාලයක් පල්ලන්සේන පුනරුත්ථාපන කඳවුරේ රඳවා සිටි අතර පසුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබිණි.

වසරකට ආසන්න කාලයක් එම සිර කඳවුරේ රඳවා සිටි රාමනායක මහතා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යවන ලදී.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා කීපයකදී එවකට ජනාධිති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිය ද එසේ නිදහස ලබාදී තිබුණේ නැත.

කලාකරුවන් ස්වෙච්ඡා සංවිධාන විවිධ දේශපාලනඥයන් විසින් රන්ජන්ට නිදහස ලබාදෙන ලෙස කළ ඉල්ලීම් බැහැර කෙරිණි.

පසුගිය අරගලයෙන් පසු නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසු රාමනායක මහතාට නිදහස ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි.

ඒ අනුව බන්ධනාගාරයේ අධිකරණයේ අනුමැතිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක මහතාට කොන්දේසි සහිතව නිදහස ලබාදීමට කටයුතු කරන ලදී.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබා සිටි හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26)දා අත්සන් තැබීය.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.

2017 අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනාවරි 12 වැනි දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම පෙරේදා (25) සිදු කළේය.

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්‍ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment