ජාත්‍යන්තරය පිළිගන්නේ නැති ජනපති සහ අගමැති සිටිනතුරු රටට ගොඩඒමක් නෑ  

155

නව අගමැති පත්වූ පසු ඇතිවූ පෝලිම් නිසා අද පාරේ යන්නත් බෑ

මෙරට ජනතාව මෙන්ම ජාත්‍යන්තරය ද පිළිගන්නේ නැති ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් තිබෙන බැවින් රටට ගොඩ ඒමක් නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට පත් වෙලා. ඒ සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කිසිම පියවර ගන්නේ නැහැ. මේ රටේ ජනතාව ජනාධිපතිවරයාට ගෙදර යන්න කියනවා. හැබැයි එහෙම කිව්වට ඒ භාෂාව ජනාධිපතිවරයාට තේරෙන්නේ නැති බවක් පේනවා. ඒ වෙනුවට වෙනත් අය ගෙදර යවමින් තමන් බලයේ ඉන්නවා. රටේ ජනතාව අද පාරට වැටිලා අපාදුක් විඳිනවා එසේනම් අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට ගෙදර පලයන් කියලා. මොකද ගෙදර යන්න කිව්වට තේරෙන්නේ නැහැ එහෙමනම් රාජපක්ෂ ජනාධිපතිතුමෝ ගෙදර පලයන්. මොකද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය වටාපිටාව හදන්න ඕන. අද රටේ ජනතාව පිළිගන්නේ නැති ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් තියෙන්නේ. ඒ වගේම තමයි ලෝකයේ පිළිගන්නෙත් නැති ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් ඉන්නේ. මේ තත්වයෙන් ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම මේ ජනාධිපති ඉවත් විය යුතුමයි. ඒ වගේම ලෝකයා පිළිගන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න ඕන. එහෙම නැත්නම් ජනතාව තවදුරටත් පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල ඉන්න සිදුවෙනවා. එහිදී ජීවිත අහිමි කරගන්න සිදුවෙනවා. මේ වෙනවිටත් 10 දෙනෙකුට ආසන්න වටිනා ජීවිත ගණනක් නැති වුණා.

අද අපි පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන විපක්ෂය විදියට විපක්ෂයේ කණ්ඩායම් පාර්ලිමේන්තුව වර්ජනය කරා. මොකද අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරත් ඒ එකකටවත් පිළිතුරක් නැහැ. දැන් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ඒ වගේම අනෙකුත් කණ්ඩායම් ගණනාවක් තමන්ගේ ප්‍රදේශවල ජනතාවගේ දුක්ගැනවිලි කතා කරනවා. නමුත් එකකටවත් විසඳුම් ලබා දෙන්න බැරි වෙලා. අලුත් අගමැතිවරයා බලයට පත්වෙන කොට මොකද කිව්වේ පෝලිම් නවත්තනවා කිව්වා ජනතාව බඩගින්නේ තියන්නේ නැහැ කිව්වා. අපි අහනව මේ කියපු කාරණා ඉෂ්ට කරල තියෙනවද කියලා. සිදුවුණේ පෝලිම තවත් කිලෝමීටර් තුන හතරක් දක්වා වැඩි වීමයි. එක පෝලිම් දෙකක් වෙලා. පෝලිම් නිසා අද පාරේ යන්න බෑ.

එහෙනම් අද මේ පාර්ලිමේන්තුව තුළ මේ කියපු එකක්වත් මේ ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා. විපක්ෂය හැටියට ජනතාව වෙනුවෙන් අපි හඬක් නැගුවා අපි ඒව කතා කරා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය කලින් පැහැදිලි කළා. නමුත් එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරි තැනක් බවට පත්වෙලා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න. ඇයි අපි එහෙම කරන්නේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන විපක්ෂය විදියට අද මේ ගෙනියන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහාම අයින් වෙලා රටට ලෝකයට පිළිගන්න පුළුවන් ජනතාව විශ්වාස කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන තැනට මේක ගේන්න ඕන. ඒ සඳහා තමයි අපි පාර්ලිමේන්තුව වර්ජනය කරලා අද ජනතාවත් එක්ක මේ ආණ්ඩුවට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ විරුද්ධව ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා ප්‍රධාන විපක්ෂය හැටියට අපි ක්‍රියාත්මක වෙන්නේ. මොකද පාර්ලිමේන්තුව තුළ අපි මොනවා කතා කරත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති තැනට පත්වෙලා.

වර්තමාන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා කමිටු ගණනාවක් හදනවා කියලා.විපක්ෂයත් මේවට සම්බන්ධ කරගන්නවා කිව්වා. ඒ බව අපි මුලින්ම කිව්වා කකුලෙන් අදින්නේ නැහැ ජනතාව ජීවත් කරවන්න පුළුවන් අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. ඒ සඳහා අපේ විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම රටේ ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී හිටියා. නමුත් කියපු කමිටු විපක්ෂයෙන් ඒ කමිටුවලට දාලා සාකච්ඡා කරලා කටයුතු කරනවා කිව්වට එකක්වත් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්න බැරි නම් විපක්ෂයක් විදිහට පාර්ලිමේන්තුව වර්ජනය කරලා ජනතාවත් එක්ක එකතු වෙලා අපි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රජය පලවා හරින ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළට අපේ සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු රෝහන බණ්ඩාර මහතා-

පාර්ලිමේන්තුවේ කතා කරලා අදහස් ඉදිරිපත් කරාට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිසි කෙනෙක් ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ. තමන්ගේ න්‍යාය පත්‍රයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ මතවාදය සහ විපක්ෂය නියෝජනය කරන්න මේ රටේ සමස්ත ජනතාවගේ අදහස් එය සමාජගතනොවෙනකොට ඒ හරහා සමාජය ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න

කටයුතු නොකරන කොට ඇයි අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කියන ප්‍රශ්නය තුළ අපි හිටියා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment