ජාතික ඔලිම්පික් නිලවරණය අද

187

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අද (28 වැනිදා) පස්වරු 5.00 ට කොළඹ 07 ඔලිම්පික් නිවහනේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර නිලවරණයේදී වත්මන් සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා සමග තරග වැදීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සූදානමින් සිටී.

මහ ලේකම් තනතුරට වත්මන් මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා හා ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම් මොහාන් විජේසිංහ මහතා තරග වැදීමට නියමිතය.

සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයට එරෙහිව උප සභාපති තනතුරට නාමයෝජනා දී සිටි ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ

හා ශ‍්‍රී ලංකා හොකී සංගමයේ සභාපති කමල් පුෂ්පකුමාර මහතාගේ නාමයෝජනා නිලවරණ කමිටුව ප‍්‍රතික්ෂේප කොට ඇත. ඒ අනුව පාලිත ප‍්‍රනාන්දු පාර්ශ්වයෙන් කංචන ජයරත්න (ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය) හා ප‍්‍රීති පෙරේරා (කැනොයින් හා කයාකිං සම්මේලනය) මහත්වරු දෙදෙනකු පමණක් උප සභාපති අපේක්ෂත්වයට ඉදිරිපත්ව සිටිති.

උප සභාපතිවරයකු ලෙස නාමයෝජනා දී සිටි අසංග සෙනෙවිරත්න මහතා පෞද්ගලික හේතු මත නාමයෝජනාව ඉල්ලා අස්කර ගත් හෙයින් උප සභාපති තනතුරු 4 වෙනුවෙන් අපේක්ෂක සංඛ්‍යාව 6ක් දක්වා පහළ ගියේය.

මේ අනුව උප සභාපති තනතුරු 4ට සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් සුරංජිත් පේ‍්‍රමදාස (අසුන් පිට යෑමේ ක‍්‍රීඩා සංගමය), ජෝසප් කෙනී (සුළං ඔරු ක‍්‍රීඩා සම්මේලනය), රිස්ඩි ෆාහීම් (ශ‍්‍රී ලංකා තුන් ප‍්‍රයාම ක‍්‍රීඩා සංගමය) හා නිලූ ජයතිලක (ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය) මහත්ම මහත්මීහු 4ක් ඉදිරිපත්ව සිටිති.

අවසන් වරට පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා හා රොහාන් ප‍්‍රනාන්දු මහතා තරග කළ අතර, එහිදී සුබ‍්‍රමනියම් මහතා ඡුන්ද 18ක් හා රොහාන් ප‍්‍රනාන්දු මහතා ඡුන්ද 12ක් හිමි කර ගත්තේය. මහ ලේකම් තනතුර සඳහා වූ සටනේදී මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡුන්ද 19ක් හා ප‍්‍රීති විරාජ් පෙරේරා මහතා ඡුන්ද 12ක් හිමිකර ගත්හ.

සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් නාම යෝජනා දී සිටි නියෝජ්‍ය ලේකම් වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ හා නියෝජ්‍ය භාණ්ඩාගාරික ශිරන්ත පීරිස් මහත්වරුන් දැනටමත් නිතරගයෙන් තේරී පත්ව සිටී.

කුෂාන් සුබසිංහ

වාරණ නියෝග ලබන  10දා දක්වා දීර්ඝ කරයි

ජාතික ඔලිම්පික් කමිටුවේ නව නිලධාරීන් පත් කිරීමේදී ජාතික සම්මේලනයට පැනවූ වාරණ නියෝග දෙක ලබන ජනවාරි 10 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු ඔගස්ටා අතපත්තු මහත්මිය ඊයේ (28 වැනිදා) නියෝග කළාය.

අධිකරණ නියෝගයක් භාරගැනීමට නොහැකි යැයි ප‍්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය අදාළ වාරණ නියෝග අලවා භාරදීම සිදුකරන ලෙසද වැඩිදුරටත් නියෝග කළාය.

අදාළ වාරණ නියෝග දෙක පසුගිය 24 වැනි දින ජාතික ඔලිම්පික් කමිටු නිලධාරී මණ්ඩලයට නිකුත් කර තිබූ අතර වාරණ නියෝග භාරගැනීමට නොහැකි බව ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා දැනුම්දී ඇති බව පැමිණිල්ල විසින් අධිකරණයට දන්වා සිටීමේදී විනිසුරුවරිය එසේ නියෝග කළාය.

පා පැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරි හා අත්පන්දු සම්මේලනයේ සභාපති උපුල් රාජපක්ෂ පැවරූ නඩු දෙකක් සළකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය මෙම වාරණ නියෝග නිකුත් කළාය. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් ඇතුළු දහසය දෙනෙකුට මෙම වාරණ නිකුත් කර ඇති අතර විත්තිකරුවන්ට ඊයේ දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝගයක්ද නිකුත් කර තිබූ අතර විත්තිකරුවන් පෙනී සිටියේ නැත.

පා පැදි සම්මේලනයේ හා අත් පන්දු සම්මේලනයේ නව නිලධාරීන්ට ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඡුන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙසට නියෝගයක්ද දිසා අධිකරණය මගින් පසුගිය 24 වැනි දින නිකුත් කර ඇත.

නීතිඥ දිනේෂ් විදාන පතිරණ මහතා මගින් නඩු දෙක ගොනුකර ඇති පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ විත්තිකරුවන් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය සඳහා ඡුන්දය භාවිතා කිරිමට තමන්ට අවස්ථාව ලබා නොදී හිටපු නිලධාරින්ට එම අවස්ථවා ලබාදී ඇති බවය. පැමිණිල්ල වෙනුවෙන් කෞෂල්‍ය නවරත්න මහතා දැක්වු කරුණු සළකා බැලූ දිසා අධිකරණය විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කරමින් අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝගයක් නිකුත් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment