ජාත්‍යන්තරය ජය ගත් හතර දෙනාම ශූරීයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපහාර

192

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් වැනේසා ද සිල්වා මහත්මියට උපහාර පුදමින් විශේෂ ඵලකය පිරිනැමූ අයුරු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනාවලින් පසු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල තරග විනිශ්චය මණ්ඩලයට උසස්වීම් ලබා සිටින කාන්තා ක්‍රිකට් නිලධාරීන් සිව්දෙනාට උපහාර දැක්වීමක් පෙරේදා (07 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැති චාම් උත්සවයකදී වැනේසා ද සිල්වා, මිෂෙල් පෙරෙයිරා, දේදුණු ද සිල්වා සහ නිමාලි පෙරේරා යන නිලධාරිනියන් සිව්දෙනා ඇගයීමට ලක් කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන බන්දුල දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මෙන්ම විනිසුරු සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චානක තේනුවර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපහාර ලද නිලධාරිනියන් අතර වැනේසා ද සිල්වා සහ මිෂෙල් පෙරේරා යන නිලධාරිනියන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ල නියෝජනය කරනු ලබන අතර දේදුණු ද සිල්වා සහ නිමාලි පෙරේරා යන නිලධාරිනියන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ සංවර්ධන ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල ද නියෝජනය කරනු ලබති.

මෙහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා, ‘ඔවුන් ලබා සිටින ජයග්‍රහණය පිළිබඳව අපි අතිශයින් සතුටට පත් වෙනවා. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල

දිරිගැන්වීමක් ලබාදෙන අතර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිට ජාත්‍යන්තරයේ විනිසුරුවන් මෙන්ම තවත් බොහෝ දේ දක්වා යා හැක්කේ කොතැනින්ද කියන දේ පෙන්නුම් කරනවා” යනුවෙනි. මෙම උපහාර පිදීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන් සියලු දෙනාම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය අගය කිරීම සඳහා විශේෂ ඵලකයක් පිරිනැමීම කැපී පෙනිණ.

advertistmentadvertistment
advertistmentadvertistment