ජ්‍යොතිෂයට නෑකම් කියන පක්‍ෂීන්

798

මෙලොව උපත ලබා සිටින සියලු මනුෂ්‍ය සමූහයාගේ උපතේ පටන් මරණය දක්වා ජීවන පැවැත්ම කියාපාන ජ්‍යොතිෂයට මනා සබඳතාවයක් පවතින පක්‍ෂීන් මෙම වටාපිට පරිසරයේ සැරිසරයි. එම සියලුම පක්‍ෂීන්ට මෙම පරිසරයේ මෙන්ම මනුෂ්‍යයා හට සිදුවන විපත් හොඳ නරක කියාපෑමට අති දක්‍ෂතාවයක් ඇත. විශේෂයෙන් එම පක්‍ෂීන්ට මෙම පාරිසරික වෙනස්වීම් සියල්ල ඒ සතුන්ගේ චූටි මොළයට කල්තියා වැටහේ. මෙම විශ්වය තුළ සිදුවන සුබ අසුබ සිදුවීම් එම පක්‍ෂීන්ට කල්තියා වැටහුණත් මිනිස් සත්ත්වයාට නොවැටහේ. එය ලොවම කම්පා කළ සුනාමි ව්‍යසනයෙන් පැහැදිලි වේ. එහිදී බොහෝ සත්ත්වයන්ට එම විපතේ ලක්‍ෂණ කල්තියා වැටහීමෙන් මරණයෙන් ගැලවුණ නමුත් මිනිස් සමූහයක් ජීවිතයෙන් සමුගත්තෝය. කෙසේ නමුත් පක්‍ෂීන් හා සිව්පාවුන් අප හට පෙන්වාදෙන මෙම විශ්වය තුළ සිදුවන සුබ හා අසුබ ක්‍රියාවලීන් කෙරෙහි විමසිලිමත් විය යුතු බව කිව යුතුය.

මෙහිදී මාතෘකාවට අදාළව ජ්‍යොතිෂයට නෑකම් කියන පක්‍ෂීන් පස්දෙනෙක් ගැන මෙතැන් සිට විග්‍රහයක යෙදෙමි.

මෙහිදී කාලීනව විශේෂ ස්ථානයක් දැනට හිමිව ඇති “කපුටා” පක්‍ෂියාට ජ්‍යොතිෂමය අංශයෙන් මෙන්ම ජනසමාජය තුළ ද විවිධ අංශයන් කෙරෙහි නම පැතිරෙමින් පවතින මෙවැනි අවධියක ඒ සඳහා වැඩි ඉඩක් මේ ලිපියෙන් වෙන්කරමි. කෙසේ නමුත් කපුටා සෙනසුරුගේ වාහනය නමින් පැරණි දෛවඥ මහත්වරු හදුන්වන නමුත් අද වනවිට නවීන විiාත්මක ජ්‍යොතිෂ ශාස්ත්‍රඥවරු එම හැදින්වීම බැහැර කරමින් සිටියත් යම් අයකුට සෙනසුරු මහ දශාවක් හෝ වෙනත් ග්‍රහයකුගේ මහ දශාවක සෙනසුරු අතුරු දශාවක් ලබා සතුරු රාශියක ඒරාෂ්ටක ගෝචර ගමනේදී ලෙඩදුක් සහිත කටුක ජීවිතයක් ගතකරන අවස්ථාවලදී කපුටා පක්‍ෂියාට රස බොජුන්වලින් සලකන්නේ එම පිං බල මහිමයෙන් අපල දුරුකර ගැනීමටය.

එපමණක් නොව කපුටා ඉගිලී යන විට හෝ උඩ යම් ස්ථානයක සිට අපගේ ඇඟට පැහැරීමක් සිදුවුවහොත් සුබ හෝ අසුබ සිදුවේ. ගමනක් යනවිට හිස මතට සුදු පැහැයෙන් පැහැරුවහොත් එම ගමන සුබදායක වේ. නලලතට පැහැරුවහොත් වාසියක් සිදුවේ. කන උඩට, නාසයට, බෙල්ලට පැහැරීම අසුබදායක වේ. අසහනයට පත්වේ. උරහිසට, අතට, පපුවට පැහැරීම සිදුවුවහොත් රැකියාවේ කරදර, නින්දාවක් ඇතිවීම, බලාපොරොත්තු කඩවීම මෙම අසුබතා සිදුවේ. පිටට වැටුණේ නම් සුබ දින කීපයක් උදාවේ. තනය ප්‍රදේශයට නම් මඟුල් කෑමක් සිදුවේ. බඩට පැහැරුවහොත් මහත් ලාභ ලැබීමක් සිදුවේ. ඉඟටිය ප්‍රදේශයට අධික පාඩුවක් සිදුවන බවකි. පිටි පතුලට සුදුපාටින් පැහැරුව හොත් නිවසේ නෑයින් එකතුවීමකට කරුණු සැලසේ.

පාදවල දණහිස්වලට පැහැරුව හොත්  රැකියාවක් නොමැතිව හෝ අහිමිවී සෑම තැන ඇවිදීම සිදුවේ. විශේෂයෙන්ම කපුටා උඩ ස්ථානයක, කොළ හැලී වියළී ගිය මැරුණු ගසක සිට තද කළු පැහැයට ශරීරයේ කිනම් ස්ථානයකට හෝ පැහැරුවහොත් ඉතාම අසුබදායක වන අතර සංවේගදායක, දුක් සහිත සිද්ධියකට මුහුණදීමට සිදුවෙනවා.

ඊළඟට බලමු කපුටා උදේට කියන සාස්තර මොනවද කියලා. බොහෝ දුරට උදේ 10.00 ට කලින් ඒ ඒ දිසාවේ ඉඳලා නාද කරන ආකාරය අනුව බලමු.

නැඟෙනහිර දිසාවේ සිට තමන් දෙස බලමින් නාද කළහොත් එදින තමන්ගේ අදහසක් ඉටුවන අතර මිතුරකු තමන් හමුවීමට පැමිණේ.

ගිනිකොණ දිසාවේ සිට කපුටෙක් ඔබ දෙස බලමින් ශබ්දය අඩු වැඩි කරමින් ඇඬුවොත් එදින යම්කිසි මුදල් ලාභයක් හිමිවේ. ගොරෝසු, රළු ලෙස ඔබ දෙස බලමින් හඬයි නම් දුක්මුසු පුවතක්, විනාශයක්, කෝලාහලයක් අසන්නට ලැබේ. ඔබ ප්‍රවේශම්වන්න.

දකුණු දිසාවේ සිට හීන් හඬින් තමන් දෙස බලමින් ඇඬුවොත් වැදගත් අයෙක් තමා සොයා පැමිණේ. ගොරෝසු හඬට ඇඬුවොත් හදිසි රෝගාබාධයක් ඇතිවේ. නැතිනම් අලාභයක්, පාඩුවක් සිදුවේ.

නිරිත දිසාවේ සිට තමන් දෙස බලමින් හීන් හඬින් නාද කරයි නම් කුමක් හෝ පොඩි ලාභයක් ඇතිවේ. සඳුදා දින සූර්ය උදාවේ මුල් පැය ඇතුඝත බටහිර දිසාවේ සිට කිරි වෘක්‍ෂයක සිට ඔබ දෙසට හැරී කපුටා හීන් හඬින් නාද කරයි නම් තද වැසි දිනයක් එන බව ඉඟයකි. සිතූ අදහස් ඉටුවීම, යන ගමනකින් හොඳ ප්‍රතිඵල ද ලැබේ

වයඹ දිසාවේ සිට කපුටා හැඬුවේ නම් නිවසට ආගන්තුකයෙක් පැමිණෙන අතර හිසට උඩින් නාද කළේ නම් සුළු අනතුරක් සිදුවන බවකි.

සූර්ය උදාවේ සිට මුල් විනාඩි 24 ඇතුළත ගුරු දිනක උතුරු දිසාවේ සිට ඔබ දෙස බලමින් කපුටකු නාද කරයි නම් මුදල් ලාභයක් එදින ලැබෙන අතර වැදගත් මහතෙක් ඔබව සොයා පැමිණේ. ගොරෝසු හඬින් හිසට උඩින් නාද කළේ නම් නිවසේ බලවත් රෝගියෙක් හටගනී. ඊසාන දෙසින් නාද කළේ නම් එවැනි ප්‍රතිඵලම සිදුවේ. 1954 මුද්‍රණය කරන ලද කුඩා පොතකින් මේ පලාපල ඔබගේ දැනුමට එකතු කරමි. එම පොත ශත 25කට මිල කළ එකකි. එම කර්තෘට පිං සිදුවේවා.

මීට අතරතුර පැරණි දෛවඥ මහත්වරු පැරණි පොත්පත්වල කපුටා නාද කරන ස්ථානය අනුව ද සුබ අසුබ සිදුවන බව පෙන්වා දී ඇත.

නිවසක බටහිර පැත්තේ සිට වියළි තණකොළ කඩමින් කපුටා ඔබ දෙස බලයි නම් තදබල දුකක් පැමිණෙන බව පෙන්නුම් කිරීමකි. උතුරු දිසාවේ සිට දිය පිරුණ කළයක් මත හෝ වතුර බාල්දියක් මත සිට කපුටා හීන් හඩින් නිවස දෙස බලමින් නාද කරයි නම් එම නිවසේ ස්ත්‍රියකට වාසනාව ගෙන එන දරු සම්පතක් ලැබෙන බවකි.

කිසිම අවස්ථාවක කපුටකු තද කළු පැහැයෙන් ශරීරයේ කුමන ස්ථානයකට හෝ පැහැරුවහොත් එදින ඔබට අසුබදායක බව වටහාගන්න.

මේ අතර විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් පොරොන්දම්වලදී කාක පක්‍ෂියාට හිමිවන බැවින් ඊට මිතුරු පක්‍ෂියකු සෙවීම විශේෂත්වයකි. තවද යම් කටයුත්තක් එහි ජය පරාජය සුබ අසුබ සෙවීමේ පංච පක්‍ෂි ක්‍රමය අනුව කාක පක්‍ෂියාට විශේෂ තැනක් හිමිවේ. එනිසා මෙවැනි කරුණු කාරණාවලදී සමාජය තුළ ජ්‍යොතිෂ්‍ය කටයුතු වලදී කපුටා පක්‍ෂියාට හිමිවන්නේ විශේෂ තැනකි. සඳුදා හා ඉරිදා හැර සතියේ අනෙකුත් දින පහ තුළදී සූර්ය උදාවේ සිට පැය 2 යි විනාඩි 24 ක් කපුටාගේ රජ අවස්ථාව වශයෙන් ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත. ඉහත නැකැත් හිමියන්ට මෙම සුබ කාලසීමාව තෝරා බේරා කටයුතුවලට යොදා ගැනීම යහපත් වේ.

මීළඟට පාරිසරික පක්‍ෂීන් අතර ජ්‍යොතිෂයට නෑකම් කියන පක්‍ෂීන් වශයෙන් බකමූණා ද දහවල් කාලයේ සැඟවී සිට රාත්‍රී කාලයේ සැරිසරන අවිනිශ්චිත පක්‍ෂියෙකි. කනට අමිහිරි ශබ්දයක් පිටකරමින් සැඟවී සිටින මෙම පක්‍ෂියාට අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකැත් හිමිවේ. තමන්ගේ යටි අදහස් එලියට නොදෙන මෙම නැකැත් හිමියන්ගේ විවාහ පොරොන්දම් බැලීම කල්පනාවෙන් සියුම් ලෙස සිතීමට සිදුවේ. විශේෂයෙන් ස්ත්‍රීන්ගේ.

මීළඟට අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස යන නැකැත් හිමියන්ට රාජාලියා පක්‍ෂියා හිමිවේ. දිවා කාලයේ මහත් බලයක් පවතින රාජාලියා අනෙක් පක්‍ෂීන් අතුරෙන් කැපී පෙනීමට ඉහළින් සිටින පක්‍ෂියෙකි. ස්ත්‍රී පුරුෂ පොරොන්දම් විග්‍රහයේදී මේ ගැන විශේෂයෙන් බැලීමට සිදුවේ.

මීළඟ පක්‍ෂියා කුකුළා ය. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවන, නැකැත් හිමියාට කුකුළා හිමිවේ. කාහටත් අවශ්‍යම පක්‍ෂියෙක් වන අතර වරදකට ඇත්තේ ඒ පක්‍ෂියාව මරා කෑමයි. වැදූ මව නොහඳුනන මේ ලෝකයේ එය ගණන් ගත යුතුද? නමුත් ස්ත්‍රී පුරුෂ පොරොන්දම් පරීක්‍ෂණයේදී මේ ගැන විශේෂයෙන් බැලිය යුතුය.

දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන අවසන් නක්‍ෂත්‍ර පහ හිමිවන මයුරා විශේෂ පක්‍ෂියෙකි. ලක්‍ෂණට, හැඩයට, කැමැති මේ පක්‍ෂියා අන් අය අතරේ කැපීපෙනෙන්ට උත්සාහ ගන්නා සතෙකි. ඒ අනුව ඉහත නැකැත් හිමියන්ගේ විවාහ පොරොන්දම් බැලීමේදී සැලකිලිමත් විය යුතුයි.

මේ ආකාරයෙන් ජ්‍යොතිෂයට මෙම පක්‍ෂීන් විශේෂ සබඳතාවයක් ඇති බව සැකෙවින් පෙන්වා දෙමි.

ජ්‍යොතිර්වේදී ජේ. ගුණපාල
170, පාදුක්ක පාර,
අරමණාගොල්ල, හොරණ.
දු. අංකය 0774347574

advertistmentadvertistment
advertistmentadvertistment