ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරේෂ් පෙරේරා නැති වූ හිඩස පුරවන්න පහසු නෑ – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

127

පාඨක අවධානය දිනා ගත හැකි ලෙස මාධ්‍ය වාර්තා සැපයූ සුරේෂ් පෙරේරා මහතා කළ සේවය තමන් හොඳින් දන්නා බවත් ඔහුගේ අභාවයෙන් ඇති වූ හිඩැස පිරවීම පහසු කාර්යයක් නොවන බවත් විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටී.

 දි අයිලන්ඞ් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරේෂ් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන විපක්ෂනායක මෙසේ කියා සිටියි. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

 දි අයිලන්ඞ් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරේෂ් පෙරේරා මහතාගේ හදිසි අභාවය ඇසීමෙන් මම ඉමහත් කම්පනයට පත්වීමි.

 සුරේෂ් පෙරේරා මහතා මට මුලින්ම හමුවූයේ මගේ පියාණන් සමඟ උදාගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ මොහොතකදීය. තරුණ මාධ්‍යවේදියෙක් ලෙස එතුමා ඉංගී‍්‍රසි පුවත්පතකට ගම්උදාව වාර්තා කිරීම එදා පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකි. මන්ද බොහෝ ඉංගී‍්‍රසි පුවත්පත් සිදුකළේ සිංහල වාර්තාව පරිවර්තනය කොට පළකිරීමයි. එම කි‍්‍රයාපිළිවෙත වෙනස් කළ සුරේෂ් පෙරේරා මහතා ජනහමුවේ කතා වාර්තාකරණයෙන් ඔබ්බට යමින් ගම්මානයේ ජනතාව සමග සාකච්ඡුා කොට අඩුපාඩු මෙන්ම ජනතාව ලැබූ ප‍්‍රතිලාභ සිය වාර්තාවට එක්කළ අයුරු සිහිපත් කළ යුතුය.

 එම වාර්තා තුළින් ගම්උදාව වැඩපිළිවෙළ විධිමත්ව කි‍්‍රයාවට නැංවීමටත් නිලධාරීන් පවා සැලකිල්ලෙන් කටයුතු කිරීමට පෙලඹුණ බැව් මගේ පියා එතුමාගේ මෙහෙවර අගයමින් පැවසූ බව මතකයේ රැුඳී තිබේ.

 සුරේෂ් පෙරේරා මහතා පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කළ අයෙකි. තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත නොවූ යුගයක කඩිනමින් තම පුවත්පතට වාර්තා සැපයීමට තිබූ කැපවීම වර්තමානයේ මාධ්‍යවේදීන්ට පූර්වාදර්ශයක් බැව් කිව යුතුය.

 ඔහුගේ මාධ්‍ය භාවිතයේ විශේෂත්වය වූයේ සිය වාර්තාව අනෙකුත් වාර්තාකරුවන්ගෙන් වාර්තාකරණයෙන් වෙනස් වූවක් ලෙස පාඨක අවධානය දිනාගැනීමට ලිවීමයි. මේ නිසාම සුරේෂ් පෙරේරා මහතාගේ වාර්තා බොහෝ විට මුල් පිටුවේ වාර්තා බවට පත්විය.

 ඉතාමත් නිහඬ ජීවිතයක් ගත කළ එතුමාගේ ඇවතුුම් පැවතුම් පවා අංකුර මාධ්‍යකරුවන්ට මඟ පෙන්වීමකි. එවැනි පරිණත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ මඟපෙන්වීම් රටට අවැසි මොහොතේ අපෙන් සමුගැන්ම විශාල පාඩුවකි. සුරේෂ් පෙරේරා මහතා වැන්නවූන්ගේ හිඩැස පිරවීම පහසු කාර්යයක් නොවේ.

 එතුමාට වර්තමානයේ මාධ්‍යවේදීන්ට පිදිය හැකි හොඳම උපහාරය වන්නේ එතුමා ගත් මඟ හැදෑරීමයි.

 අභාවප‍්‍රාප්ත සුරේෂ් පෙරේරා මහතාට උතුම් නිවන් සුව ලැබේවා!

advertistmentadvertistment
advertistmentadvertistment