ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්

228

පරිණත දේශපාලනයේ
හැත්තෑ පස් වසරක
අභිමානවත් සැමරුම

එක්සත් ජාතික පක්ෂය එළඹෙන සැප්තැම්බර් මස 06 වැනි දින සිය හැත්තෑ පස් වන වසර (1946 – 2021) අභිමානයෙන් යුතුව සමරන්නේ ය. දැන් එක්සත් ජාතික පක්ෂය යනු වියතෙකි. හෙතෙම, යහපත් පැවැත්මෙන් බුහුමන් ලබයි. හෙතෙම රටට ඉමහත් දායාද එක්කර දුන් විශිෂ්ටයෙකි.

දේශීය පක්ෂ දේශපාලනයට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂය සතු චින්තනය, ජාතික නිදහස් අරගලයට පණ දුන්නකි. නිදහස් ශ‍්‍රී ලංකාවක අවශ්‍යතාවය එදා ජන හදවත් තුළ පැවැති බව තේරුම්ගත් මහාමාන්‍ය ඞී. එස්. සේනානායකයන් සියලූ බලමුළු ඒ වෙනුවෙන් ඒකරාශී කරන්නට වූහ. ඒ අනුව 1912 ජූලි 14 වෙනි දින අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කරමින් නිදහස ඇගයූ සැවොම ඊට ඒකරාශී කර ගත්හ.

එෆ්. ආර්. සේනානායක, ඩි. බී. ජයතිලක, එඞ්මන්ඞ් හේවාවිතාරණ, පියදාස සිරිසේන යනාදී වූ අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමීන් 1915 දී ඇතිවූ මහජන කැළඹීමේදී රාජද්‍රෝහීන් බවට පත් වූහ. අමද්‍යප ව්‍යාපාරය හරහා දේශීය වටිනාකම් ඉස්මතුකර ලාංකික අනන්‍යතාව පෙළ ගැස්වීම යනු සැලැස්මක් මිස අහඹුවක් නොවී ය. මෙහිදී ‘‘සිංහලයන් ජාතියක් ලෙස ගොඩ නැගුණේ බෞද්ධ දර්ශනය නිසා ය. බුද්ධාගම නැතිදාට, සිංහල ජාතියක් නැත. එහෙයින් අප කළ යුත්තේ බුද්ධාගම රැකීම ය.” කී හින්දු භක්තික ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ක‍්‍රිස්තු ලබ්ධික ඊ. ඩබ්ලිව්. පෙරේරා සමඟ එක්වී සිරගතව සිටි සිංහල බෞද්ධ දේශපේ‍්‍රමීන් මුදා ගැනීමට එක්වීමම ජාතීන් එකමුතු වීමකි.

ඒ අනුව 1918 වසරේදී ලංකා ජාතික සංගමය ලෙස බිහිවන නව ජාතික ව්‍යාපාරයට සියලූ ජාතීන් නියෝජනය කරමින් උගත් ලාංකිකයන් රැසක් එක් වූහ. ජේ. ආර්. ජයවර්ධනයන්ගේ පියා වූ ඊ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා විසින් ලංකා ජාතික සංගමය ඇරඹීමට මූලිකත්වය ලබාදෙන අතර, ඊට ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ‍්‍රීමත් මොහොමඞ් මාකන් මාකර්, ශ‍්‍රීමත් ජේම්ස් පීරිස්, ඊ. ඩබ්ලිව්. පෙරේරා වැනි නායකයන් රැසක් දායකත්වය දෙන්නේ ය. එහි ලේකම්වරයා වූයේ ඞී. ආර්. විජයවර්ධන මැතිඳුන් ය. ඔහුගේ පුවත්පත් ව්‍යාපාරය නිදහස් අරගලයට මනා පන්නරයක් එක් කළේ ය.

එම ගමනේ ප‍්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් 06 වන දින කොළඹ ගිල්ෆ‍්‍රඞ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම් කෝට් මන්දිරයට රැස්වූ පිරිස පැවැත්වූ පළමු සාකච්ඡාවේදීම රාජ්‍ය මන්ත‍්‍රණ සභා මන්ත‍්‍රී එස්. නඬේෂන් මැතිතුමා විසින් කරන ලද යෝජනාවක් රාජ්‍ය සභා මන්ත‍්‍රී ටි. බී. ජයා මැතිතුමා විසින් ස්ථිර කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය නම් වූ නව දේශපාලන ව්‍යාපාරය ඇරඹිණි.

”අපි ලාංකික ජාතියක් වශයෙන් පැවැත්මේ අවබෝධය ඇති කරගත යුතු ය. ජාති ආගම් භේද අනවශ්‍ය යි. සිංහල, දමිළ, යෝනක, මැලේ හෝ බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුව ද අප සිතිය යුත්තේ මෙය අප ජනිත වූ භූමිය කියා ය. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක‍්‍රිස්තියානි භක්තිකයන් වුවද අප සියලූම දෙනා පැවසිය යුත්තේ අපේ භූමියට ආශිර්වාද වේවා කියා ය.” යනුවෙන් ඞී. එස්. සේනානායක ශ‍්‍රීමතාණන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී කළ ප‍්‍රකාශය අදට ද වලංගු ය.

එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ගමන් මඟ අරඹමින් ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් 1947 පැවැති පළමු මැතිවරණයේදීම වැඩි මහජන මන්ත‍්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ආණ්ඩු බලය ලබා ගැනීමට සමත්විනි. සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත ස්වාධීන රාජ්‍යයක් බිහිකිරීමට සමත් වූ මෙම රජයේ කැපවීම මත 1948 පෙබරවාරි 04 වන දින ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස අත්පත් කරගත්තේ ය.

එක්සත් ජාතික පක්ෂය 1950 දශකය වන විට ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපය තුළ ඉතා සාර්ථක අන්දමින් මුල්බැස ගත්තේ ය. මෙමගින් ශ‍්‍රී ලංකා සමාජය ඈත අතීතයේ සිට පවත්වාගෙන පැමිණි කෘෂිකාර්මික සමාජ – සංස්කෘතික පරිසරය ආරක්ෂා කොට ඉදිරියට ගෙනයාම සඳහා වූ පදනම සැකසිණි. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිටම නිදහස් අධ්‍යාපනය මෙරට ක‍්‍රියාත්මක විය යුතුය යන සටන මල්ඵල ගැන්වීම සඳහා මහාමාන්‍ය ඞී. එස්. සේනානායකයන්ගේ ආණ්ඩුව විශේෂ දායකත්වයක් ලබාදුන්නේ ය. එමගින් ගම්බද දුගී දුප්පත් ජනතාවගේ දුවා දරුවනට නිදහස් අධ්‍යාපනයේ වරප‍්‍රසාදය අත්පත් කරගනිමින් සමාජයේ ඉහළට යාමේ අවස්ථාව උදා විය.

නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රතිලාභ හිමි කර ගත් බොහෝ දෙනෙකු අද එය අමතක කොට එක්සත් ජාතික පක්ෂය ධනපති පැළැන්තියේ පක්ෂයක් ලෙස හැඳින්වුව ද සැමදා දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටියේ අප පක්ෂය බව මෙමගින් මොනවට පැහැදිලි වේ.

1956 න් මෙපිට වසර 65 ක කාලය තුළ උතුරුකරයට ලැබුණ යමක් නැත. 56 පෙරළියේ ප‍්‍රතිඵලයක් වූ තිස් අවුරුදු යුද්ධයෙන් වඩාත් බැට කෑවේ උතුරේ මිනිසුන් ය. 2005 ජනාධිපතිවරණයේදී එල්.ටී.ටී.ඊ. තර්ජනය නොතකා, තනිව ඡුන්ද පොළට ගිය කිලිනොච්චි පුරවැසියාත්, 1988 භීෂණය හමුවේ නොබියව ඡුන්ද පොළට ගිය දකුණේ සිංහල බෞද්ධ බහුතරයත් කතිරය ගැසුවේ අලියා ඉදිරියේ ය. හේතුව එජාපය යනු සහජීවනය, සමගිය පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ආරක්ෂා කිරීමට කැපවෙන පක්ෂයක් බව දැන සිටීම නිසා ය.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් මැතිවරණයෙන් බලයට පත් වත්මන් ආණ්ඩුවේ කැබිනෙට්ටුව තුළ එකම පවුලක ලේ නෑයන් පස් දෙනෙකු ආධිපත්‍ය පතුරුවාගෙන සිටිති. මෙම පවුල් ගස එජාපය බිඳ වැටුණ 1970 දීත් දැකගත හැකි විය. එසේම 1959 දී ශ‍්‍රීලනිපය කුල සාධකය මත සී. පී. ද සිල්වා නායකත්වයෙන් බැහැර කළ ද එ.ජා.ප.ය පේ‍්‍රමදාස දිනවී ය. ඒ එක්සත් ජාතික පක්ෂයේ හැටි ය.

සියලූ ජාතීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමේ පරම චේතනාවෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ වුවද ඉන් බිඳී ගිය එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකයන් සිංහල පමණක්ය යන මතයෙහි පිහිටා කටයුතු කිරීම හේතුවෙන් එතෙක් ගොඩනගා ගෙන ආ ජාතීන් අතර සංහිඳියාවේ විශාල ඉරිතැලීමක් සටහන් විය. ඩඞ්ලි සේනානායක, ශ‍්‍රීමත් ජෝන් කොතලාවල වැනි නායකයින් උත්සාහ කළේ ආර්ථික හා ජාතික වශයෙන් රට ගොඩනැගීමට ය.

1977 පැවැති මහා මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබාගෙන විශිෂ්ට ජයක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය, නිදහස් ශ‍්‍රී ලංකාව නවීන ලෝකයට සරිලන ලෙස හැඩගැස්වී ය. නව ව්‍යවස්ථාවක් හා නව ආර්ථික ක‍්‍රමවේදයක් ද රටට දායාද කළ ජේ. ආර්. ජයවර්ධනයන් ආර්ථික සමාජීය විප්ලවයකට මුල පිරී ය.

ජනසවිය, උදාගම් සංකල්පය ගෙනා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිදුන් දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කැපවූවේ ය. ඔහුට සවියක් වූ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහයාණන් කර්මාන්තපුර අරඹමින් ගමට මුදල් ගලා යන ක‍්‍රමවේදයක් සැකසුවේ ය.අධ්‍යාපන ඇමැති ලෙස ඔහු ගුරු විද්‍යාපීඨ හා පරිගණක තාක්ෂණය රටට හඳුන්වා දෙමින් අධ්‍යාපනයට මෙතෙකැයි

ගණනය කළ නොහැකි අමිල මෙහෙයක් ඉටු කළේ ය. ජංගම දුරකතන මෙරටට හඳුන්වා දෙමින් අන්තර්ජාල පහසුකම් ද ගෙන ඒමට කැප වූවේ රනිල් වික‍්‍රමසිංහයන් ය. අද ජංගම දුරකතන භාවිතා කරන බොහෝ දෙනෙකු මෙය නොදන්නවා විය හැකි ය. ඉතිහාසය පුරා නිහඬ සේවයක් කළ එක්සත් ජාතික පක්ෂයට සැමදා එල්ල වූයේ අසත්‍ය චෝදනාවන් ය. 2005 ජනාධිපතිවරණයේදී එල්.ටී.ටී.ඊ. ය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතික්ෂේප කිරීමම ඔහුට පරාජය අත්කර දුන්නේ ය. සටන් විරාම ගිවිසුමෙන් සිර වූ එල්.ටී.ටී.ඊ. ය අවසානයේ රනිල් වික‍්‍රමසිංහයන් හැඳින්වූයේ කපටි නරියෙකු ලෙස ය.

අපගේ පක්ෂ ඉතිහාසය දෙස බලද්දී රට වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. සෘණ ආර්ථිකයක් සහිතව 2002 වසරේ දී රට භාරගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2004 දී රට භාර දුන්නේ ධන ආර්ථිකයක් ද සමඟිනි. රටක් දියුණු කළ හැක්කේ කළ පුරුද්ද මෙන්ම පළපුරුද්ද ඇති පිරිසකට බව මෙයින් මනාව පැහැදිලි වේ. දැයේ දුවා දරුවන්ගේ සිට තරුණ මහළු සැමට එකසේ ප‍්‍රතිලාභ හිමිවූයේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයන් හි දී ය. එක්සත් ජාතික පක්ෂය කිසිදු විටෙක විවේචන පමණක් ගොනු කිරීමට සීමා වූ විපක්ෂයක් නොවී ය. හේ රට ව්‍යාකූලවූ සෑම අවස්ථාවකදීම විකල්පයක් ඉදිරිපත් කළ පක්ෂයක් විය. කොවිඞ් වසංගතය හමුවේ විනාශ වන රට ආර්ථික හා සෞඛ්‍ය අංශයෙන් ගොඩගත හැකි යෝජනා 21 ක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ එබැවිනි. අත්දැකීම් නොමැති අලූත් කණ්ඩායමකට රට භාර දීමේ ඵලවිපාක අද අපි අත්විඳිමින් සිටින්නෙමු.

එක්සත් ජාතික පක්ෂය නවීන තාක්ෂණය හා බද්ධ වූ පක්ෂයකි. එය එදා මෙන් අදටත් වලංගු ය. බාල, තරුණ, මහළු සෑම දෙනාම නවීන තාක්ෂණය සමග බද්ධව කටයුතු කරන මෙවන් යුගයක 75 වන සංවත්සරයෙන් පසුව පක්ෂ කටයුතු නවීන තාක්ෂණය ඔස්සේ දියත් කිරීමට අප සැලසුම් කර ඇත්තේ ද එබැවිනි. කොවිඞ් වසංගතය හමුවේ භෞතිකව ජනහමු පැවැත්විය නොහැකි බැවින් දෙස් විදෙස් සෑම පුද්ගලයෙකුම අද රැස්වෙන්නේ මාර්ගගත (දබකසබැ) ක‍්‍රමයට ය. තොරතුරු තාක්ෂණය රටට හඳුන්වාදුන් පක්ෂය ලෙස අප මෙවර පක්ෂ යාන්ත‍්‍රණය අන්තර්ජාල හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ඉදිරියට ගෙන යන්නෙමු.

සිව් වැදෑරුම් රැකවරණයක් තුළ රට ඉදිරියට ගෙන යෑමේ සැලසුම පක්ෂ සම්මේලනයේදී රට හමුවේ තැබීමට නියමිත ය. ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව හා දැනුමේ ආරක්ෂාව යන සිව්වැදෑරුම් රැකවරණය මත රට පාලනය කිරීම අප ජනතාව හමුවේ තබමු. ජනතා තීන්දුව මත ප‍්‍රතිපත්ති මාරු නොවන යකඩ රාමුවක් ඔස්සේ රට සාර්ථකව ඉදිරියට ගමන් කරනු ඇත.

රටත් ජනතාවත් සුරකිමින්, සමෘද්ධිමත් ආර්ථිකයක් කරා මව්බිම මෙහෙයවීමට හැකියාව ඇති එකම ජ්‍යෙෂ්ඨ පරිණත පක්ෂය ලෙස අපගේ ඒකායන අරමුණ වන්නේ ශක්තිමත් ශ‍්‍රී ලංකාවක් බිහි කිරීමයි. ජනතා ප‍්‍රාර්ථනය ද එයම බව අප විශ්වාස කරන අතරම, හැත්තෑ පස් වන සැමරුම සටහන් කරන මේ මොහෙතේ දී මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත වේවා! යි එක්සත් ජාතික පක්ෂය ලෙස අප එක්සත්ව එක්සිත්ව ප‍්‍රාර්ථනා කරන්නෙමු.

රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක

advertistmentadvertistment
advertistmentadvertistment