ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේනගේ අවසන් කටයතු අද

126

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ අභාවප්‍රාප්ත සරත් ධර්මසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14 දා) සවස 4.00ට පෑලියගොඩ මීගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

දිවයින පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයකු වන රනිල් ධර්මසේන මහතාගේ ද පියාණන් වූ සරත් ධර්මසේන මහතා මිය යනවිට 85 වැනි වියේ පසු විය.

ප්‍රේමා ධර්මසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ඔහු පෑලියගොඩ තැපැල් ස්ථානාධිපති නීල් ධර්මසේන, රනිල් ධර්මසේන යන පුතුන්ගේ හා රූපිකා ධර්මසේන, සමන්ති රේණුකා, මදුෂා ජයමාලි යන දියණියන්ගේ පියා ය.

‘දවස’ පුවත්පතින් මාධ්‍ය ජීවිතය ඇරඹු සරත් 1960 දශකයේ සිට 1980 දශකය අගභාගය දක්වාම ‘දවස’ පුවත්පතේ සේවය කළේය.

1980 දශකය මැද භාගයේදී ‘දිවයින’ පුවත්පතට එක්වූ සරත් ධර්මසේන මහතා තමා සතු දැනුම අධිකරණ වාර්තා කිරීම් ක්ෂේත්‍රය තුළට අනාගතයේ පිවිසෙන අලුත් පරපුරට කියා දීමට අව්‍යාජව කැපවූවෙකි.

දිවයින පුවත්පතේ සේවය කිරීමෙන් පසු ධර්මසේන මහතා ‘අරුණ’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක්ව මිය යන තෙක්ම එහි මාධ්‍යවේදියකු ලෙස සේවය කළේය. මෙරට එවක සිටි ප්‍රකට නීතිවේදීන් මෙන්ම විනිශ්චයකාරවරු ද සරත් ධර්මසේන මහතා විශ්වාසවන්තව ඇසුරු කළහ.

හැමවිට ම අධිකරණයට මෙන්ම හා නඩුවල කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන ලෙස තම පෑන විශිෂ්ටව හැසිර වූ ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස ප්‍රසාදයට පත් වූවෙකි. ඒ මහතාගේ දේහය පෑලියගොඩ මිරිස්වත්ත පටුමග අංක 46 නිවසේ තැන්පත් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment