ජර්මනියේ කොරෝනා තත්ත්වය බරපතළයි -සෞඛ්‍ය ඇමැති ස්පාන්

301

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40,000-50,000 අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ නැගීම හේතුවෙන් තත්ත්වය බරපතළ බවත් ජනතාව මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ජර්මනියේ සෞඛ්‍ය ඇමැති ජෙන්ස් ස්පාන් පවසා තිබේ. මේ වන විට ජර්මනියේ සිවුවැනි කොරෝනා වසංගත රැල්ල ආරම්භ වී ඇති බව පවසා ඇති ඇමැති ස්පාන් ඇතැම් ජර්මානු ප‍්‍රාන්තවල රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් පිරී ඉතිරී යමින් පවතින බව සඳහන් කර තිබේ.

 සිවුවැනි කොරෝනා වසංගත රැුල්ල යටතේ ඉකුත් බ‍්‍රහස්පතින්දා (11ද) ජර්මනියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය අතර දැනට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ සැක්සනි, තුරින්ගියා සහ බැවේරියා යන ප‍්‍රාන්තවලින් බව ජර්මන් සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. බෝවන රෝග පිළිබඳ රොබට් කොක් ආයතනයට අනුව මේ වන විට ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ජර්මනියේ ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින අතර ශීත ඍතුව යටතේ ශීතල දේශගුණය වැඩිවත්ම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හා කොරෝනා මරණ සංඛ්‍යාව තවත් වැඩි වීමේ අවදානමක් උද්ගතව තිබේ. රොබට් කොක් ආයතනය විසින් වාර්තාවක් මගින් ජර්මන් රජයට යෝජනා කර ඇත්තේ විශාල පිරිසක් සහභාගි වන රැස්වීම් අවලංගු කළ යුතු අතර එවැනි රැස්වීම් මගහැරීමට ජනතාව පියවර ගත යුතු බවයි. ජර්මනියේ ප‍්‍රාන්ත තුනක සෞඛ්‍ය ඇමැතිවරු මේ අතර මෙම මස 25 වැනිදා අවසන් වීමට නියමිත එරට පනවා ඇති හදිසි නීතිය තවත් දීර්ඝ කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලීම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment