ජාතික ජ්‍යෙෂ්ඨ  හොකී තරගාවලියේදී  අසාධාරණයක්  වුණා යැයි මාතලෙන් චෝදනා

145

59 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හොකී තරගාවලියේදී සිදු වූවායැයි කියන අසාධාරණයක් සම්බන්ධයෙන් මාතලේ කණ්ඩායම හොකී සම්මේලනයට චෝදනා එල්ල කර සිටී. ඒ අනුව මෙවර තරගාවලියේදී ක්‍රීඩා කළ රාජ්‍ය සේවා කණ්ඩායම සඳහා රාජ්‍ය සේවකයන් නොවන ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත්වී සිටි බවට ඔවුහු පෙන්වා දෙති.

මෙවර තරාගවලියේදී මාතලේ කණ්ඩායම සහභාගි වූ පළමු තරගය රාජ්‍ය සේවා කණ්ඩායම හමුවේ 0-02ක් ලෙස පරාජයට පත්විය. කෙසේ වෙතත් අනතුරුව තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබා ගැනීමට මාතලේ කණ්ඩායම සමත්වූවද එම වටයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් මාතලේ කණ්ඩායම

තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවා කණ්ඩායමට රාජ්‍ය සේවයේ නොවන මාතලේ ක්‍රීඩකයෙකු සහ නුවර ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළ බවත් ඊට විරෝධය පා තමන් ඉවත් වූ බවට මාතලේ ක්‍රීඩා සමාජය කරුණු දක්වා සිටී.

මේ පිළිබඳව ‘දිවයින’ට අදහස් දක්වා සිටි මාතලේ ක්‍රීඩා සංගමයේ කළමනාකරු බී. ඩී. සී. බටගොඩ මහතා ‘මෙම ක්‍රියාව මාතලේ කණ්ඩායමට සිදුවුණු දැඩි අසාධාරණයක්. මේ පිළිබඳව අපි තරගාවලිය අතරතුරදීම සම්මේලනය දැනුවත් කළා. එහිදී ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුවා. එහිදී ඔවුන් කියා සිටියේ එම ක්‍රීඩකයන් දෙදෙනා කොන්ත්‍රාත් පදනම මත පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් බවයි. එහෙම කියලා අපේ චෝදනාව ඔවුන් නිෂ්ප්‍රභ කළා. නමුත් රාජ්‍ය සේවා කණ්ඩායම නියෝජනය කිරීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන් විය යුතුයි. එහෙත් මෙතනදී එහෙම දෙයක් වෙලා නෑ. මේක දැඩි නීති විරෝධී දෙයක්. සංගම්වලට ඡන්ද බලය ලබා ගැනීමට ජාතික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ශූරතාව ක්‍රීඩා කිරීම අනිවාර්ය වෙලා තියෙන නිසා කවුරුන් හෝ කණ්ඩායමට ඇතුළත් කරන තරගාවලිය ක්‍රීඩා කිරීමයි ඔවුන්ට අවශ්‍ය’ යැයි කියා සිටියේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ කරුණු විමසීම සඳහා හොකී සම්මේලනයේ සභාපති විශ්වනාදන් මහතා සම්බන්ධ කරගැනීමට ‘දිවයින’ උත්සාහ දැරුවද එය ව්‍යර්ථ විය.

කසුන් රණවීර

 

advertistmentadvertistment
advertistmentadvertistment