ජාතික නාමල් උයන  ජාත්‍යන්තර පාරිසරික සංවිධානය අද සුබ මොහොතින් වැඩ අරඹයි…

476

ජාතික නාමල් උයන 31 වැනි සංවත්සරය

ජාතික නාමල් උයන අද 31 වැනි වාර්ෂික සංවත්සරය සමරයි. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය. එහෙත් ඒ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. එනම්, අද පටන් නිලවශයෙන් ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය නමින් නව පාරිසරික සහ සංස්කෘතික සංවිධානයක් ජාතික නාමල් උයන යටතේ ප‍්‍රතිෂ්ඨාපනය කෙරෙන අතර, අද එම නව පාරිසරික සංවිධානයේ සමාරම්භයද මෙහිදී සිදුකෙරෙනු ඇත.

1991 වසරේදී පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මොරගහක් මත පැලක් තනා, ඒ මත සිට ආරම්භ කරන ලද ජාතික නාමල් උයන සහිත රෝස තිරිවානා නිධිය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, විදේශීය සංචාරකයන් අතරද ඉමහත් ජනාදරයට ලක්වූ පුදබිමක් හා පරිසර නිකේතනයකි. එකල දැව සොරුන්ගේ ග‍්‍රහණයට දැඩිව ලක්ව තිබූ මෙම වනපෙත ඉන් බේරාගෙන ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ තැනක් බවට සංරක්ෂණය කරන ලද්දේ වනවාසී රාහුල හිමියන් විසින්මය.

ජාතික නාමල් උයන  ජාත්‍යන්තර පාරිසරික  සංවිධානය අද සුබ මොහොතින් වැඩ අරඹයි...

උන්වහන්සේගේ මෙම ආගමික, සංස්කෘතික හා පාරිසරික සේවාව රටක් නොව ලොවක් හඳුනාගෙන ඇති මේ මොහොතේ, උන්වහන්සේ විසින් තමන් සංරක්ෂණය කර තම භාරයේ තිබූ නාමල් උයන ඓතිහාසික පුදබිමේ උරුමය වැඩිදුරටත් සංරක්ෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ඇති අතර, එහි 31 වැනි සංවත්සරයට සමගාමීව උන්වහන්සේ විසින් මෙසේ ‘‘ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය” නමින් නව වැඩපිළිවෙළකට අතගසන්නේ තමා සමග මෙතෙක් කලක් කටයුතු කළ සුවහසක් දේශීය ජනයා සහ නාමල් උයන තම නෙත් දෙකින් දැක, ඒ පරිසරයේ පහසින් මත්වූ විදේශීය පුද්ගලයන් එකතුකර ගනිමින් පරිසරය නමැති විශ්වීය වටිනාකමට තව තවත් වටිනාකම් එකතුකිරීම සඳහාය.

ඒ අනුව දේශීය වශයෙන් පාරිසරික සංවිධානය සඳහා ජාතික මට්ටමෙන්, දිස්ත‍්‍රික් මට්ටමෙන් නියෝජිතයන් පත්කිරීම, සංවිධානයට යාවජීව, ගෞරවනීය හා ක‍්‍රියාකාරී සාමාජිකයන් පත්කිරීම, විදෙස් රටවල් සඳහා නියෝජිතයන් පත්කිරීම යනාදී කටයුතු ද සමාරම්භය වීමට නියමිතව ඇත. මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෞරවනීය සාමාජිකත්වය පිරිනැමීම ඇතුළු කටයුතු සිදුවන බව වනවාසී රාහුල හිමියෝ පවසති. වැඩිදුරටත් නව සංවිධානය හා ජාතික නාමල් උයන 31 වැනි සංවත්සරය ගැන අදහස් දක්වන වනවාසී රාහුල හිමියෝ මෙසේද පවසති.

ජාතික නාමල් උයන  ජාත්‍යන්තර පාරිසරික  සංවිධානය අද සුබ මොහොතින් වැඩ අරඹයි...

‘‘ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය’’ පිහිටු වනු ලැබූවා. මේ නාමල් උයන අවුරුදු 30කට වැඩි කාලයක් සංරක්‍ෂණය කරලා එය මධ්‍යම සංස්කෘතික අරමුදලට මම භාර දුන්නා. භාර දුන්නට පස්සේ මම හිතුවා සියලූ බැඳීම්වලින් නිදහස් වෙලා මේ රටට මේ ජාතියට මේ අනාගත බාල පරපුරට කිසියම් කාර්යභාරයක් කිරීමට. ඒ වගේම පාරිසරික වශයෙන් ගත්තොත් එහි අරමුණු තියෙනවා.

මේ රටේ දරුවන්ගේ අනාගතය, බාල පරපුරේ යහපත වෙනුවෙන් මෙය ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීමයි මගේ ප‍්‍රධාන අරමුණ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත රෝස තිරුවානා කඳු වැටියට වසර මිලියන පන්සිය පනහක් පැරණියි. මේ ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් පරිසර විද්‍යාත්මක භූමිය ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව වෙනුවෙන් සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කිරීම හා අධ්‍යාපනික වශයෙන් ප‍්‍රයෝජනයක් ඇති ස්ථානයක් බවට පත් කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වෙනවා.

මෙහි අරමුණු පහක් තියෙනවා ඒවා තමයි:

මේ වැදගත් පරිසර පද්ධතිය තුළ මතු දැක්වෙන සුවිශේෂී කරුණු පිළිබඳව ලෝකවාසී ජනතාවට ශිෂ්‍ය ප‍්‍රජාවට අධ්‍යාපනය කිරීමට පර්යේෂණ කිරීමට අවස්ථාව සලසලා දෙනවා.

ජාතික නාමල් උයන කේන්ද්‍ර කර ගනිමින් මානව සත්ත්ව, ශාක හා අජීවී පරිසරයක සංවේදී ශිෂ්ට සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වාසී මෙන්ම ලෝකවාසී ජනතාව ඉහත කරුණු කෙරෙහි බලගැන්වීමට බලාපොරොත්තු වෙනවා.

දැනට නාමල් උයන පරිශ‍්‍රයේ සිට ක‍්‍රියාත්මක වන පරිසර හා පාරිසරික සංචාරක කර්මාන්තය, අධ්‍යාපනික, සංචාරක හා ආර්ථික වශයෙනුත් පුළුල් කිරීමත් මෙහිදී අරමුණක්.

ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකය පුරාම පාරිසරික සංවේදී ස්ථාන පිහිටුවීම තවත් කරුණක්. ඒ සඳහා පහත අරමුණු අපි ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ශ‍්‍රී ලංකාවේ හා ලෝකය පුරා අදාළ ස්ථාන හඳුනා ගැනීම, ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැඟීම අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම ඇතුළු ප‍්‍රමුඛතා ලයිස්තුවක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ අරමුණුත් සම`ගම පුංචි දරුවාගේ ඉඳලම මානසික ආකල්පවල වෙනසක් ඇති කරන්න ඕන. මේ සංවිධානය තුළින් ප‍්‍රධාන වශයෙන් ඒ කටයුතු බලාපොරොත්තු වෙනවා.

ආකල්පමය වෙනසක් ඇති වෙන තුරු කවදාකවත් මේ රටේ ගහට කොළට සතා සිවුපාවාට ආදරය කරන ජන සමාජයක් ගොඩනැඟීම ඉතාමත්ම අපහසු කාර්යයක් හැටියටයි මම දකින්නේ. මොනම රජයකටවත්, මොනම සංවිධානයකටවත්, මොනම පුද්ගලයකුටවත් ඒක කරන්නට බැහැ කියන එක මගේ පෞද්ගලික විශ්වාසය. මම විශ්වාස කරන්නේ මේ සියලූම දෙනාගේ මානසික ආකල්පමය වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. මේ ප‍්‍රධාන අරමුණු ටික සාක්‍ෂාත් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

‘‘ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය’’ කියලා රජයේ ලියාපදිංචි කරලා තියෙනවා. මෙහි අධ්‍යක්‍ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අධ්‍යක්‍ෂ මණ්ඩලයට පරිබාහිරව අපි මේකේ මව් සංවිධානයක් හදනවා. ලංකාව පුරාම සාමාජිකයෝ ලක්‍ෂයක් අපි බඳවා ගන්නවා. ඒ ලක්‍ෂය ගෞරවනීය, යාවජීව, ක‍්‍රියාකාරී ලෙස කොටස් තුනකට බෙදලා තියනවා. ඒ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා විදේශ රටවල්වල සංවිධායකවරු පත් කරන්න. ඒ වගේම විදේශ රටවල්වල ශාඛා ඇති කරන්න. ඒ වගේම ලංකාවේ ආසන මට්ටමින් දිස්ත‍්‍රික් මට්ටමින්, කලාප මට්ටමින් ඒ ආදී වශයෙන් සංවිධායකවරු පත් කරලා මේක බලමුළු ගැන්වීමට. පරිසරය ආරක්‍ෂා කරගැනීම සඳහා කරන මෙම කටයුත්ත කිසිදු දේශපාලන භේදයකින් තොරයි. ආගම් බේදයකින් තොරයි, සංවිධානය තුළ කිසිම කෙනෙකුට ජාතිවාදී අරමුණු ආගම්වාදී අරමුණු ඒ වගේම දේශපාලනික අරමුණු සාක්‍ෂාත් කරගන්නට කිසිදු අවස්ථාවක අපි ඉඩ දීලා නැහැ. මේ රටේ ජාතික සංවිධාන මෙතෙක් කාලයක් පිහිටුවලා තිබෙනවා. සංවිධාන පිළිබඳ බලන කොට මිනිසුන්ගේ තියෙන්නේ එතරම් යහපත් දැකීමක් නෙවෙයි. දේශපාලනයට කඬේ යනවා එක්කෝ ව්‍යාපාරයක් පටන්ගන්නවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා මිනිසුන්ට කලකිරීමක් තියෙනවා. මම අවුරුදු ගානක් අධ්‍යයනය කළා. එයින් පසුව තමා මේ ජාතික නාමල් උයන ජාත්‍යන්තර පරිසර සංවිධානය මම ස්ථාපිත කරනු ලැබුවේ. මෙයින් සිදුවන්නේ ජාතික නාමල් උයන ආරක්‍ෂා කිරීම විතරක් නොවෙයි බොහොම ස්වාධීනව සාධාරණ හේතූන් මත සංවර්ධනයයි පරිසරයයි දෙකම එකම රටක සිදුවිය යුතු ක‍්‍රමයවේදයට හැදීම සඳහා තමයි මේ කටයුතු සියල්ල සිද්ධ කරන්නේ.

ජාතික නාමල් උයන  ජාත්‍යන්තර පාරිසරික  සංවිධානය අද සුබ මොහොතින් වැඩ අරඹයි...

මෙහිදී ඕනෑම කෙනෙකුට ආරාධනා කරනවා ජාතික නාමල් උයනේ පරිසර සංවිධානයේ සාමාජිකත්වය ගන්න. අපි සාමාජික මුදලක් අය කරනු ලබනවා. තවද පරිසරයට ආදරය කරන යහපත් ජන සමාජයක්, නිල්ල පිරුණු දේශයක් කරා යන්නට සියලූ දෙනාම අත්වැල් බැඳගෙන මා සමග එකට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

ජාතික නාමල් උයන ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ සිට මේ දක්වා එහි සංරක්ෂණය ඇතුළු සියලූ කටයුතු වෙනුවෙන් ‘‘දිවයින”, ‘‘දි අයිලන්ඩ්” පුවත්පත් ප‍්‍රධාන උපාලි පුවත්පත් සමාගම වසර 31 ක් තිස්සේ තම නොමසුරු දායකත්වය ලබාදුන් පරිදිම 31 වැනි වසර සමරමින් අද දිනයේ සිට වනවාසී රාහුල හිමියන් විසින් පරිසරය නමැති විශ්වීය යථාර්ථය සුරක්ෂණය සඳහා ගනු ලබන සද්කටයුත්ත වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් ලෙස අප අපගේ සුභාශිංසනය මේ මොහොතේ පුදකරන්නෙමු.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment