ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය අගමැතිගේ සුරතින් විවෘත වෙයි

267

‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය’ ඊයේ (03 වැනිදා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය.

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ‘කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයට’ මෙරට ප‍්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත‍්‍ර 20ක් නියෝජනය කරමින්, ඉදිරිපෙළ කර්මාන්තකරුවන් ප‍්‍රදර්ශන කුටි 400ක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ ඇරඹි ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය’ පෙබරවාරි 06 වැනිදා දක්වා උදෑසන 9:00 සිට රාත‍්‍රී 9:00 තෙක් විවෘතය.

ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට දේශීය කර්මාන්තයන්හි ස්වභාවය හඳුන්වාදීමත් ඔවුන් තුළ දේශීය කර්මාන්ත ඇරැුඹීමට උනන්දුවක් සහ කැමැත්තක් ඇත්නම් ඒ වෙනුවෙන් මගපෙන්වීම, තාක්ෂණික දැනුම ලබාදීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කර දීම සහ ප‍්‍රාග්ධනය සපයාගත හැකි ආයතන සම්බන්ධකර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම ද සිදුකෙරෙයි.

සමාරම්භක උළෙලට සමගාමීව මෙරට වාහන නිෂ්පාදන සහ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැළී සිටින දේශීය කර්මාන්තකරුවන් මෙරටදී නිෂ්පාදනය කරන සහ එකලස් කරන තම වාහන, කොළඹ බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වා පෙළපාලියක් මගින් පැමිණ ප‍්‍රදර්ශනය කිරීම ද සිදුකෙරිණි. එසේම කර්මාන්ත ක්ෂේත‍්‍රයේ රැකියා පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් මෙම අවස්ථාවේ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනගත කෙරිණි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික ජනරාල් දයා රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු රාජතාන්ත‍්‍රික නිලධාරීහු හා ආරාධිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment