ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලිය: අතිශූරතම ක‍්‍රීඩකයා සෙනුර ක‍්‍රීඩිකාව මුතුමාලී

173

ශ‍්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් බණ්ඩාරගමදී පැවැති 74 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියේ අතිශූරතම ක‍්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා අභිෂේක ලැබූ අතර නාවික හමුදාව නියෝජනය කළ මුතුමාලී ප‍්‍රියදර්ශනී අතිශූරතම ක‍්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

ක‍්‍රීඩකයන් 128 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙවර පිරිමි තරගාවලියේ කේවල ශූරතාව මෙන්ම චමීර ගිනිගේ සමග එක්ව යුගල ශුරතාවය ද දිනා ගැනීමට 16 හැවිරිදි සෙනුර සිල්වා සමත් වීම කැපී පෙනුණි. මීට අමතරව ජිතාරා වර්ණකුලසූරිය සමග එක්ව මිශ‍්‍ර යුගල අනුශූරතාව තහවුරු කර ගැනීමට ද සෙනුර සිල්වාට හැකි විය.

පිරිමි කේවල අවසාන තරගයේදී සෙනුර සිල්වා හමුවේ වට 04 – 03 ක් ලෙස පරාජය ලැබූ මහනුවර ආදි විද්‍යාර්ථ සමාජයේ ක‍්‍රිශාන් වික‍්‍රමරත්නට අනු ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. කේවල අවසන් පූර්ව වටයේ දී සෙනුර සිල්වා හමුවේ මිලින්ද ලක්ෂිත වට 04 – 03 ක් ලෙස ද ක‍්‍රිශාන් වික‍්‍රමරත්න හමුවේ ප‍්‍රසාද් ද සිල්වා වට 04 – 01 ක් ලෙස ද පරාජය ලැබූහ.

කාන්තා කේවල අවසාන තරගයේදී මුතුමාලී ප‍්‍රියදර්ශනී හමුවේ වට 04 – 00 ක් ලෙස පරාජය ලැබූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හංසනී පියුමිලා ට අනුශූරතාව හිමි විය. එකී අවසන් පූර්ව වටයේදී මුතුමාලි ප‍්‍රියදර්ශනී හමුවේ වට 04 – 00 ක් ලෙස කසුනි පිටිගල ද හංසනී පියුමිලා හමුවේ වට 04 – 01 ක් ලෙස මනීෂා ශලින්දී ද පරාජය ලැබීය. මෙවර පිරිමි යුගල අංශයේ ශූරතාව සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ එක්ව දිනා ගන්නා අතර වාරයේ එකී අනුශූරතාව ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න සහ නිර්මලා ජයසිංහ සතු විය. එහිදී තරග වට 03 – 00 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ ට හැකි වියඅවසන් පූර්ව වටයේදී නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ වට 03 – 00 කින් පරාජයට පත් කරමින් සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ ද සුපුන් වරුෂවිතාන සහ හිරුණ වරුෂවිතාන වට 03 – 01 කින් පරාජයට පත් කරමින් ක‍්‍රිශාන් වික‍්‍රමරත්න සහ නිර්මල ජයසිංහ ද අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීම කැපී පෙනුණි. ජිතාරා වර්ණකුලසූරිය සහ තනුෂී රුද්‍රිගෝ වට 03 –

02 කින් පරාජයට පත් කරමින් වසරේ කාන්තා යුගල ශූරතාව තහවුරු කර ගැනීමට තෙදිනි තුෂාරා සහ මනීෂා ශලින්දී මෙවර සමත් වූවාය. එකී අවසන් පූර්ව වටයේදී ඉෂාරා මධුරංගි සහ හංසනී පියුමිලා වට 03 – 02 කින් පරාජය කරමින් ජිතාරා වර්ණකුලසූරිය සහ තනුෂී රුද්‍රිගෝ ද මුතුමාලී ප‍්‍රියදර්ශනී සහ නදුනි සූරසිංහ වට 03 – 02 කින් පරාජය කරමින් තෙදිනි තුෂාරා සහ මනීෂා ශලින්දී ද තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගත්හ.

සෙනුර සිල්වා සහ ජිතාරා වර්ණකුලසූරිය වට 03 – 02 කින් පරාජයට පත් කිරීමට සමත් වූ නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා මෙවර මිශ‍්‍ර යුගල ශූරතාවයට හිමිකම් කීහ. එකී අවසන් පූර්ව වටයේදී හංසනී පියුමිලා සහ නිමේෂ් රංචාගොඩ හමුවේ වට 03 – 01 ක් ලෙස එන්. නිරෝෂණ සහ කේ. පිටිගල ද ජිතාරා වර්ණකුලසූරිය සහ සෙනුර සිල්වා හමුවේ වට 03 – 01ක් ලෙස ඉෂාරා මධුරංගී සහ තිසස් රංචාගොඩ ද පරාජය ලැබූහ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 192 කුගේ සහභාගිත්වයෙන් බණ්ඩාරගම පිහිටි ශ‍්‍රී ලංකා මේස පන්දු සම්මේලන පුහුණු මධ්‍යස්ථාන ක‍්‍රීඩාගාරයේදී පැවැති මෙවර තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ජය සංකේත තිළිණ ප‍්‍රදානය රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ සහ කනක හේරත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment