ජලාශ පිරෙයි! විදුලි අර්බුදයට අලුත් අවුරුද්දේ විසදුම්?

815

රට තුළ ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම්, ඩීසල් පෝලිම්, භූමිතෙල් පෝලිම් කොපමණ ද? ජනතාව නිදි වර්ජිතව මේ පෝලිම්වල අදටත් පෙළ ගැසී සිටි. පෝලිම් වලදීම මැරී වැටෙති. ඊට අලගු නො තබා නිවසේ විදුලි පහන් නිවීයයි. පැයක් දෙකක් තුනක් අඳුරේ සිටින්නට සිදුවන ශ්‍රී ලාංකික මිනිසුන්ට පැය දහතුනක කාලයක් විදුලි කප්පාදුවක අත්දැකීම ලබන්නට අවස්ථාව උදා වූයේ පසුගිය දිනවලය.

දුප්පත් හා මධ්‍යම පාන්තිකයාට එක හැන්දකිනුත් බලවත් ධනවතාට තව හැන්දකිනුත් විදුලිය බෙදන්නට රජය පියවර ගැනීම මත ජනතාව පාරට බැස්සා හ. ඉන් නො නැවතී එය අරගලයක් දක්වා ගෙන ගියහ. නිමාවක් නොමැති අරගලයේ අවසන් බලාපොරොත්තුව තෙක් අදටත් ගමන් ගන්නා ජනතාව ට පැය දහතුනට අඩු කාලයක් විදුලි කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්හ. නමුත් මේ සියල්ල සඳහා තවමත් නිශ්චිත විසඳුමක් ලැබී නැත්තේය.

එවන් තත්ත්වයන් හමුවේ මේ වනවිට ජලාශ ආශ්‍රිතව අධික වැසි වැටෙන බවට රට පුරා ප්‍රචාරය වුවත්, ගොරවන තරමට වහින්නේ නැත. මේ වැස්ස හරියට තිබුණ වතුර ටිකත් හිදෙන්න බලන්නා වාගේය. අද වහිනවා ය. හෙට ගිනි රස්නයට අව්ව ය. වැස්ස වතුර ටික පහුවදාට තදින්ම හිදීයන බවක් පෙනෙන්නට ඇති බව ජලාශ භාර නිලධාරීහු කියා සිටිති.

ශ්‍රී ලංකාවේ විදුලි බලය උත්පාදනය කරන ඊට දායකවන ජලාශ වර්ගීකරණයන්ට අනුව ලක්ෂපාන සංකීර්ණය මහවැලි සංකීර්ණය සහ සමනල සංකීර්ණය ලෙස විදුලිබල උත්පාදන ජලාශ වර්ග කෙරේ. ඉන් ලක්ෂපාන සංකීර්ණය සඳහා බ්‍රඩ්ලෑන්ඩ්ස් මස්කෙළිය කැනියොන් නව ලක්ෂපාන පැරණි ලක්ෂපාන සහ කාසල්රි නෝට්න්බි්‍රජ් ජලාශ අයත් වේ.

මහවැලි සංකීර්ණය යටතට බෝවතැන්න කොත්මලේ මොරගහකන්ද පොල්ගොල්ල, රන්දෙණිගල, රන්ටැඹේ, ඉහළ කොත්මලේ සහ වික්ටෝරියා යන ජලාශ අයත් වේ.

සමනල සංකීරණය ලෙස හඳුන්වන විදුලිබලය උත්පාදනය කරන ජලාශ වන්නේ ගල්ඔය කුකුලේ ගඟ, සමනල වැව සහ උඩවලවේ යන ජලාශයන්ය. ඒ සියල්ල තිරසාර බලාගාර ලෙස ද හඳුන්වාදෙනු ලබයි.

නැවත ජනනය කළ හැකි සම්පත් යොදා ගන්නා බලාගාරවන ජල විදුලි බලාගාර මේ වනවිට විදුලි උත්පාදනය සඳහා අනුපමේය මෙහෙවරක් සිදුකරන බව අදාළ බලධාරීන් ප්‍රකාශ කර සිටිති.

ජලාශ පිරෙයි! විදුලි අර්බුදයට අලුත් අවුරුද්දේ විසදුම්?

මෙම බලාගාර සියල්ල ම මේ වනවිට සක්‍රීය ලෙස විදුලිබල උත්පාදනයට ක්‍රියාත්මක වෙමින් පවතී. මේ වනවිට ජලාශවල ජල මට්ටම (mMSL) ක්‍රියාකාරී ලෙස ගබඩාකොට ඇති ප්‍රමාණයන් සම්බන්ධයෙන් ප්‍රතිශතයන් දත්ත සටහන්වල සඳහන් වී ඇති අන්දම මෙසේය. මොරගහකන්ද සියයට 95.34, කොත්මලේ සියයට 73.20, පොල්ගොල්ල සියයට 98.85කි. වික්ටෝරියා සියයට 60 34කි. රන්දෙණිගල සියයට 89.94 කි. රන්ටැඹේ සියයට 78.68කි. උල්හිටිය සියයට 80.17කි. බෝවතැන්න සියයට 63.64කි. කලාවැව සියයට 78.31කි. කණ්ඩලම සියයට 82.85කි.

මේ අතුරින් ප්‍රධාන ලෙස අද කතා බහට ලක්වන වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින් ද මීටර 520ක දිගකින් ද මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය 1985 වසරේ දී නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබේ. එහි ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ.

වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලබයි. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කොටු දොරවල් (penstocks ) 3ක් පවතින අතර මෙම කොටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයිනවලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

වික්ටෝරියා ජලාශ බලාගාරයේ බලාගාර හිමිකාරීත්වය ඇත්තේ ජාතික විදුලි බල මණ්ඩලයට ය. එහි මෙගාවෝට්ස් දෙසිය හැත්තෑවක බලාගාර ධාරිතාවක් ඉකුත් වසරේ උත්පාදනයකොට තිබේ.

එවන් ධාරිතාවක් උත්පාදනය කිරීම සඳහා වික්ටෝරියා ජලාශයෙන් ඝන මීටර් මිලියන 2 392.47ක ජල පරිමාවක් දෙදහස් විසිඑක වසරේ යොදා ඇති බව දත්ත වාර්තා සනාථ කරයි. එයින් බලශක්ති උත්පාදනය 977.053 ( gw h) සිදු කළ බව ද උත්පාදනය කරන ලද බලයේ වටිනාකම රුපියල් මිලියන 16,248 ක් බව ද දත්ත වාර්තා සනාථ කරයි.

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10කින් ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවරයකු පැවසීය. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවන හැටන්, නෝර්වුඩ් යන ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10කින් ඉහළ ගොස් තිබූ බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවරයා කියා සිටියේ.

කාසල්රි ජලාශයේ වේල්ලේ උස මට්ටම අඩි 155ක් වන අතර මේ වනවිට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 41ක් පහළ බැස ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවරයා කියා සිටියේ. කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කරනු ලබයි.

හිත සැනසීමට විසඳුමක් ලෙස වැස්ස දකින්නට තිබුණත් තවමත් සැලකිය යුතු වර්ෂාපතනයක් අපට ලැබෙන්නේ නැත. ඩීසල් බලාගාර සඳහා ඩීසල් ද නැත. විදුලිය කැපුවොත් ජනතාව අරගල කරති. එහෙයින්ම සියල්ල විසඳෙන තුරු ඔහේ බලා සිටින්නට ජනතාවට සේම, නිලධාරීන්ට ද සිදුව තිබේ.

ජලාශ පිරෙයි! විදුලි අර්බුදයට අලුත් අවුරුද්දේ විසදුම්?

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment