ජාතික ආර්ථිකයට දායක වීමට හැකි විද්වතුන් තනමු

145

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලීය 12 වැනි උපාධි ප්‍රදානෝත්සවය අදට (27) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි

ආරම්භයේ සිටම අලුත් දිශානතියකට පියමන් කිරීමට අදිටන් කරගත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දැක්ම වන්නේ “ජාතික සම්පත්වලට අගය එකතු කිරීමේ විශිෂ්ටතා කේන්ද්‍රස්ථානය බවට පත්වීම” යන්නයි. රටේ ආර්ථිකයට සෘජුව හෝ වක්‍රව දායක වන විද්‍යාර්ථයින් බිහිකිරීම උදෙසා වඩාත් ප්‍රායෝගික ලෙස උපාධිධාරීන් පෙළගැස්සවීම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන සියලු උපාධි පාඨමාලා සඳහා විෂය නිර්දේශ සකස් කිරීමේදී “ජාතික සම්පත්වලට අගය එකතු කිරීම” සහ “ව්‍යවසායකත්වය” යන මූල විෂය ධාරාවන් පදනම් කරගෙන ඇති අතර සියලු උපාධි පාඨමාලාවල අන්තර්ගතය තුළ උපාධියට අවශ්‍ය විෂය කරුණු ලබාදෙන අතර පරිපූර්ණ උපාධිධාරියකු බිහිකිරීම උදෙසා අත්‍යවශ්‍ය කුලසතා (නිපුණතා) සංවර්ධනය සහ පුළුල් සාමාන්‍ය දැනුම ලබාදීමද සිදු කෙරේ. මෙබඳු සංයුතියකින් යුතු උපාධි පාඨමාලා නිර්මාණය කර ඇති නිසා විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් සඳහා රැකියා වෙළෙඳපොළ තුළ වඩා වැඩි පිළිගැනීමක් ඇති බව සනාථ කර ඇති අතර උදාහරණයක් ලෙස රැකියා නියුක්ති ප්‍රතිශතය මුල් මාස කිහිපය තුළදී 80% තරම් සාමාන්‍යයක පැවතීම ගෙනහැර දැක්විය හැක.

එදා මෙදා තුර වසර 17 ක් තුළ කාලයේ දී අනෙකුත් විශ්වවිද්‍යාල හා සැසඳීමේදී වඩාත් අවේණික ගති ලක්ෂණ කිහිපයක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සතු වන අතර ඒවා විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සඳහා බෙහෙවින් පිටිවහල් වී ඇත. භෞතික සම්පත්වල කේන්ද්‍රීය පරිශීලනය, සියලු උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම, විෂය කේන්ද්‍රීය දැනුමට අමතරව පුළුල් සාමාන්‍ය දැනුම ලබාදීම සහ අත්‍යවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම, පෝස්ටර් සහ කටවුට්වලින් තොර හරිත භූමියක් පවත්වා ගෙනයෑම, ඇතැම් ප්‍රධාන සේවා බාහිර අංශ මගින් ලබාගැනීම හරහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මකභාවයෙන් ඉහළ සේවයක් නිරතුරුව සපයා දීම ඉන් ප්‍රධාන කිහිපයකි. මේ සියල්ල ඔස්සේ වඩාත් ඵලදායී සේවාවක් මඟින් වෙනස් ආරයක විද්‍යාර්ථයින් බිහිකිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය උත්සහ දරන අතර එය කාගේත් අවධානයට හා ප්‍රසාදයට ලක්වීමට තුඩුදී ඇත.

ඉගැන්වීම හා උපදේශනය, පර්යේෂණ කිරීම සහ සමාජ සේවා කටයුතුවල නියැළීම අපගේ තෙවැදෑරුම් සේවාවන් වන අතර ඒ අනුව වඩාත් සුභවාදී හෙට දවසක් වෙනුවෙන්, බාහිර පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා (දැනට පවත්වාගෙන යන පාඨමාලාවලට අමතරව), විවිධ පුහුණුවීම් (කෙටි සහ මධ්‍යකාලීන) සහ උපදේශන සේවා ඔස්සේ බාහිර සිසුන් සහ අනෙකුත් අවශ්‍ය පුද්ගලයන් සඳහා අධ්‍යයන සහ සේවා අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. එමඟින් අපගේ මූලික අරමුණ වන ජාතික සම්පත්වලට අගය එකතු කොට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකවිය හැකි විද්වතුන් නිර්මාණය කිරීම වෙත ළඟාවීමට පහසු වනු ඇතැයි අපි විශ්වාස කරමු. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත ද මෙහිදී එක ලෙස වැදගත් කොට සැලකේ.

දොළොස්වන උපාධි ප්‍රදානෝත්සවය

මෙවර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලීය 12 වන උපාධි ප්‍රධානෝත්සවය 2023 ජනවාරි මස 27 වන දින රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී විශ්වවිද්‍යාලීය කුලපති ත්‍රිපිටකාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රත්නපාල ධම්මරක්ඛිත අති පූජ්‍ය බෙන්ගමුවේ

ශ්‍රී ධම්මධින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් සිදුවීමට නියමිතය. මේ සඳහා උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ උපදෙස් පරිදි සියලු මූලික කටයුතු සංවිධානය කොට ඇති අතර විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඒ සඳහා සහභාගි වෙමින් උපාධි අපේක්ෂකයන් දිරිගැන්වීමට සහ ඔවුන්ට සුබපැතීමට බලාපොරොත්තු වේ.

විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වැඩිම උපාධි අපේක්ෂකයන් ප්‍රමාණය මෙවර උපාධි ලැබීමට නියමිත අතර ඒ අනුව මූලික උපාධි 13 ක් සහ දර්ශණපති උපාධිය (පර්යේෂණ) ලබා ගැනීම සඳහා අපේක්ෂකයෝ 700ක් සහභාගි වෙති. පීඨ වශයෙන් ගත් කල සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය මගින් උපාධි පාඨමාලා පහක් වෙනුවෙන් අපේක්ෂකයන් 205 දෙනකුටද, ව්‍යවහාරික විද්‍යා පීඨය මගින් උපාධි පාඨමාලා හතරක් වෙනුවෙන් අපේක්ෂකයන් 205 දෙනකුටද, කළමනාකරණ පීඨය මගින් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන් අපේක්ෂකයන් 120 දෙනකුටද, තාක්ෂණික අධ්‍යයන පීඨය මගින් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන් අපේක්ෂකයන් 162 දෙනකුට ද මෙම උපාධි උළෙලේදී උපාධි පිරිනැමෙනු ඇත. එමෙන්ම, දෙවන වතාවට උපාධි අපේක්ෂකයන් 08 දෙනකු මෙවර දර්ශණපති උපාධිය ලබන අතර ඒවා පිරිනමනු ලබන්නේ සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය සහ ව්‍යවහාරික විද්‍යා පීඨය මගිනි. මීට අමතරව, විවිධ පීඨ, අධ්‍යයනාංශ, උපාධි පාඨමාලා සහ විශේෂිත විෂය ධාරා ඔස්සේ සුවිශේෂ දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් රන් පදක්කම් සහ සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ.

මෙවර උපාධි ප්‍රදානෝත්සවය ප්‍රධාන සැසි වාර දෙකක් වශයෙන් පැවැත්වෙන අතර පළමු සැසියේ ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මා විසින් ද, දෙවන සැසියේ ආරාධිත දේශනය අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහත්මා විසින් ද සිදු කිරීමට නියමිතය.

ඉදිරි අපේක්ෂාවන්

ශ්‍රී ලංකාවේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල අතර ළාබාලම විශ්වවිද්‍යාලයක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මේ දක්වා ලබා ඇති ජයග්‍රහණ ඔස්සේ රටේ ප්‍රගමනයට දායකවීම අත්‍යවශ්‍ය කොට සලකන අතර විශ්වවිද්‍යාලය සතු මානව සහ භෞතික සම්පත් මේ සඳහා

පෙළගැස්සවීම මගින් වඩාත් වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. විවිධ විෂය මූලික ක්ෂේත්‍ර ඔස්සේ ලබා ඇති ආචාර්ය උපාධි 60 ට වඩා විශ්වවිද්‍යාලය සතුව දැනට පවතින අතර ඉදිරි වසර කීපය තුළ එය ශීඝ්‍ර ලෙස තවත් වර්ධනය වනු ඇත. දැනට සේවය කරන මහාචාර්යවරුන් සහ සහාය මහාචාර්යවරුන් විසි දෙනාට අමතරව නුදුරු අනාගතයේදී තවත් මහාචාර්ය පදවි ලැබීමට සුදුසු ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය සතුව ඇත. ගෙවී ගිය කාලය තුළ, සෑම වර්ෂයකම පාහේම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අයත් ආචාර්යවරුන් ගණනාවක් සිය පර්යේෂණ ලිපි අගයමින් ජනාධිපති සම්මානයට පාත්‍ර වී ඇත. එමෙන්ම, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව ලැබූ සම්මාන සහ ඇගයීම් ප්‍රමාණය ද ඉතා විශාලය. 2015 සහ 2016 වසර වලදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා සම්බන්ධ පීඨ අතර වැඩිම ඒක පුද්ගල පර්යේෂණ ලිපි ප්‍රමාණයකට (ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්) දායක වූ පීඨය ලෙස ද සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය දත්ත ගත වූ අතර ව්‍යවහාරික විද්‍යා පීඨය එහිදී විද්‍යා පීඨ අතර සිව්වන ස්ථානයට ද පත්විය. අධ්‍යයන සහ පර්යේෂණ කටයුතුවලට යොදාගත හැකි ලෙස සංවර්ධනය වන විද්‍යාගාර සහ අනෙකුත් සම්පත් අනාගතයේදී අපගේ ඉලක්ක කරා ළඟාවීමට පිටිවහල් වන බව නොඅනුමානය. සමස්තයක් වශයෙන් ගත්කල, මේ සියල්ල හරහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මඟින් නුදුරු අනාගතයේදී රටේ ආර්ථික සංවර්ධනයට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා අවශ්‍ය විද්වතුන් තැනීම අපගේ හුදෙක්ම බලාපොරොත්තුව යි.

අපගේ පිළිගැනීමට අනුව විශ්වවිද්‍යාලය සතු වඩාත්ම වටිනා සම්පත වනුයේ එහි අධ්‍යයන කටයුතු කරන තරුණ විද්‍යාර්ථයින් පිරිසය. එම නිසා, ගුණයෙන් නැණයෙන් පිරිපුන් විද්‍යාර්ථයින් රටේ අවශ්‍යතාවයට පෙළ ගැස්සවීම අප සම්මුඛයේ ඇති එක්තරා අභියෝගයකි. සරසවි සෙවණේ දස්කම් විස්කම් පෑ විද්‍යාර්ථයින්ගේ අභිශේක් මංගල්‍යයට සහභාගි වීමට ලැබීම ආචාර්යවරුන් ලෙස අප ලබන අතිමහත් සතුටකි. එබැවින්, එළැඹෙන දොළොස්වන උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධි ලබා ගන්නා සියලු උපාධි අපේක්ෂකයන්ගේ සියලු කටයුතු සඵල වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔවුන් නුදුරු අනාගතයේදී රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් වෙනු දැක්ම අපගේ හුදෙක්ම අපේක්ෂාව වේ.

මහාචාර්ය සමන් කේ. හේරත්
පීඨාධිපති, සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment