ජල ගාස්තු ඉහළට?

226

පිරිවැයට සරිලන ලෙස ජල ගාස්තු සංශෝධනය කරන්න ජල මණ්ඩලය උපදේශක කාරක සභාවට කියයි

ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයේ ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කර තිබේ.

මෙහිදී ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2 පමණ මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් මෑතකදී එය සත 5 දක්වා වැඩි කළද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12 ක් 14 ක් පමණ වන බවත්ය. මේ නිසා එම වියදමට සරිලන ආකාරයෙන් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළ ද ජල සම්පාදනය සඳහා යන වියදම පෙර තිබූ ප්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩි වී ඇති බවයි. එම නිසා වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂකව ප්‍රමාණවත් නොවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වය මත මෙසේ ජල ගාස්තු සංශෝධනය කිරීම මගින් යම් ආකාරයකින් මුදල් ඉතිරියක් සිදු වන්නේ නම් එම මුදල ජල ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ හැකි බව ද ඔවුහු සඳහන් කළහ.

මෙහිදී සමෘද්ධිලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

තවද පානීය ජල බෝතල්වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද පානීය ජල බෝතල්වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, අනුරාධ ජයරත්න, කනක හේරත්, ගීතා කුමාරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment