ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ කබ්රාල් වැඩ භාරගනී

111

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් බහුල නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය කබ්රාල් මහතා 2023 මැයි මස 17 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපති ලෙස එම බැංකුවේ ප්‍ර‍ධාන කාර්යාලයීය පරිශ්‍රයේදී සාමාන්‍යාධිකාරී / ප්‍ර‍ධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතාගේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලයේ සුභාශිංසන මධ්‍යයේ වැඩ භාරගනු ලැබීය.

ආචාර්ය කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත, සමාගම් පනත, වාණිජ නීතිය, වාණිජ බේරුම්කරණය, ජාත්‍යන්තර වාණිජ නීතිය යන ක්ෂේත්‍ර‍යන්හි සිවිල් හා අපරාධ නීතිය සම්බන්ධයෙන් වසර 35 ක අත්දැකීම් බහුල ප්‍ර‍වීණයකි. ජනාධිපති නීතීඥයෙකු ලෙස වසර 17 ක් කටයුතු කර ඇති හෙතෙම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා වාණිජ මහාධිකරණයේ පුළුල් අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ කැන්බරා සරසවියේ ආයතනික නීතිය පිළිබද පශ්චාත් උපාධිධරයෙක් වන අතර, 2021 වර්ෂය තෙක් වර්ෂ 06 ක් ම පැරීසියේ බේරුම්කරණය පිළිබද ජාත්‍යන්තර අධිකරණයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම, ඒකාබද්ධ ගැටුම් කළමනාකරණය පිළිබද සම්මේලනයේ නියෝජිත සාමාජිකයෙකු (FICM) මෙන්ම ජාත්‍යන්තර වාණිජ ගැටුම් පිළිබද විනිශ්චය සභාවේ නියෝජිත සාමාජිකයෙකු (ICDT) මෙන්ම එක්සත් රාජධානියේ හා අයර්ලන්තයේ වරලත් පාලන ආයතනයේ අධිසාමාජිකයෙකි. තවද, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන ඔහු, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ අතර, වත්මන් පනත වන 1995 අංක 11 දරන බේරුම්කරණ පනත කෙටුම්පත් කිරීමෙහි නිරත වී ඇත. ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සාමාජිකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment