ජල ජීවී වගාවට පෝෂණීය ආහාරයක්… ආටීමියා – වගාකර රටේ ආර්ථිකය නංවන හම්බන්තොට ලූණු ලේවාය

559

රට තුළ නිෂ්පාදනය කළ හැකි බොහෝ කෘෂි නිෂ්පාදන මේ වන විට ශ‍්‍රී ලංකාවට ආනයනය රජය මගින් සීමා කර ඇත. එසේ කර ඇත්තේ රට තුළ මේවා නිෂ්පාදනය කර පිරටට ඇදී යන සුවිශාල මුදල් කන්දරාවක් ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. සැබැවින්ම එවන් කටයුත්තක් සිදු නොකර, දේශීය නිෂ්පාදනයට තැන නොදී මේ රට ආර්ථික අගාධයෙන් ගොඩගත නොහැක. සිය රට දේ සිරි සැප දේ යන සංකල්පය විවෘත ආර්ථික වැඩපිළිවෙළ නිසා අපගෙන් දැන් බොහෝ දුරට ගිලිහී ගොස් ඇතත්, රට ගොඩගැනීමට නම් සහ රටේ ආර්ථිකය ගොඩගැනීමට නම්, නිෂ්පාදන ආර්ථිකයකට සෑහෙන තරම් පණ දිය යුතු බව අවිවාදිතය.

ජල ජීවී වගාවට පෝෂණීය ආහාරයක්... ආටීමියා - වගාකර රටේ ආර්ථිකය නංවන  හම්බන්තොට ලූණු ලේවාය
ආටීමියා

ඒ අනුව යමින් ඇතැම් අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, සමාගම් රට තුළ නිෂ්පාදනය කළ හැකි දෑ සඳහා කටයුතු කරමින් පවතින බව දැකිය හැකිය. හම්බන්තොට පිහිටි ලංකා ලූණු සංස්ථාව නොහොත් ලංකා සෝල්ට් ලිමිටඞ් ආයතනය එවැන්නකි. කොහොමටත් රටට අවශ්‍ය ලූණු අවශ්‍යතාවෙන් සෑහෙන ප‍්‍රමාණයක් ඉතා විශ්වාසවන්ත ලෙස නිපදවා දෙන ලංකා සෝල්ට් රාජ්‍ය සමාගම, දේශීය නිෂ්පාදන කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින ආයතනයකි. නමුත් අප මේ කියන්නට යන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ලූණු ගැන නොවේ. දකුණු ලක ලූණු ලේවායන්හි ප‍්‍රශස්ත පාරිසරික තත්ත්වයන් යටතේ වැඩෙන තවත් ආර්ථික වශයෙන් වැදගත් අතුරු නිෂ්පාදනයක් ගැන කරුණු කියන්නටය.

ජල ජීවී වගාවට පෝෂණීය ආහාරයක්... ආටීමියා - වගාකර රටේ ආර්ථිකය නංවන  හම්බන්තොට ලූණු ලේවාය
සභාපති නිශාන්ත සඳභරණ

ලූණු කර්මාන්තයේම අතුරු ඵලයක් ලෙස ස්වාභාවිකව වැඩෙන ආටීමියා නමැති ඉතා කුඩා සත්වයකුගේ බිත්තර එකතුකරමින් සිදුකරන මෙම කර්මාන්තයේදී සිදුකෙරෙන්නේ ඉස්සන් කොටුවල සිටින ඉස්සන් ඇතුළු ජලජ ජීවී කර්මාන්තයට අවශ්‍ය සජීවී ආහාරයක් නිෂ්පාදනය කිරීමයි. මෙම කර්මාන්තය හඳුන්වන්නේද ආටීමියා කර්මාන්තය නමිනි.

ඉස්සන් කොටුවලට හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අවශ්‍ය ආටීමියා ටින් ආහාරය මෙතෙක් බහුල ලෙස මෙරටට ආනයනය කරන ලද අතර, හම්බන්තොට ලූණු ලේවා පරිශ‍්‍රයේ සහ ඒ යටතේ පවතින බුන්දල හා පලටුපාන ලේවායන්හි කලක් පටන් සුළු වශයෙන් නිෂ්පාදනය කර වෙළෙඳපළට නිකුත් කිරීමෙන් ආනයන අවශ්‍යතාව සෑහෙන දුරට අඩුවී ඇත.

ජල ජීවී වගාවට පෝෂණීය ආහාරයක්... ආටීමියා - වගාකර රටේ ආර්ථිකය නංවන  හම්බන්තොට ලූණු ලේවාය
නුවන් උදයසිංහ

නමුත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශීය කර්මාන්ත දිරිගැන්වීම අනුව යමින් ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ අභිනව සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ නිශාන්ත සඳභරණ මහතාගේ දැඩි කැපවීම මත හම්බන්තොට ලේවාය කේන්ද්‍ර කරගනිමින් දැන් දේශීය ආටීමියා නිෂ්පාදනය වේගවත් කර ඇත. ඒ ආටීමියා වගා වපසරිය අක්කර 10 ක් දක්වා වැඩිකරමින් හා නිමි ආටීමියා ඇසුරුම් ප‍්‍රමාණය වැඩිකරමිනි.

මේ අනුව දේශීය ආටීමියා කර්මාන්තයට ඉතා හොඳ ඉල්ලූමක් හා කලදසාවක් උදාවී ඇත. විශේෂයේම පසුගිය කාලයේ පාඩු ලබන රාජ්‍ය ආයතන ලැයිස්තුවට එක්ව තිබූ ලංකා සෝල්ට් රාජ්‍ය සමාගම මේ අනුව තමන්ගේ නිෂ්පාදන අංශ විවිධාංගීකරණයට ලක්කිරීම මගින් වැඩි ආදායම් උපදවන තත්ත්වයට ද පත්ව ඇත.

මේ පිළිබඳව කරුණු දැනගැනීමේ අරමුණින්  පසුගියදා අප හම්බන්තොට, බුන්දල හා පළටුපාන ලේවා සංකීර්ණයේ සංචාරයක නිරතවූ අතර, එහිදී ආටීමියා නිෂ්පාදනය කරන අයුරු හා එහි පසුබිම් කතා ද අසා දැනගන්නට ලැබිණි.

මේ පිළිබඳව අපට මුලින්ම කරුණු කීවේ සමාගමේ සභාපති නිශාන්ත සඳභරණ මහතාය.

”ආටීමියා කියන්නේ සත්ව විශේෂයක්. ඔවුන්ගේ බිත්තර අවධිය ඉතාම කුඩයි. මේ බිත්තර ඉස්සන් වගේ සතුන්ගේ පෝෂණීය ආහාරයක්. ඒ නිසා ඉස්සන් කොටුවලට, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට බහුලව ආනයනය කරනවා. නමුත් යම් ප‍්‍රමාණයක් මේ සතුන් එක්තරා ප‍්‍රශස්ත පරිසර තත්ත්ව යටතේ අපගේ ලේවා තුළ ඉබේ වැඩෙනවා. ඔවුන්ගේ ජීවන චක‍්‍රයේ බිත්තර අවධියේදී ඇතිවන රත් පැහැයත් සමග මේවා අපට හඳුනාගන්න පුළුවන්. ඒවා ප‍්‍රවේශමෙන් එකතු කර තමයි මේ ආටීමියා (බිත්තර* හදන්නේ. දැනට අපි බුන්දල ලේවායේ මේවා එකතුකර ටින් කර වෙළෙඳපළට යවනවා. මේ ටින් එකක් රුපියල් දාහකට ආසන්නයි. අපිට මෙයින් හොඳ අමතර ආදායමක් ලැබෙනවා. ජනාධිපතිතුමාගේ දේශීය කර්මාන්ත නැංවීමේ වැඩසටහනට මේ අනුව අපි යම් කිසි දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් මේ ගැන දැනුවත් වී ඉන්නවා. ඒ අනුව අපගේ ආටීමියා නිෂ්පාදන වැඩසටහන තවත් පුළුල් කරන්න කියල අපිට කියල තියනවා. දැන් අපි අක්කර 10 ක් පමණ මේ සඳහා යොදාගෙන ආටීමියා නිපදවනවා. නමුත් තවත් අක්කර 40 ක පමණ වගා කරන්න අපි කටයුතු කරගෙන යනවා.” යයි සභාපතිවරයා පැවසීය.

ඉන් අනතුරුව අප ගියේ ආටීමියා නිෂ්පාදන ගබඩාකර, ටින් කර හා ලේබල් ගසා වෙළෙඳපළට නිකුත් කරන පළටුපාන ලේවායේ කටයුතු සොයාබැලීම සඳහාය. මෙහිදී අපට එම ස්ථාන භාර නිලධාරී නුවන් උදයසිංහ මහතා මුණගැසුණු අතර, ඔහු ආටීමියා පිළිබඳව වැඩිදුර විස්තර හා නිෂ්පාදන ක‍්‍රියාවලිය පිළිබඳව කරුණු කීවේ මෙසේය.

”ආටීමියා කියන්නෙත් ඉස්සන්ගේ කුලයට අයත් සතෙක්. මේ සතාගේ දිග මිලිමීටර් 25 ක් විතර වෙනවා. මේ සත්තු ජීවත්වෙන්නෙ ලූණු ලේවා තුළ. ස්වභාවිකව ඇතිවන ජීවී විශේෂයක්. මේ සතා ගැන 1982 දී පමණ සිට පර්යේෂණ සිදුකර තිබෙනවා. 2007 දක්වා පමණ සිට අපි මේ ආටීමියා නිෂ්පාදනය කළත්, වියළි ඇසුරුමක් විදිහට ටින් කරන්න පටන්ගත්තේ අපි වියට්නාමයේ තාක්ෂණය ලබාගත්තට පස්සෙ. දැන් අපි වගාවක් හැටියට ආටීමියා නිෂ්පාදනය ආරම්භ කරල වාණිජ මට්ටමෙන් කරගෙන යනවා. ඇත්තටම. ලංකාවේ එකම සහ ප‍්‍රථම ආටීමියා නිෂ්පාදනාගාරය තියෙන්නේ ලංකා ලූණු සමාගමට විතරයි කියල අපි ආඩම්බරයෙන් කියන්න ඕනෙ. මේ සඳහා අපිට නාරා ආයතනය, ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය උදව් කරනවා. ඒ අනුව අපගේ නිෂ්පාදනාගාරය 2007 වසරේදී ආරම්භ කළා.

ලංකාවට ආටීමියා වසරකට කිලෝ 2000 ක් විතර අවශ්‍යතාවක් තියනවා. අපි එයින් දැනට සියයට 10 ක් විතර සැපයුම් කරනවා. ටින් ලෙස ගත්තොත් වසරකට ටින් 1500 ක් විතර අපට දෙන්න පුළුවන්. ඒ නිසා සෑහෙන පමණ අපි විදේශ විණිමය රටට ඉතිරි කර දෙනවා. මෙය තවදුරටත් පුළුල් කරමින් නව සභාපතිවරයාගේ මගපෙන්වීම මත තව අක්කර 40 ක පමණ ආටීමියා වගාව පුළුල් කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම කියන්න ඕනෙ පිටරටින් ගේන ආටීමියාවලට වඩා වැඩි කීට ප‍්‍රතිශතයක් අපේ ආටීමියා ටින් එකකින් ගන්න පුළුවන් බවට ඔප්පුකරලා තියනවා. එක 75-80% ප‍්‍රතිශතයක්. මොකද මේ කීටයින් තමයි ඉස්සන්ගේ ආහාරය වෙන්නෙ. මේක ජීවී මත්ස්‍ය ආහාරයක්. ඒ නිසා අපේ ආටීමියාවලට දේශීය වෙළෙඳ පොළේ ඉල්ලූම වැඩියි.” යයිද ස්ථානභාර නිලධාරිවරයා පැවසීය.

සැබවින්ම මෙවන් කර්මාන්ත රටකට වාසනාවකි. ඉබේ ලැබෙන දෙයකින් කර්මාන්තයක් බවට හරවාගෙන මුදල් ඉපැයීමට අමතරව, ගුණාත්මක දෙයක් හා සේවාවක් රටට ලබාදිය හැකිය. වැදගත්ම කාරණය වන්නේ පිටරටට ඇදී යන මුදල් කන්දරාවක් මෙවන් කර්මාන්තයක් දියුණු කිරීමෙන් ඉතිරි කරගන්නට ලැබීමය. විශේෂයෙන්ම ඩොලර් හිඟයෙන් පෙළෙන අද වැනි කාලයක රටට මුදල් ඉතිරි කර දී, තවත් අතකින් මුදල් උපයාදීම ද අතිශය වැදගත් කටයුත්තකි. එසේ හෙයින් ලංකා සෝල්ට් සමාගමේ පාලනාධිකාරිය හා සේවක මඩුල්ල සිදුකරනු ලබන්නේ අතිශය වැදගත් කටයුත්තකි. එතෙකින් නොනැවතී තවදුරටත් වගා වපසරිය වැඩිකරමින් රටේ සියලූ ආටීමියා අවශ්‍යතාව සපුරන්නට කටයුතු කරන අතරේ යම් හෙයකින් අපනයන හැකියාව උදාකරගන්නේ නම් ඒ සඳහා ද කටයුතු කරන බව ඔවුන්ගේ අරමුණයි. මේ සඳහා ඉතා හොඳ නායකත්වයක් වත්මන් සභාපති නිශාන්ත සඳභරණ මහතා විසින් ලබාදෙනු ලබයි.

ඒ අනුව හුදෙක් ලූණු නිපදවීමේ ක‍්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ලංකා ලූණු සංස්ථාව සිදුකරන මෙම කටයුත්තට අපගේ සුභාශිංසන පිරිනැමිය යුතුව ඇත.

* ජගත් කණහැරආරච්චි

සංස්කරණය – ජගත් කණහැරආරච්චි


 

advertistmentadvertistment
advertistmentadvertistment