ජාතික ආරක්‍ෂාවට බලපාන තොරතුරක් ලද විට මැඩ පැවැත්වීමට පියවර ගැනීම පොලිස්පතිගේ රාජකාරියක්

494

*පොලිස්පති චන්දන දීපාල් වික‍්‍රමරත්න සාක්කි දෙමින් කියයි

*පොලිස්පතිට ඔහුගේ අභිමතය යටතේ තනතුරේ වගකීම් ඉටුකිරීමට පුළුවන්

* හිටපු පොලිස්පති ගැන සාක්කි දෙන්න ආ පොලිස්පති විනිසුරුවරුන්ගේ දොරටුවෙන්  ඇතුළු වී පිටව යයි

*පාස්කුදා  ප‍්‍රහාර නඩුව

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී ඊයේ (29 දා) පැවැති අවස්ථාවේදී පොලිස්පති සී’ ඞී’ වික‍්‍රමරත්න සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණයට පැමිණි අයුරු පින්තූරය – නිමල් දයාරත්න

යම් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් හෝ ජාතික ආරක්‍ෂාවට බලපාන යම් අහිතකර කි‍්‍රයාවක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් තොරතුරක් ලබාදුන් විට විශේෂඥ දැනුමැති විමර්ශන අංශ සමග වහාම සාකච්ඡුා කොට ඒවා මැඩ පැවැත්වීමට පියවර ගැනීම පොලිස්පතිවරයාගේ රාජකාරි වගකීම වන්නේ යැයි පොලිස්පති චන්දන දීපාල් වික‍්‍රමරත්න මහතා කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (29දා* ප‍්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා වැටුපක් ලබන රාජ්‍ය නිලධාරියකු පමණක් නොව රට තුළ සාමය හා නීතිය පවත්වාගෙන යායුතු ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී වගකීමක් පැවැරී ඇති අයකු වන්නේ යැයි පෙන්වා දෙමින් සාක්‍ෂි ලබාදුන් පොලිස්පතිවරයා රාජ්‍ය බුද්ධි අංශවලින් ලබාදෙනු ලබන ජාතික ආරක්‍ෂාවට බලපාන තොරතුරු සම්බන්ධයෙන් ඔහු පෞද්ගලිකව දැඩි අවධානය යොමු කළ යුතු වන්නේ යැයිද ප‍්‍රකාශ කළේය.

ප‍්‍රහාර එල්ල වන බවට නිසි තොරතුරු ලැබී තිබියදීත් මුස්ලිම් අන්තාවදීන් විසින් 2019.04.21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව වළක්වා

නොගැනීමෙන් නීති විරෝධී අන්දමින් රාජකාරිමය වගකීම් පැහැර හැරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දෙමින් පොලිස්පතිවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

නීතිපතිවරයා විසින් අධිචෝදනා 855 ක් යටතේ පවරා තිබූ එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඞ් ඉර්සඞීන් යන විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදුන් පොලිස්පති චන්දන දීපාල් වික‍්‍රමරත්න මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

ජාතික ආරක්‍ෂක කවුන්සලයේ සාමාජිකයකු වන පොලිස්පතිවරයා වර්තමානයේ පමණක් නොව අනාගතයේද ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර කටයුතු කළ යුතුයි. ඔහු තමන්ගේ පෞද්ගලිකත්වය ගැන නොව ඔහු වෙත පැවැරී ඇති ජාතික වගකීම් අනුව කටයුතු කළ යුතුයි. බුද්ධි අංශ ලබාදෙන තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකර ඒවා වර්ධනය කරගෙන එවැනි ව්‍යසනවලින් රට ගලවාගැනීම සඳහා පියවර ගත යුතුයි.

දිලීප පීරිස් මහතා – රාජ්‍ය බුද්ධි අංශ ලබාදෙනු ලබන තොරතුරු සම්බන්ධයෙන් පියවර ගැනීමට ඒවා නිශ්චිත බුද්ධි තොරතුරුම විය යුතුද?

සාක්‍ෂිකරු- නෑ. ඒවා සියයට සියයක්ම නිවැරදි විය යුතු නෑ. අභ්‍යන්තරය ගැන නෙමෙයි තොරතුරේ හරයයි අවශ්‍ය. අනික අපි බුද්ධි අංශවලින් ලැබෙන තොරතුරු කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. ඒ ගැන ක්‍ෂණික පියවර ගත යුතුයි. එකී තොරතුරු විමර්ශනය කර වැඩි දියුණු කර ගන්න ඕන. නොවිය හැකි දෙයක් ගැන වුණත් විය හැකි දෙයක් ලෙස සලකා කටයුතු කිරීමට බුද්ධි අංශ තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් වෙනවා. පූර්ව ආරක්‍ෂක සැලැස්මක් ඇතිව කටයුතු කළ යුතුයි. රාජ්‍ය ආරක්‍ෂාවට බලපාන කරුණු ගැන රටේ නායකයා දැනුවත් කිරීම පොලිස්පතිවරයාගේ වගකීමයි.

එහිදී විත්තිකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු මෙසේද ප‍්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා ලෙස මම කටයුතු කරන්නේ මට ආවේණික වූ ක‍්‍රමවේදයටයි. අද මම සාක්‍ෂි දුන්නේ මට ආවේණික වූ එම ක‍්‍රමවේදය අනුවයි. එම තනතුර දරන වෙනත් අයකුට ඔහුගේ අභිමතය යටතේ පොලිස්පති තනතුරේ වගකීම් ඉටුකිරීමට පුළුවන්. 2019.04.21 වැනිදා ප‍්‍රහාර එල්ල විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා 2019.04.19 වැනිදා යැව්ව ලිපිය පොලිස්පති කාර්යාලයට ලැබුණ දිනය නිශ්චිත නෑ. සමහර විට එය 2019.04.19 හා 2019.04.21 කාලය තුළදී ලැබෙන්න පුළුවන්. රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා එකී ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන කළ දැනුවත් කිරීම් පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුවත් කර තිබෙන බවට හා එමගින් රටේම තිබෙන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවලට ඒ සම්බන්ධයෙන් කරන යෝජනාව මම

පිළිගන්නවා. එවැනි තොරතුරක් ලැබුණාම ඒ ගැන ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් ඇතුළු

වගකිව යුතු අංශවලට දැනුම් දීමේ වගකීම රාජ්‍ය බුද්ධි අංශයට තිබෙන බවට කරන යෝජනාවත් මා පිළිගන්නවා. තොරතුරු

රැුස්කිරීම, බෙදාහැරීම හා විශ්ලේෂනය කිරීම රාජ්‍ය බුද්ධි අංශයේ වගකීමක්. රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා තනතුර අනුව පොලිස් නිලධාරියෙක්.

විනිසුරු මොහොමඞ් ඉර්සඞීන් මහතා-

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ජාතික ආරක්‍ෂාවට බලපාන යම් බරපතළ තොරතුරක් ලබාදුන් විට ඒ සම්බන්ධයෙන් නොසලකා හැරීමේ හැකියාවක් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට තිබෙනවාද?

සාක්‍ෂිකරු-

එහෙම පැහැර හැරීමට ඔවුන්ට නොහැකියි. රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාටත් පොලිස් ආඥා පනත බලාත්මක බව මම පිළිගන්නවා.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා-

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා දේශපාලන වශයෙන් බලපාන යම් යම් තොරතුරු රටේ රාජ්‍ය නායකයාට පමණක් දැනුම්දී ත‍්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දෙන්න පුළුවන්ද?

සාක්‍ෂිකරු-

බුද්ධි සමාලෝචන මණ්ඩල

රැුස්වීම තුළදී ඒ වගේ ප‍්‍රශ්න ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දීමේ හැකියාව රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාට තිබෙනවා.

වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන ජනවාරි 18 වැනිදා පෙරවරුව දක්වා කල් තැබිණි. දිසා අධිකරණ සංකීර්ණයේ පිටුපස ප‍්‍රදේශයෙන් පැමිණ අධිකරණ ශාලාවට පැමිණි සාක්‍ෂිකාර පොලිස්පතිවරයා සාක්‍ෂි ලබාදීමෙන් අනතුරුව නඩු කටයුතු පැවැත්වෙමින් තිබියදීම විනිසුරුවරුන් අධිකරණයට ඇතුළුවීම සහ පිටවීම සඳහා භාවිත කරන දොරටුවෙන් අධිකරණ ශාලාවෙන් නික්ම ගියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment