ජල භීතිකාවෙන් මාස හයට මරණ 12ක්

99

ජලභීතිකා වැළදීමෙන් මාස 06ට මරණ 12ක් සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. වනගත සතුන් සහ සුනඛයන් සපා කෑමෙන් මරණ සිදුව ඇති බවත් මාසයකට පුද්ගල මරණ දෙක බැගින් සිදුව තිබෙන බව මහජන සෞඛ්‍ය පශු සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්. ඩී. කිත්සිරි මහතා පැවැසීය.

ජලභීතිකා රෝගය සියයට 95ක් අයාලේ ගැවැසෙන සුනඛයන්ගෙන් බෝවන බව ඔහු පැවැසීය. කුඩා බලු පැටවුන්ගෙන් ජලභීතිකා රෝගය පැතිරයෑමේ ඉහළ අවදානමක් තිබෙන බවද පැවැසීය. පසුගිය මාස 06 තුළ ජලභීතිකා රෝග මර්දන එන්නත් සුනඛයන් ලක්ෂ 05 කට නොමිලේ ලබාදී තිබෙන බවද අයාලේ ගැවැසෙන සුනඛ ගහණය පාලනය සඳහා මෙම වසර තුළ සුනඛයන් තිස් දහසක් වන්ධ්‍යාකරණය (වඳ සැත්කම්) කිරීමට පියවර ගෙන තිබෙන බවද පැවැසීය.

මෙරට සුනඛ ගහණය මිලියන 25ත් 30 අතර ප්‍රමාණයක් ඇති බවට ගණන් බලා තිබෙන අතර එම සංඛ්‍යාවෙන් වාර්ෂිකව අවම වශයෙන් සුනඛයන් ලක්ෂ 11ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා ජලභීතිකා රෝග මර්දන එන්නත නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.

මුළු සුනඛ ගහණයෙන් සියයට 70ක් සඳහා මෙම එන්නත ලබාදීමෙන් ජලභීතිකා රෝගය රට තුළ පැතිරයෑම පාලනය කරගත හැකි බවද ඒ සඳහා ජනතාවගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බවද පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment