ජාතික කී‍්‍රඩා සභාවේ සියලු නිලධාරීන් ඉල්ලා අස්වුණා: කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය කියයි

306

කී‍්‍රඩා ඇමැතිවරයාට උපදෙස් දීම සහ රටේ කී‍්‍රඩාවේ දියුණුවට උපදෙස් දීම පිණිස පත් කර තිබූ ජාතික කී‍්‍රඩා සභාවේ සියලු නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (05 දා) පැවසීය.

ජාතික කී‍්‍රඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පෙරේදා (04 දා) රාතී‍්‍ර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

රටේ ඇති වී තිබෙන තත්ත්වය මත පොදු එකඟතාවක් යටතේ මෙම තීරණය ගත් බවත් කමිටුවේ සාමාජිකයන් 14 දෙනාගෙන් 10කට වැඩි පිරිසක් එම සාකච්ඡුාවට සහභාගි වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජාතික කී‍්‍රඩා සභාවේ වසර 3ක් වූ නිල කාලය අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබිණි.

ජාතික කී‍්‍රඩා සභාව කී‍්‍රඩා ඇමැතිවරයාට උපදෙස් දීම සඳහා පත් කෙරෙන ඒකකයක් ලෙස කී‍්‍රඩා පනතේ එක් තැනක සඳහන් වන බවත් තවත් වගන්තියකින් එහි නිල කාලය වසර 3ක් බවට සඳහන් වන බවත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

‘‘එතන පොඩි ගැටලුකාරි බවක් තිබෙනවා. එක් තැනක තිබෙනවා කී‍්‍රඩා ඇමැතිට උපදෙස් දීම පිණිස පත් කරන ඒකකයක් බව. එමෙන්ම තව වගන්තියක තිබෙනවා වසර 3ක් බලපැවැත්වෙන බව. එය ගැටලුකාරියි. කොහොම වුණත් අපි සියලු දෙනාම ඉවත් වුණා. නව ඇමැතිවරයකු පත් කළ විට මේ නිලධාරීන්ම හෝ වෙනත් අය ඒ සඳහා පත් කිරීමට පුළුවන්. එමෙන්ම කී‍්‍රඩා ඇමැතිවරයාට අවශ්‍ය නම් ජාතික කී‍්‍රඩා සභාවක් පත් නොකර සිටීමටත් අයිතිය තිබෙනවා යැයි ද කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මහේල ජයවර්ධන මහතාගේ සභාපති ධුරයෙන් යුත් ජාතික කී‍්‍රඩා සභාවේ සෙසු සාමාජිකයන් ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද කටයුතු කළේය. එමෙන්ම හිටපු ශී‍්‍ර ලංකා ටෙස්ට් නායක කුමාර් සංගක්කාර, ජූලියං බෝලිං, ඩිලන්ත මාලගමුව, රොවෙනා සමරසිංහ, රජිත අම්පෙමොහෙට්ටි, රුවන් කෑරගල, සුපුන් වීරසිංහ, යෂ්වරන් මුත්තෙට්ටුවගම, සංජීව වික‍්‍රමනායක සහ කස්තුරි විල්සන් යන අය සෙසු නිලධාරීහු වෙති.

නාමල් රාජපක්ෂ මහතා කී‍්‍රඩා ඇමැති ධුරයෙන් ඉවත් වීමත් සමග ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ඒ මහතා විසින් පත් කරන ලද කි‍්‍රකට් තාක්ෂණ උපදේශන කමිටුව ද බලරහිතව ඇත.

එම කමිටුවේ සභාපති ලෙස අරවින්ද ද සිල්වා මහතා කටයුතු කළ අතර රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර් සහ මුත්තයියා මුරලිදරන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

රොෂාන් මහනාම මහතා පෞද්ගලික හේතුවක් මත මීට මාස කිහිපයකට පෙර එම කමිටුවෙන් ඉවත් වී තිබිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment