ජාතික ගීයේ තනුව සුනිල් ශාන්තගේ ගෙදර ඊයම් කොළයක ලියා තිබිලා

479

ජේ. ආර්. ජයවර්ධන කාරය පදවාගෙන මර්සීලිනු ජයකොඩි පියතුමාගේ ගෙදරටම ගිහින් පවරපු වගකීම
පුහුණු කර ඇත්තෙත් මර්සීලිනු ජයකොඩි පියතුමාය….

ශ්‍රී ලංකාවේ නිදහස් උළෙලක පළමු ජාතික ගීය ඉදිරිපත් කිරීම පිළිබඳ පසුබිම් කථාව මෙතෙක් ප්‍රසිද්ධ නොවුණ පුවතක් පිළිබඳව විශේෂිතව සැකසුන සටහනකි මේ.

මෙවර ජාතික නිදහස් දින 75 වසර සැමරුමේ තේමාව “නමෝ නමෝ මාතා සියවසකට පියවරක්” ය. තේමාව තුළට ජාතික ගීයේ කොටසක් ද මුසු කර තිබීම මෙවර ජාතික සැමරුමේ ඇති උත්කෘෂ්ඨත්වය තහවුරු කරන්නකි.

ජාතික ගීය සහිතව නිදහස් උළෙල සැමරීම පිළිබඳව එවකට කැබිනට් මණ්ඩල විශේෂ රැස්වීම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානයකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැතණි. එහිදී සාකච්ඡාවට ගැණුන ප්‍රධාන අංගයක් වූයේ ප්‍රථම රාජ්‍ය නිදහස් උළෙල පැවැත්වීම සංවිධානයට අදාළ මූලික ක්‍රියාමාර්ග සොයා බැලීම පිළිබඳව ය. මෙහි දී ගායනා කිරීමට නියමිත ජාතික ගීය තෝරා ගැනීම පිළිබඳව එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මූලිකත්වයෙන් පත් කළ කමිටු නිර්දේශය මත තෝරා ගත් ජාතික ගීය ඉදිරිපත් කිරීමේ මෙහෙයුම් කමිටු කාර්යභාරය රජය පවරා තිබුණේ මෙරට පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන වෙත ය.

මෙම ප්‍රථම රාජ්‍ය නිදහස් උත්සවය සඳහා 1950 පෙබරවාරි 04 ටොරින්ටන් චතුරස්‍රය සූදානම් කිරීමට ඉතා අඩු කාලයක් බැවින් මේ සඳහා කටයුතු කඩිනම් විය යුතු බව 1949 සැප්තැම්බර මාසයේ දිනක පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කෙරිණි. තෝරා ගත් ජාතික ගීයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ගුවන් විදුලියේ එවකට සභාපති ලුවී විජේමාන්න මහතා කැඳවා කරුණු විමසීමේ දී මේ සඳහා ආනන්ද සමරකෝන්ගේ රචනාව තෝරා ගෙන ඇති බවත් එය සංගීතවත් කිරීමට සුනිල් ශාන්තයන්ට භාර දී ඇති බවත් හෙළි විය. ඒ අනුව එහි සංගීතය මුසු කිරීමට භාර දුන් සුනිල් ශාන්ත මේ වනවිට මෙරට නොසිටින බවත් චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් පැවැත්වීම සඳහා ආනන්ද සමරකෝන් ද සමග ඉන්දියාව බලා ගොස් ඇති බව ද හෙළි විය.

ජාතික ගීයේ තනුව සුනිල් ශාන්තගේ ගෙදර ඊයම් කොළයක ලියා තිබිලා
නිදහස් උළෙලට ජාතික ගීය පුහුණු කිරීමේ අවස්ථාවක්

ඔවුන් පෙරළා ආපසු එන දිනයක් පවා නොදන්නා බවත් මේ සම්බන්ධව කිසියම් පණිවුඩයක් හෝ ලබා දීමේ හෝ ගැනීමේ ක්‍රමයක් ද නැති බව ගුවන් විදුලියේ සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය. ඉතා අඩු කාලක් තුළ මේ සඳහා සූදානම් විය යුතු බැවින් මේ පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ භාරදූර වගකීම පැවරුණේ එවකට මුදල් අමාත්‍ය ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධනයන් ට ය. ජාතික ගීයේ වගකිව යුතු අවසන් කොටස සුනිල් ශාන්තයන් අත රැඳි තිබුණ වුවද ඔහුගෙන් තොරතුරක් ලබාගැනීම හෝ සම්බන්ධීකරණයක් නොමැතිව ඉදිරි කටයුතු කිරීම උකහට බව වටහාගත් ජේ.ආර්. සුනිල් ශාන්තයන් සමග සමීප ඇසුරක් මර්සලින් ජයකොඩි පියනම අතර ඇති බව ක්ෂණිකව සිහියට වැටුණි. එම කැබිනට් රැස්වීමෙන් පසුව ජේ.ආර්. කෙලින්ම තම වාහනය පැදවූයේ මර්සලින් ජයකොඩි පියනම විසූ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැඳුරට ය. පියතුමන් එවකට “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය දරමින් නේවාසිකව සිටියේ ඉහත දෙව් මැඳුරේ ය. එහිදී කරුණු විමසූ විට ජාතික ගීයේ සංගීතය යෙදීම අවසන් කර ඇති බව ගත වූ දිනක සුනිල් ශාන්තයන් හමු වූ අවස්ථාවක පැවසූ බව ජයකොඩි පියතුමා ජේ.ආර්. ට පැවසී ය. මේ පිළිබඳ වගකීම භාරගෙන තමා නිදහස් කරන ලෙස ජේ.ආර්. කළ ඉල්ලීම ජාතික කාර්යයක් ලෙස තැකූ පියතුමා එදිනම සවස ජාඇල ප්‍රදේශයේ දෙහියාගතේ පදිංචි සුනිල් ශාන්තයන්ගේ නිවසට ගියේ තමා වෙත පවරා ඇති වගකීමේ බරපතළකම සිතේ දරා ගෙන ය. මේ පිළිබඳව ශාන්තයන්ගේ බිරිඳගෙන් ඇසූ විට පිළිතුරු වූයේ ඒ වගක් තමාට නොකී බවත් ශාන්තගේ අපිළිවෙළකට තබා ඇති පොත් ගොඩවල් අතර තිබේ දැයි පරීක්ෂා කර බලන ලෙසත් ය. විසිරී තිබූ පොත් පත් ගොන්න අතර එවැන්නක් සොයා ගැනීමට නොහැකි වුවද අවසානයේ දී මේසය මත එලා තිබූ දුඹුරු පැහැවූ පත්තර කොලය යට සිගරැට් පෙට්ටියක ඇතුළත ඇති ඊයම් කොලයක අපැහැදිලිව ලියා ඇති යමක් ජයකොඩි පියනමගේ නෙත ගැටිණි. එය අතට ගත් පියතුමාට සංගීතය පිළිබඳ තම අවබෝධයත් සමග එහි කුරුටු ගා තිබුණේ තමාගේ ගොදුර වූ ජාතික ගීයේ තනුව බව දැකීම තම සතුටේ නිම් හිම් නැති විය. මේ පිළිබඳව ප්‍රමෝදයෙන් ඉපිලී ගිය පියතුමා පෙරළා කොළඹ ගොස් එදින සැන්දෑවේ දී ම තම සොයා ගැනීම ගැන ජේ.ආර්. දැනුවත් කළේය. රජය විසින් තමා වෙත පැවරූ භාරදූරම කාර්ය නිමවී ඇති බැවින් සැනසුම් සුසුමක් හෙළීමට තුඩු දුන් මෙම “නූතන ආකිමිඩියස්ගේ නව පිම්ම” තමාගේ ජීවිතයේ තීරණාත්මක කඩඉඩමක් බවට පත් වන බව ජයකොඩි පියතුමා ට ද පසක් විය.

මෙහි දෙවන අදියර වූ ජාතික ගීය ගායනා කරන පිරිස පුරුදු පුහුණු කිරීමේ කාර්ය භාරය පැවරිය යුත්තේ කාටද යන්න ජේ.ආර්. ට උභතෝකෝටිකයක් විය. මේ සඳහා එවකට සංගීත පුහුණු කිරීම් පිළිබඳ නම් දැරූවන් කිහිප දෙනෙකු සිටිය ද එය දේශියකත්වය හා මුසු කරමින් රටට දායාද කිරීමට අවශ්‍ය විය. පියතුමා පෙරදිග අපරදිග සංගීතය මනාව ප්‍රගුණ කර ඇති බව දැන සිටි මුදල් අමාත්‍යවරයා නිදහස් උළෙල සඳහා මෙතෙක් ගයා නැති අපේ ජාතික ගීය ළමා පිරිසකට පුහුණු කරවා ගැනීම ද පියතුමන් වෙතම පැවරුවේ එහි සාර්ථකත්වය පිළිබඳ අචල විශ්වාසයකිනි. ඒ අනුව එම ඉල්ලීම ද ජයකොඩි පියතුමාට ම භාර කෙරුණ අතර මෙම අවස්ථාව තමාට රට ජාතිය වෙනුවෙන් කරන භාරයක් ලෙස පියතුමන් පුද්ගලිකව තැකීය.

ගීය ගැයීම සඳහා තෝරා ගෙන තිබුණේ කොළඹ නගරය තුළ පිහිටි එකම බෞද්ධ හා බාලිකා විදුහල වූයේ මියුසියස් විදුහල ය. ගායනයට දක්ෂ දරුවන් පිරිසක් තෝරා ගැනීමේ කාර්යය එවකට විදුහලේ විදුහල්පති ධුරය දැරූ ක්ලාරා මොට්නි මහත්මියට විදුහලේ සංගීත අංශය භාර ගුරුවරුන්ට පවරා තිබුණි. මෙම පාසල ආරම්භක අවධියේ ඇතුළත් කළ පළමු සිසුවියන් කණ්ඩායම අතර ජේ.ආර් ගේ මව වන ඇග්නස් හෙලන් විජේවර්ධන සිටීම ජේ.ආර්. ට එම විදුහල තෝරා ගැනීමට හේතුව වන්නට ඇත.

ජාතික ගීයේ තනුව සුනිල් ශාන්තගේ ගෙදර ඊයම් කොළයක ලියා තිබිලා
නිදහස් උළෙලක ජාතික ගීය ප්‍රථම වරට ගායනා කළ අයුරු

ඒ වනවිටත් මියුසියස් බාලිකාවේ සිසුවියන් සියයක් පමණ තෝරා සිටින බැවින් පුහුණුවීම් කඩිනමින් පටන් ගන්නා ලෙස ජේ.ආර්. පියතුමාගෙන් ඉල්ලා සිටියේය. බහුතර බෞද්ධ ජනතාවක් වෙසෙන රටක බෞද්ධ දරුවන් පිරිසක් සම්බන්ධ කර මෙම ජාතික කාර්යයට සහසම්බන්ධ වීමට අවස්ථාව පෑදීම ආගමික සංහිඳියාවට නව අර්ථ දැක්වීමක් එක් කිරීමක් ලෙස ජයකොඩි පියතුමන් සැලකීය.

ඒ අනුව එම ඉල්ලීම කළ පසු දිනම ජේ.ආර්. සමග මියුසියස් බාලිකාවට පිය නැඟීය. බෞද්ධ දැරිවියන් පමණක් ඉගෙනුම ලබන මෙහි කතෝලික පූජකතුමෙකු පා තැබූ පළමු වාරය විය. සුදු වර්ණැති දිගු ලෝගුවකින් සැරසී, කුරුසය ඉණේ රුවා ගත් පියතුමන් දෙස විදුහලේ දරුවන් ආගන්තුකයෙකු ලෙස බලන්නට විය. ඔවුන් තම දරුවන් මෙන් ඉතාමත ආදර බසින් ඇමතූ පියතුමා බිය දුර කර පියානෝව අසලට ගෙන ඒමත් දුෂ්කර කාර්යයක් විය. පළමුව ඔවුන්ගේ බිය පහ කරලීමට පියානෝවෙන් කුඩා ස්වර අභ්‍යාසයක් වැයුව ද සාර්ථක නොවුණ නිසා ජාතික ගීපසෙක තබා “ඇසේ මධුර ජීවනයේ ගීතා” ගීතයේ අනුවාදනය දරුවන් කූල්මත් කරලීවමට සමත් විය. ක්‍රම ක්‍රමයෙන් සිසුවියන්ගේ මුහුණේ රැඳි සැකය මුසුවූ බිය කෙමෙන් අතුරුදහන් වී මෙල්ල කර ගැනීමට පියතුමාගේ වාදනය උපක්‍රමයක් විය. මෙලෙස දවස් තුනක් පමණ පාසලට ගොස් විවිධ ගායනා ඉදිරිපත් කිරීම මගින් එම ගායන කණ්ඩායමේ සිසුවියන් පියතුමාගේ දරුවන් බවට පත්විය.

මෙලෙසින් හිරි ඇරී නියම ගායන අංග ඇතිව අප ජාතික ගීය ලංකාවේ ජනයා ඉදිරියේ දී ජනකායක් ඉදිරිපිට විදේශීය නියෝජිතයන් හා පාර්ලිමේන්තු පිරිස ඉදිරිපිට ද පළමු වරට ගැයීම සූදානම් විය. 1950 පෙබරවාරි මස 4 වැනිදා පෙරවරුවේ ළමා සාරියෙන් සැරසුණු පුහුණුව ලත් ළමා ගායිකාවන් පිරිවරා සපයා තිබූ මංගල රථයේ නැඟී නිදහස් චතුරස්‍රයට කැඳවා ගෙන යනු ලැබිණි. සුබ මොහොත උදාවෙත්ම වසර හාර සියයක් රට විදේශිකයන්ට ගැතිව තිබී නිදහස් වීම සංකේතවත් කිරීම සඳහා සුදු පරවියන් 400ක් ගුවනට යැවීම න්‍යායපත්‍රානුකුලව සිදු විය. පැමිණි සිටි දහස් ගණනක් වූ ජනයාගේ උස් අත්පොළොසන් හඬින් ගුවන පුරා රැව් පිළිරැව් දෙමින් ජාතික ගීය වාදනය කිරීමේ මොහොත එළැඹිණි. වසර 400ක යටත් විජිත සමය සනිටුහන් කරමින් සුදු පරවියන් 400 ක් ගුවනට නිදහස් කර, මඟුල් බෙර වාදනයෙන් අනතුරුව “නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා” ලෙස ගිගුම් දුන්නේ රජයේ නැටුම් හා සංගීත විදුහලේ විදුහල්පති ලයනල් එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් සිතාර් වාදනය ලයනල් එදිරිසිංහගේ ගෝලයෙකු වූ පී.එල්.ඒ. සෝමපාල සමග වූ වාදක මණ්ඩලයේ ස්වරයට ය.

ජාතික ගීයේ තනුව සුනිල් ශාන්තගේ ගෙදර ඊයම් කොළයක ලියා තිබිලා
ජාතික ගීය ඉදිරිපත් කළ කණ්ඩායමේ කොටසක්. ඡායාරූපයේ රවුම් කර ඇති නීටා පිලපිටිය පසු කලෙක මියුසියස් විදුහලේ විදුහල්පති ධුරයට පත්විය.

ඉතිහාසයේ පළමු වරට ජාතික ගීය ගයමින් පළමු නිදහස් උළෙලට මුල පුරන්නට වාසනාව ලැබූ පිරිස බවටත් එම ජාතික ගීයේ තනුව සොයා ගෙන ගායන කණ්ඩායම පුහුණු කිරීම යනු තම රටේ වැදගත් ඓතිහාසික අවස්ථාවකට සම්බන්ධ වීමට තමා ලද වරමක් ලෙස පියතුමා සැලකී ය.

මෙලෙස පියතුමන් විසින් නිදහස් දිනය ඒකාලෝක කරළීමට දුන් දායකත්වය රාජ්‍ය මට්ටමේ අගය කිරීමක් ලෙස එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ උපදෙස් අනුව එළිසබෙත් කුමාරිය හා එඩින්බරෝ ආදිපාදවරයාගේ ශ්‍රී ලංකාවට සැපත්වීම වෙනුවෙන් එම රාජකීය දෙපළ පිළිගැනීමට 1953 පෙබරවාරි 14 දින කොළඹ වරායේ ඉහළ මාලයේ පිළිගැනීමට සම්බන්ධ වන ලෙසත් ඊට පසුදින ගාලු මුවදොර පිටියේ පැවැති ත්‍රිවිධ හමුදා උත්තමාචාරය උළෙලට විශේෂ අමුත්තෙකු ලෙස සහභාගිවන ලෙස ආරාධනා ලැබීමට මර්සලීන් ජයකොඩි පියතුමා භාග්‍යවන්ත විය. මෙම වැදගත් උළෙලේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරලීම වෙනුවෙන් පියතුමාගේ දායකත්වය රාජ්‍ය මට්ටමින් සිදුකල තවත් අගය කිරීමක් ලෙස එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ මුදල් ඇමතිවරයා ප්‍රශංසා ලිපි එවා තිබුණි. මෙම අවස්ථාව සටහන් කරමින් පී.එල්.ඒ. සෝමපාලයන් සංගීතවත් කළ ජයකොඩි පියතුමා පුරුදු පුහුණු කළ මියුසියස් විදුහල් ගායන කණ්ඩායම සහභාගී වූ “ජයමංගල ගාථා” නම් ඨැි 90 තැටිය පසු කලෙක මතක සටහනක් ලෙස එළි දැක්වීම සිදු විය.

තමා සමග මුල්ම ගැයුමට සම්බන්ධ වූ එදා ළමා පිරිස නැවත දැකීමට ආශා කරන බව පියතුමා විසින් මාධ්‍යයට හෙළ කිරීමෙන් පසුව ඔවුන්ගේ හමුවක් සූදානම් විය. ප්‍රසිද්ධ පුවත්පතකට අදහස් දැක්වීමක දී මෙම තීරණාත්මක ගායනයට සහභාගි වූ පිරිස පිළිබඳ විස්තර දන්වා එවන මෙන් හා ඔවුන් සමග සුහද හමුවකට කැමැත්ත පළ කෙරිණි. මෙම එකමුතුව සැකසීමට ප්‍රධාන කර්තව්‍යයක් ඉටු කළ ගායන කණ්ඩායමේ සාමාජිකාවක වූ නීටා පිලපිටිය මියුසියස් විදුහලේ ම පසුකලෙක විදුහල්පතිනිය බවට ද පත් විය.

ජාතික ගීය නිබන්ධනය, තනු නිර්මානය, සංගීතවත් කිරීම, පුරුදු පුහුණු කිරීම යනා දී ප්‍රධාන ලෙස දායක වූ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ලයනල් එදිරිසිංහ, පී.එල්.ඒ. සෝමපාල, මර්සලින් ජයකොඩි යන සියලු දෙනා භාරතයේ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයන්වීම ද විශේෂත්වයකි.

ආනන්ද කරුණාරත්න
සභාපති – කලාසූරී මර්සලින් ජයකොඩි පිය පදනම

advertistmentadvertistment
advertistmentadvertistment