ජාතික ගීය වෙනත් භාෂාවලින් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්

190

මෙවර පවත්වනු ලබන හැත්තෑපස් වන නිදහස් උත්සවයේ දී දෙමළෙනුත් ජාතික ගීය ගායනා කිරීම රජයේ තීරණයයි. 2016 වර්ෂයේ පැවැති යහපාලන ආණ්ඩු කාලයේත් එකී ක්‍රියාව සිදු කරන ලදි. රටේ පවත්නා ඒකීයත්වය බිඳදමන මෙවැනි රාජ්‍ය විරෝධී ක්‍රියා බුද්ධිමත් ක්‍රියා මාර්ග නොව බුද්ධිය බද්දට ගත් පාලකයන්ගේ අදූර්දර්ශී, සාහසික තීරණ බව සාතිශය සංවේගයෙන් ප්‍රකාශ කළ යුත්තේ ය. සුණුවිසුණු කළ රටේ ආර්ථික අර්බුදයට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කිරීම පිළියම ද? එදා ආර්ථික දුෂ්කරතා හමුවේ බිඳ වැටුණු ජනජීවිතය මහා අරගලයක් බවට පත්ව එයින් නැගී සිටීමේ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කළහ. එම නිසා ජනාධිපතිවරයාගේ කාර්යභාරය රටේ ආර්ථිකය ගොඩ නැගීමයි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ අරගලයේ සැබෑ මුහුණවර නොවේ ද? “උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා”, “කඳුකර ජනතාවගේ ප්‍රශ්න විසඳනවා”, “මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳනවා” යනාදී වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිරන්තර ප්‍රකාශනවලින් මනාව ප්‍රකට වේ.

දකුණට නැති උතුරේ දෙමළ ජනතාවට පමණක්, “කඳුකරයේ දෙමළ ජනතාවට පමණක්”, “මුස්ලිම් ජනතාවට පමණක්” පවතින ප්‍රශ්නය කුමක්දැයි ජනාධිපතිතුමා පිළිතුරු දිය යුතුයි.

ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා නොකරයි. එහෙත් ඇතැම් ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන්හි ජාතික ගී කිහිපයක් දක්නට ලැබේ. ඊට හේතුව වන්නේ සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක පරමාධිකාරය එකම ආණ්ඩුවක් සතු නොවන බැවින් සන්ධීය ආණ්ඩුව හා ප්‍රාදේශීය ආණ්ඩුවේ රුචිකත්වය අනුව වැඩ කිරීමට හැකි වීමයි. එහෙත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් වන බැවින් ජාතික ගීය සිංහල භාෂාවෙන් මිස දෙමළ හෝ වෙනත් භාෂාවකින් ගායනා කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කිරීමක් වන්නේ ය. එම නිසා කැබිනට් තීරණය අනුව මෙවර නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කිරීම ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය පිළිලයේ ‘වෙඩිමුරයක්’ වනු නොඅනුමාන බව, ඒකීය රාජ්‍යයේ සහජීවනය පතන සියලු ජනතාව අවබෝධ කළ යුතුයි.

ජාතික කොඩිය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය ආදී ජාතික සංකේතයන් යම් අර්ථයක්, යම් අවශ්‍යතාවක් උදෙසා සම්මතව පවතී ද එම චිරවිසම්භාවිත විවරණ තවදුරටත් ආරක්‍ෂා කිරීම නූතන රාජ්‍ය යුතුකම වන්නේ ය. විශේෂයෙන් ම ජාතික යන වචනයේ අර්ථය පිළිබඳ අනවබෝධයෙන් බොහෝ ප්‍රශ්නවලට හේතුවක් වී ඇත.

“ජාතික” යනු ජාතියට අයත්, ජාතියට සම්බන්ධ, ජාතිය පිළිබඳ යන අර්ථ සහිත තද්ධිත නාම පදයකි. හුදෙක් මෙයින් සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය, මැලේ ජාතිය, බර්ගර් ජාතිය ආදී වශයෙන් හුදකලා එක් එක් ජාතියක් අදහස් නොකෙරේ. සමස්ත රටම, සමස්ත ජනතාව ජාතික යන පොදු නාමයේ අදහස බව විශේෂයෙන් ම පාලකයෝ තරයේ තේරුම් ගත යුත්තෝ ය. ජාතික ධනය, දළ ජාතික නිෂ්පාදනය, ජාතික සම්පත් යන යෙදුම් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් “ජාතික” යන නාමයේ අර්ථ පරාසය වඩ වඩාත් හොඳින් තේරුම්ගත හැකි ය.

ලාංකික ඓතිහාසික සාධක, බහුව්‍යාපක සිද්ධාන්ත හා ස්වලක්ෂණ යන සාධක මත ජාතික ගීය සිංහලෙන් ගායනා කිරීම, අගතියෙන් තොර ශාස්ත්‍රීය විමර්ශනයෙන් සිතන ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම පුද්ගලයකු එය අසාධාරණයක් කොට නොසැලකේ. නෝර්වේ රාජ්‍ය ව්‍යවස්ථාවේ ඉවැන්ජලිස්ත ලූතරන් ආගම රජයේ නිල ආගම වශයෙන් ද, ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍ය කටයුතුවල දී රටට පක්ෂපාතීත්වය ගැන දිවුරුම් දීමේ දී ‘So help me god’ (දෙවියන් වහන්සේට යටත්ව, ඩොලර් නෝට්ටුවේ ‘in god we trust’ (අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමු.) ආදී අවස්ථා ඉහත සාධක මත ගොඩනැගුණු සංකල්පයි.

සිංහල – පාලි – සංස්කෘත භාෂා තුනට ම පොදු “ජාති” යන පදයට අර්ථ රාශියක් තිබේ. තෘණවෘක්ෂාදියෙහිත්, සිවුපා සතුන්, උරග ගණයට අයත් සතුන් ආදී විශේෂයන්ගේ ජාති වර්ගයන් තිබුණත් මිනිසුන් අතර ජාති වශයෙන් බෙදීමක් නොවන බව සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍ර ආදිය කියවීමෙන් අවබෝධ කළ හැකියි. මජ්ක්‍ධිම නිකායේ අංගුලිමාල සූත්‍රයේ සඳහන් පරිදි ආර්ය-ජාතියේ උපන්දා සිට යන විවරණය මෙම ප්‍රස්තූතයෙහිලා ඉතා වැදගත් ය. මක් නිසාද යත් මෙහි ජාතිය යනු “සමාන ධර්ම ඇත්තවුන්ගේ සමූහය” යි. ඒ අනුව ජාතික ගීය ජාතික කොඩිය, ජාතික පුෂ්පය, ජාතික සත්වයා, ජාතික ක්‍රීඩාව වැනි රාජ්‍ය සම්මුතීන්ගේ අදහස මගේ රට නොව, අපේ රට යන සමාන ධර්ම ඇත්තවුන්ගේ සමූහවාචී සංකල්පය ඇති කිරීමයි.

මෙහි දී මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතාගේ ජාත්‍යනුරාගය – සමාජ ශාස්ත්‍රීය විමර්ශනාත්මක ග්‍රන්ථයේ “හියුසීටන් – වොට්සන් නම් ඉතිහාසඥයා පවසන පරිදි “ජාතියක් යනු තම ඒකීයත්වය පිළිබඳ හැඟීමක්, පොදු සංස්කෘතියක් හා ජාතික චින්තනයක් නිසා එකට බැඳී සිටින සාමාජිකයන්ගෙන් සමන්විත ජන පිරිසකි.” මේ නිර්වචනයෙහි තමා අයත් පිරිසේ ඒකීයත්වය, එනම් තමා යම් යම් කරුණු නිසා එකට බැඳී සිටිනවා යන විශ්වාසයත්, තම ජාතිකත්වය පිළිබඳ සිතිවිලි සමුදායක් වැදගත් ලෙස සලකා තිබේ.”… යන විවරණය අපගේ මාතෘකාවෙහිලා අතිශය වැදගත් බව ඔබට වැටහෙනු ඇත.

ජාතික වේදනාවන්ට පිළියම් කිරීමේ දී අප අන්ධ ලෙස තර්කයන් මත පිහිටා නොසිටිය යුතුය. චිරාත් කාලයක් පැවැති සංස්කෘතික අයිතීන් මත ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගොඩනැගීම ඕනෑම රාජ්‍යයක පදනමයි. අපේ ආසන්න රාජ්‍ය වන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය අශෝක ස්ථම්භ ශීර්ෂයත්, කොඩියේ ධර්ම චක්‍රයත්, පාර්ලිමේන්තුවේ කථානායක ආසනයේ ඉහළින් ම යොදා ඇත්තේ “ධර්ම චක්‍රපවර්තනාය” යන පාඨයත් යන මේ කරුණු ඒ සඳහා නිදසුන් කොට දැක්විය හැකි ය. බටහිර රාජ්‍යවල ස්වභාවයත්, චිරාගත සංස්කෘතික උරුමයන් මත පිහිටා ජාතික සංකේතයක් සම්මත කොට ගැනීමයි. විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ පක්ෂ භාජනය කරන විවිධ දෘෂ්ටි, මතවාද ඇති, විවිධ ජාතීන් වාසය කරන රටක ඒකීයත්වය ඇති කිරීමේ ආධ්‍යාත්මක රීතීන් වශයෙන් ජාතික සංකේතයන් සම්මතව පවතියි. එම නිසා සියලු ජනවර්ගයන්ගේ ලාංකේය පදනම ඇති කිරීමෙහිලා ජාතික ගීය සිංහල භාෂෘවෙන් පමණක් ගායනා කිරීම ව්‍යවස්ථාපිතයි. මෙයින් අන්‍ය භාෂකයන් නොසලකා හැරීමක් කිසිසේත් ම සිදු නොවේ. අපේ රටේ සෑම පුද්ගලයෙක් ම සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන විට, ඊට ගෞරව කරන විට ඔවුන්ගේ සිත් සතන්හි ඇති වන්නේ “අපේ රට” යන පොදු හැඟීමය.

එහෙත් භාෂා කීපයකින් ගායනා කිරීමේ දී ඒ හැඟීම් ඇති නොවේ. එම නිසා ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීය වන්නේ ය යන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තිය තවදුරටත් තහවුරු කළ යුතුය. අවම වශයෙන් මාසයකට වරක් හෝ නිශ්චිත දිනක, නිශ්චිත වේලාවක සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත්, ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලු පාසල්වලත් රාජ්‍ය හා පෞද්ගලික ජාතික ගීය ගායනා කිරීමට සම්මතයක් ඇති කර ගත හැකි නම් එය ලාංකික ඒකීයත්වයේ සාර්වභෞම පදනමක් වනු ඇත.

ජාතික ගීය වෙනත් භාෂාවලින් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්

හෑගොඩ විපස්සි හිමි

advertistmentadvertistment
advertistmentadvertistment