ජ්‍යොතිෂය  මිථ්‍යාවක් කීම  අනුවණකමකි

560

තනි රෝදයේ පාපැදියක් මත සමබරව හිඳිමින් කකුලෙන්  අරගන්නා පෝසිලේන් තසිමක් හිස මතට විසි කර ඉන්පසු ඒ මතට තවත් තසිම් ප්‍රමාණයක් හා හැඳි ද කකුලෙන් විසිකර දමා ගන්නා සර්කස් ක්‍රීඩකයන් ඔබ දැක ඇතැයි සිතමි. මේ තත්ත්වයට ශරීරය හා මනස පුරුදු කර ගත්තේ මහත් වීර්යයකින්, නිරන්තර අභ්‍යාසය තුළින් හා ඒ සඳහා ඇති නොපසුබස්නා උත්සාහයකිනි. මෙලෙසම විවිධ ක්‍රියාකාරකම් සඳහා මනස පුරුදු කරගත හැක. අවදියෙන් සිටින සෑම මොහොතකම අපේ මනසට නොයෙක් ආකාරයේ සිතිවිලි ගලා එයි. එසේ එන සිතිවිලිවල මාතෘකාද ඉතා ඉක්මනින් වෙනස් වේ. බුදුන් වහන්සේ නොයෙක් අරමුණු කරා දිවයන සිත උපමා කළේ මෙල්ල නොකළ කුළු හරකෙකුටය.

නොයෙක් අරමුණු කරා දිව යන සිත මෙල්ල කිරීම නොයෙක් භාවනාවන් මගින් කළ හැක. අවදියෙන් සිටින විට හිතට කිසිම අරමුණක් නොඑන පරිද්දෙන් ද සිත පුහුණු කරගත හැක. මෙසේ සිත දියුණු කරගත් විට එක අරමුණක් ඔස්සේ සිත මෙහෙයවීමට ද වෙනත් අරමුණු නොඑන නිසා අතිවිශාල වේගයකින් එම අරමුණු ඔස්සේ යාමට ද හැකියාව ලැබේ. ප්‍රඥාවෙන් සොයාගත් විද්‍යාවන් සොයාගත්තේ එලෙසිනි. ඵලයෙන් හේතුවත් හේතුවෙන් ඵලයත් යන හේතුඵල දහම ඔස්සේ සිත මෙහෙයවා අතීතය අනාගතය දැකීම හා ඒ සම්බන්ධ කරුණු ඒකරාශීකර ගැනීමෙන් ජ්‍යොතිෂය ඇතුළු අතීත විද්‍යාවන් බිහිවිය. මේ සඳහා මූලික අවශ්‍යතාවය කෘෂිකර්මය මත පදනම් වූ බව කලින් සතියේ ලිපියෙන් ඔබට පෙන්වා දුන්නෙමි.

ග්‍රහලෝක චලිතය මගින් ලබාගන්නා කාලරාමුවක්  මගින් ඒ මොහොතේ උපදින පුද්ගලයෙකුගේ මොළයේ හා ශරීරයේ ඇති හැකියාවන්, නොහැකියාවන් හඳුනාගෙන ඒ මත අනාගත විග්‍රහයක යෙදීම මෙම ශාස්ත්‍රයේ පදනමයි. ගොවියකුට බීජ පරීක්ෂාකොට ඒවායින් ලබා ගත හැකි අස්වැන්න පිළිබඳව තක්සේරු කළ හැකි සේම මිනිසෙකුගේ උපන් කාලරාමුව දෙස බලා උගත් පළපුරුදු ජ්‍යොතිර්වේදියකුට එම මිනිසාගේ අනාගතය තක්සේරු කළ හැක. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ විවිධ පර්යේෂණයන්ට ලක් වෙමින් ඉදිරියට ආ ජ්‍යොතිෂය මිථ්‍යාවක් යැයි කීමට දැනට ඇති දැනුමෙන් අල්පයක් හදාරා ඇති අප ඉදිරිපත් වීම අනුවණ කමකි.

දරුවකු උපදින අවස්ථාවක අසල සිටි වෛද්‍යවරයා හෝ හෙදිය නිසා දරුවාට ඇතිවන ආකර්ෂණ බලය දුර පිහිටි ඉරහඳ ග්‍රහවස්තුවලට වඩා බෙහෙවින් වැඩි යැයි ද එබැවින් ග්‍රහයන් ලකුණු කරන විට ග්‍රහලෝකවලට වඩා හෙදිය හා වෛද්‍යවරයා සිටි ස්ථාන ලකුණු කිරීම වැදගත් බවද භෞතිකවාදීන්ගේ මතයයි. ඔවුන් මෙය පෙන්වා දෙන්නේ F=G m1xm2 $ r x r යන්න නිවුටන්ගේ ගුරුත්ව සමීකරණය පදනම් කරගෙනය. මේ අනුව F යනු වස්තූන් දෙකක් අතර ඇති ගුරුත්වාකර්ෂණ බලය වන අතර m1 යනු පළමුවෙනි වස්තුවේ ද m2 යනු දෙවන වස්තුවේ ද ස්කන්ධය හා r යනු වස්තු දෙක අතර දුර ද වේ. G සාර්ව ගුරුත්වනියතය යනුවෙන් හඳුන්වනු ලබන අතර මෙය නියත අගයක් ගනී. වස්තු දෙක අතර දුර වැඩිවන විට ගුරුත්ව බලය විශාල වශයෙන් අඩුවන බව මේ සමීකරණය මගින් පෙන්නුම් කරයි.

මෙයට ලබා දිය හැකි පිළිතුර නම් ජ්‍යොතිෂයේදී උපදින ළමයාගේ බර සැලකිල්ලට නොගන්නා හෙයින් ළමයා හා වෛද්‍යවරයා හෝ ළමයා හා ග්‍රහ වස්තු අතර ඇති ආකර්ෂණ බලයක් මෙහිදී සැලකිල්ලට නොගන්නා බවයි. ග්‍රහලෝක හා සූර්යයා ආශ්‍රයෙන් ලබා ගන්නේ උපදින අවස්ථාවේ පැවති සියුම් කාල රාමුවයි. අනාගතය සඳහා එතැන් සිට රාමුව වෙනස් වන අයුරු ජ්‍යොතිෂ පදනමක් යටතේ විග්‍රහ කෙරේ. මෙම කාල රාමුව පුද්ගලයා උපන් වේලාව අනුවත් ස්ථානය අනුවත් වෙනස්වන අතර හැම පුද්ගලයෙකුටම වෙනම අනන්‍යතාවයක් ඇත. භෞතිකවාදීන් ඊළඟට ඉදිරිපත් කරන ගැටලුව නම් එකම මොහොතේ එකම ස්ථානයක උපන් දරුවන් දෙදෙනෙකු ගැන ජ්‍යොතිර්වේදීන් කියන්නේ කුමක් ද යන්නයි.

පහත උදාහරණය මගින් මෙය පහසුවෙන් තේරුම් ගත හැකි වේ යැයි මම සිතමි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය උපන් වේලාවේ ඒ ආසන්නයේ උපත ලද තවත් කාන්තාවකගේ මිතුරෙකුගේ පුතෙකු ඇයගේ කේන්දරය මා වෙත යොමු කරමින් මාගෙන් අසා සිටියේ ඇය රටේ ජනාධිපතිනිය නොවූයේ මන්ද කියාය. කේන්ද්‍රය පරීක්ෂා කොට බැලූ මා කීවේ ඇයගේ ග්‍රහ පිහිටීම අනුව ඇගේ දෙමවුපියන් සිටි තත්ත්වයට වඩා ඉහළට අනාගතයේ යනු ඇති බවයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ද ඇගේ මව හා පියා හෙබවූ අග්‍රාමාත්‍ය පදවියට වඩා මඳක් ඉහළින් ඇති විධායක ජනාධිපති පදවිය ලැබුවාය. ඇයට එය සුවිශේෂී දෙයක් නොවූයේ පවුල් පරිසරය තුළම ඇය එයට හැඩ ගැසී තිබීම නිසාය. එමෙන්ම පෙරකී කාන්තාවගේ මව ගුරුවරියක් වූ අතර පියා ගුරුවරයෙක් විය. ඇය විදුහල්පතිවරියක් වූවාය. ජ්‍යොතිෂය හැම විටම පෙන්වා දෙන්නේ ඉන්නා ස්ථානයට සාපේක්ෂව ඇතිවිය හැකි පලාපලයි. ආර්. ප්‍රේමදාස මැතිතුමා හා වත්මන් ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රවලට අනුව පෙනෙන විශේෂ රාජ යෝග ඔවුන් සාමාන්‍ය පවුලක සිට රජ පුටුව දක්වා ඔසවා තැබීය.

 ජ්‍යොතිෂයට විරුද්ධ ඊළඟ මතය වන්නේ ලග්න පලාපල වල සත්‍යයක් නැත යන්නයි. ලෝකයේ සිටින ජනතාව කොටස් දොළහකට බෙදා කියන පලාපලය මෙබඳුය. ඔබ ලංකාවේ දකුණු පළාතේ අය ගැන කෙනෙකුගෙන් ඇසුවහොත් බොහෝවිට දෙන පිළිතුර වන්නේ කපටි නුවණක් ඇති, ඉගෙනීමට හා වෙළඳාමට දක්ෂ, මිනිසුන් අතර ප්‍රිය උපදවන කෙනෙක් යන්නය. එහෙත් එහි යම් සත්‍යතාවක් ඇතත් එසේ නොවන මිනිසුන් ද දකුණු පළාතේ ඕනෑ තරම් ඇත. ලග්න පලාපල ද එසේ වේ.

මගේ කේන්දරය බලල කී දේවල් සීයට අනූවක්ම වැරදියි. ජ්‍යොතිෂය කියන්නේ පට්ටපල් බොරුවක්. මේ මාගේ මිතුරෙකු වරක් කී කතාවකි. මා ඔහුගෙන් අසා සිටියේ ඔබ අසනීප වී තිබේද? ඒ සඳහා වෛද්‍යවරයකු ගෙන් ඖෂධ ලබාගෙන තිබේ ද? ඒ හැම විටකදීම ගත් ප්‍රතිකාරවලින් සනීප වී තිබේද? ඔහුගේ පිළිතුර වූයේ ඇතැම් අවස්ථාවල සනීප වූයේ නැත යන්නයි. එම සනීප නොවූ අවස්ථාවක බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි ඔබ ප්‍රකාශ කළේද යන්න මා ඇසූ විට ඔහු කීවේ එසේ නොකිවූ බවයි. වෛද්‍යවරුන් දුන් ප්‍රතිකාර වලින් අසනීපයක් සුව නොවූ විට බටහිර වෛද්‍ය විද්‍යාව බොරුවක් යැයි නොකියූ ඔබ ජ්‍යොතිර්වේදියකු වැරදි විග්‍රහයන් දුන් පමණින් ජ්‍යොතිර්වේදය වැරදි යැයි කියන්නේ මන්ද කියා මා විමසුවත් ඔහු එයට පිළිතුරු දුන්නේ නැත.

 ● චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment