ජර්මනියේ දරුණු ජල ගැලීම් දේශගුණික විපර්යාසයේ ප‍්‍රතිඵලයක්

379

වසර 60කට පසු ජර්මනියෙන් වාර්තා වූ දරුණුතම ජල ගැලීමට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ දේශගුණික විපර්යාසය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම බව පෙන්වා දෙන ජර්මනියේ දේශපාලනඥයන් හා ක‍්‍රියාකාරීන් ගෝලීය උණුසුමෙන් ඇති වන බලපෑම් අවම කරලීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මෙයට වඩා දරුණු ස්වභාවික විපත්වලට මුහුණ දීමට ජර්මනියට සිදු වනු ඇති බවට අනතුරු අඟවා තිබේ.
 
 ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් නියෝජනය කරන ‘‘ග‍්‍රීන්’’ පක්ෂයෙන් මර්කල් වෙනුවට චාන්සලර් ධුරය සඳහා ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇනලීනා බෙයාර්බොක් පවසා ඇත්තේ මෙම දරුණු ස්වාභාවික විපත් ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවයි. ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවත් තමා ජර්මනියේ චාන්සලර් ධුරයට පත් වුවහොත් සුළං ඇතුළු පරිසරයට හිතකාමී බලශක්තිය නිපදවීමේ ක‍්‍රම තවත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව බෙයාර්බොක් සඳහන් කර තිබේ. ජර්මනියේ හටගත් දරුණු ජලගැලීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ජලය බැස යෑමත් සමගම තවත් ඉහළ යමින් පවතින අතර අතුරුදන් වූවන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර ජල ගැලීම් හේතුවෙන් ‘‘කොලෝන්’’ නගරයේ පිහිටි ‘‘ස්ටයින්බැක්’’ පාලම කැඞී යෑමට ඉඩ ඇති බව කලින් නිවේදනය කර තිබුණද මේ වන විට එම අනතුර පහව ගොස් ඇති බව බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment