ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ හැට හැවිරිදි පුරුක එස්.ටී.එෆ්. එකෙන් ගලවයි

321

රු. ලක්‍ෂ 90 ක මුදල් සමග ගිනි අවියකුත් අල්ලයි

දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය මඟහරිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමග එක් වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 60 හැවිරිදි පුද්ගලයකු විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්‍ෂ 90 කට වැඩි මුදල්, රුපියල් කෝටියකට වඩා වටිනා මෝටර් රථයක් ඇතුළු උපකරණ කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 05 දා ගෝනපීනුවලදී අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ මෙහෙයුම් , පොලිස් පරීක්‍ෂක එච්. වී. එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

තෙලිකඩ පොලිස් වසමේ ලූම්බිණි ගිනිමැල්ලගහ බටහිර ගෝනපීනුවල ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමේදී පකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝලයක්, එයට යොදන ජීව උණ්ඩ, ලක්‍ෂ 90 කට අධික මුදල්, සැටලයිට් වර්ගයේ දුරකථනයක්, මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට යොදාගත් වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවත්, මොහු සතුව තවත් දේපළ ඇති බවටත් පොලිස් විශේෂ කාර්ය බළකාය සැකකර ඇත. මොහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඊයේ (06 දා) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට කටයුතු කර තිබිණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment