ජල විදුලිය 100% ක් තිබුණත් දිගටම ලයිට් දෙන්න තාප බලාගාරත් වැඩ කළ යුතුයි – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති

524

ජල විදුලි බලාගාර මගින් සියයට සියයක් විදුලිය නිපද වුවත් රට තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා තාප බලාගාර ද ක්‍රියාත්මක කළ යුතු බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය.රටේ උපරිම විදුලිය ඉල්ලුම මෙගාවොට් 2700-2800 වුවත් ජල විදුලිය, ගල්අඟුරු, සූර්ය, සුළං බලාගාරවලින් උපරිම නිෂ්පාදනය කළ හැක්කේ මෙගාවොට් 2350 ක් පමණ බව ද ඔහු සඳහන් කළේය. කුකුළේ ගඟ, කාසල්රි, නෝටන්බි්‍රජ්, ලක්ෂපාන, මාවුස්සා කැලේ ඇතුළු සියලුම ජල විදුලි බලාගාරවලින් විදුලිය නිපදවිය හැකි උපරිමය මෙගාවොට් 1300 ක් බවත්, නොරොච්චෝල (ගල්අඟුරු යන්ත්‍ර තුනම) මෙගාවොට් 900 ක්, සුළං, සූර්ය මෙගාවොට් 150 ක් මගින් නිපදවිය හැක්කේ මෙගාවොට් 2350 ක් වැනි ප්‍රමාණයක් බවත් ඔහු කීය. සුළං සහ සූර්ය බලාගාරවලින් නිපදවන මෙගාවොට් ප්‍රමාණය දේශගුණය අනුව වෙනස් වන බව ද ඔහු පැවසීය.

මේ අනුව හිඟ වන මෙගාවොට් ප්‍රමාණය තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවන බවත් එම ප්‍රමාණය ජල විදුලිය අඩු වනවිට වැඩි පිරිවැයක් දරා තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ඔහු කීය. කුකුළේ ගඟ, කැනියන්, ලක්ෂපාන, නෝටන්බි්‍රජ් වැනි ජලාශවලින් උපරිම ජල විදුලිය ලබා ගැනීමකින් තොරව ජලාශ උතුරා යන බව ඇතැමුන් පවසන බවත්, එම ජලාශවලින් එසේ ජලය පිටව යන්නේ උපරිම ජල විදුලිය නිපදවීමෙන් පසුව බවත් ඒ මහතා කියා සිටියේය.නෝටන්බි්‍රජ් මෙගාවොට් 50 ක්, කුකුළේ ගඟ මෙගාවොට් 120 ක්, කැනියොන් මෙගාවොට් 100 ක්, ලක්ෂපාන මෙගාවොට් 75 ක් ලෙස උපරිමයෙන් ජල විදුලිය නිපදවිය හැකි බවත්, එම ජලාශවල වපසරිය කුඩා වීම නිසා උපරිමයෙන් ජල විදුලිය නිපදවීමක් සිදු කළත් උතුරා යෑම සිදුවන බවත් ඔහු පැවසීය.

කෙරවලපිටිය ඩීසල් තාප බලාගාරය මගින් දිනකට මෙගාවොට් 300 ක් නිපදවන බවත් එම බලාගාරය නිපදවා වසර දෙකකින් එල්. එන්. ජී. (ගෑස්) මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් එසේ නොකර තවමත් තාප බලාගාරයක් ලෙස පවත්වාගෙන යන බවත් ඒ මහතා පැවසීය.
 ඩීසල් ලීටරයකින් විදුලි ඒකක 04 ක් පමණ නිපදවිය හැකි බවත් ඩීසල් ලීටරයක් රුපියල් 280 ක් ලෙස ගණන් බැලුවහොත් එක් ඒකකයක් නිපදවීමට රුපියල් 70 ක් පමණ ද, ගෑස් භාවිතා කළහොත් ඒකකයක් රුපියල් 30 ක් පමණ ද නිපදවා ගත හැකි බවත් ඔහු කීය. ජල විදුලි සඳහා රුපියල් 05 කට අඩු මුදලක් ද වැය වුවත් ජනතාවට විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 16 කට බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.මෙවැනි විදුලි අර්බුදයක් ඇති වන බවට ඉංජිනේරු සංගමය විසින් පෙන්වාදී 2015 දී සාම්පුර් ගල්අඟුරු තාප බලාගාරය ඉදිකර මෙගාවොට් 500 ක් ලබා ගැනීමට වාර්තා ඉදිරිපත් කළත් එය ඉවත දැමීම නිසා රටේ විදුලිය ජනනය තවදුරටත් ඩීසල්, දැවිතෙල් මත යැපීමට සිදුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. සාම්පුර් බලාගාරය 2015 දී ආරම්භ කර 2020 දී අවසන් කිරීමට නියමිතව තිබිණි.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment