ජාතික නිදහස් පෙරමුණ දෙකඩ කරන්නට ඇතුළෙන්ම සැලැස්මක්

550

අගමැති මහින්ද රාජපක්ෂ වෙත මේ දිනවල විසඳන්නට පැමිණෙන නඩු බොහෝය. කාගේ ප‍්‍රශ්නයක් දුකක් කනගාටුවක් ඉතා හොඳින් ශ‍්‍රවණය කර ඇහුම්කන්දීමේ ඉතා හොඳ ගුණාංගයක් ඔහු සතුව ඇති බව පක්ෂ විපක්ෂ කා අතරත් පිළිගැනීමක් ඇත. එහෙත් මේ දිනවල මහින්ද රාජපක්ෂටත් අනුන්ගේ දුක අසා සිටීමේ ඉවසීමේ ගුණය පමණ ඉක්මවා ක‍්‍රියාවට නඟන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත්තේය.

එසේ වී ඇත්තේ අද ආණ්ඩුවේ සිටින බොහෝ දෙනෙක් මේ ආකාරයෙන් දුක් කියන්නට අගමැතිවරයා සොයා ඒමේ ප‍්‍රවණතාවය ඉහළ යෑම නිසාය.

පසුගිය කාලයේ එවන් එක් අයෙක් දෙන්නෙක් දුක කියමින් අගමැතිවරයා ළඟට පැමිණ ආපසු යන්නේ විසඳුමක්ද අතැතිවය. එහෙත් දැන් දැන් වනවිට දුක කියන අය වැඩිවීම නිසා අගමැතිවරයාගේ ‘විසඳුම් දෙන’ එකවුන්ටුවේ මේ විසඳුම් ද අවසන් වී හමාරය.

දැන් අගමැතිතුමා තාමත් ඕනෑම අයෙකුගේ ප‍්‍රශ්නයක් අසා සිටින ස්ථාවරයේ ඇත. එහෙත් ප‍්‍රශ්නවලට උත්තර සොයන සුව පහසු ස්ථාවරයක නැතුවා සේය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණුවේ ඇමැතිකම්වලින් ඉවත් කිරීම ගැන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උචිත විරෝධයක් පළ කරනු ඇතැයි බොහෝ දේශපාලන අංශ බලාපොරොත්තු වූහ. ඇතැම්විට විමල් වීරවංශලා පවා මහින්ද රාජපක්ෂගේ මීට වඩා වැඩි මැදිහත්වීමක් බලාපොරොත්තු වන්නට ඇත. එහෙත් ඔහුගේ උත්තරය ඒ සම්බන්ධයෙන් පැහැදිලි නොවීය. හුදු නිහඬතාවයක් පමණක් දක්වමින් අගමැතිවරයා සියල්ල කාලයට ඉඩදී බලා සිටින බව පෙනෙන්නට තිබිණි.

එහෙත් එම සිද්ධි කිහිපයත් සමඟම ආණ්ඩුවේ පසුපෙළ තුළ ප‍්‍රබල නැගිටීමක් දක්නට ලැබිණි. ආණ්ඩුවේ සෙසු පක්ෂවල සංයුතිය තුළ හා ඔවුන් සමඟ ගිවිසුම් ගත මූලික එකඟතා තුළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරුණ ආණ්ඩුවේ නිලතල හා ප‍්‍රබල ඇමැතිකම්
රැසකටම උරුම කම් කියන්නට සෙසු පක්ෂවල නායකයන්ට හා නියෝජිතයන්ට හැකිවූහ. මෙබඳු අර්බුද හමුවේ ආණ්ඩුවේ සෙසු පක්ෂ ගැලවී යන තරමට එම තනතුරු ඇමතිකම් හා වරප‍්‍රසාද තමතමන්ට ලැබෙනු ඇතැයි ආණ්ඩුවේ පසු පෙළ කල්පනා කරන්නට වූහ. එක් අතකින් එය සාධාරණීකරණය වූයේ විමල්ගෙන් හිස්වූ කර්මාන්ත ඇමැති ධුරයට පැත්තකට වී සිටි එස්. බී. දිසානායක පත්වීමේ ප‍්‍රවණතාවය නිසාය.

මේ ආකාරයට ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 සමඟ සිටින වාසු, දයාසිරි, මහින්ද අමරවීර, ලසන්ත වැනි අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගිලිහී ගියහොත් එම තනතුරු තමන් වෙත ලැබේ යැයි පොදුජන පෙරමුණේ පසුපෙළ කල්පනා කිරීම හා බලාපොරොත්තුවීම එක් අතකින් වරදක් නැත.

කිසිදු ඇමැතිකමක් නොදරමින් කිසිදු තනතුරක් නොමැතිව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ නියෝජනය කරමින් සිටින මන්ත‍්‍රීවරු අතර මේ දිනවල කැපී පෙනීමේ තරගයක්ද ඉස්මතුවී ඇති බව පෙනේ. පසුපෙළ තුළ තමන් අනෙකාට වඩා වැඩිපුර ඉස්මතුවීමට නම් විමල් වීරවංශලාට හා ගම්මන්පිලලාට දැඩි ලෙස වාග් ප‍්‍රහාර එල්ල කිරීමෙන් වැඩි ලකුණු ලබා ගත හැකි යැයි කියන පිරිසක්ද වූහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි සිටියේ එම ස්ථාවරයේ පළමුවැන්නා ලෙසටය.

  • විමල්ලා නික්මයෑම
    පසුපෙළට වාසියක්

පසුගිය සතිය ජනාධිපතිවරයාට විසඳාගන්නට ගැටලූ බොහෝමයක් තිබූ සතියක් විය.

ඩොලර් හිඟය නිසා බොහෝ ප‍්‍රශ්නවලට උත්තර සෙවීම අසීරු කරුණක් වී තිබිණි. ඩොලරයට රට තුළ ස්ථාවර අගයක් ලබා ගැනීමට නම් රුපියලට නිදහසේ පාවීමට ඉඩ දිය යුතු යැයි රටේ ආර්ථික විද්‍යාඥයෝ කොටසක් යෝජනා කළත්, එය එසේ වුවහොත් අනෙකුත් ආනයන භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇතැයි තවත් කොටසක් පෙන්වා දුන්හ.

මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රට තුළ හා රජය තුළ ඇතිව තිබූ දෙගිඩියාව අතර රටේ නොසන්සුන්කම වැඩි වුණේ ඞීසල්, පෙට්රල්, ගෑස්, භූමිතෙල් වැනි අත්‍යවශ්‍ය ඉන්ධන සඳහා තිබූ හිඟය පසුගිය සතිය වන විට තව තවත් උග‍්‍ර වී තිබීම නිසාය.

මෙම ඉන්ධන හිඟය නිසා රට තුළ බොහෝ ප‍්‍රශ්න ඇතිවී ඒවා උත්සන්න වී තිබිණි.

මේ ප‍්‍රශ්න මේ ආකාරයෙන් දැඩි ලෙස රජයට බලපෑම් කරමින් තිබූ මොහොතක රජය අභ්‍යන්තරයේ තිබූ තවත් ප‍්‍රශ්නයක්ද උග‍්‍රවිය. එය කොතෙක් උග‍්‍ර වූවාදැයි කිවහොත් විමල් වීරවංශට හා උදය ගම්මන්පිලට සිය අමාත්‍ය ධුර අහිමි වන තත්ත්වයටම උග‍්‍ර විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී දැඩි තීන්දු තීරණ කීපයක්ම ගත් බැව් පැහැදිලි විය.

තත්ත්වය එසේ තිබියදී රට තුළ බොහෝ කලක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති ගැටලූවකට කල්පවතින විසඳුමක් දෙන්නට ද ජනාධිපතිවරයා පසුගිය සතියේ සමත්වීම ද විශේෂත්වයක් විය.

පසුගිය කාලයේ රටේ පවතින ඩොලර් අර්බුදය නිසා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට ලොකු ගැටලූවක් වූයේ රට පුරා පැවති සිමෙන්ති හිඟයයි. මීට කලකට පෙර රටේ සිමෙන්ති නිෂ්පාදනාගාර කිහිපයක් වූවත් පසුගිය රජයන් අනුගමනය කළ වැරදි ආර්ථික පිළිවෙත් නිසා ඒවා සියල්ල ජාතියට අහිමි වන ඉරණමකට මුහුණ දී හමාර විය. රටේ සිමෙන්ති නිෂ්පාදනය අඩාල වූයේ කලකට පෙර පටන්ය. එහෙයින් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන රටේ ඉතා ඉක්මනින් සිමෙන්ති නිෂ්පාදනය ආරම්භ කළ යුතුය යන යෝජනාව රට තුළ පැවතියේ කලක පටන් ය. එම යෝජනාව මල්ඵල ගැන්වූ අවස්ථාව උදා වූයේ පසුගිය හත්වැනි සඳුදා දිනයේය.

අපේ රටේ ප‍්‍රමුඛ ව්‍යාපාරිකයකු වූ නන්දන ජයදේව ලොකුවිතාන විසින් ආරම්භ කරන ලද දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදනාගාරය ලෙසින් විරුදාවලි ලැබූ ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (private limited) ආයතනය එදින උදෑසන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය.

මාගම් රුහුණුපුර මිරිජ්ජවිල කර්මාන්ත පුරවරයේ අක්කර 63 භූමි භාගයකදී මෙම නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2020 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමකිනි. ඉතා ඉක්මනින් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නට සමත් වූ මෙම සමාගමේ මුල්ම නිෂ්පාදන ධාරිතාව වසරකට මෙටි‍්‍රක් ටොන් මිලියන 2.8ක් වූ අතර ඉදිරියේදී එය වසරකට ටොන් බිලියන 4ක් දක්වා වේගවත් කිරීමට හැකි බව වාර්තා විය.

මෙම නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති තුමා පැමිණියේ අග‍්‍රාමාත්‍යවරයා පැමිණ ටික වෙලාවකට පසුවය. ඒ වන විට චමල් රාජපක්ෂ, පවිත‍්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ඞී. වී. චානක, අජිත් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි සමග ප‍්‍රාදේශීය දේශපාලනඥයෝද පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා පැමිණි පසුව මේ පිරිස මුලින්ම ගියේ ඊට යාබද ඉඩමේ වූ යෝජිත වානේ කම්හල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ය.

”මේක ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ආයෝජනයක්. අපට 2024 වෙනකොට මෙහි වැඩ ඉවර කරන්න පුළුවන් වේවි.” නන්දන ජයදේව ලොකුවිතාන කීවේ ය.

”අපි දැනට පිටරටින් වානේ ගෙන්වන්න විශාල මුදලක් වියදම් කරනවා. පුළුවන් ඉක්මනට ඒ මුදල රටට ඉතුරු කරල දෙන ව්‍යාපෘතියක් තමයි මේ වෙලාවේ අපිට ඕන” ජනාධිපති කීවේය.

  • සිමෙන්ති කම්හලේ
    අලූත්ම විස්තරය

එම සරල කතාබහත් සමඟම මුල්ගල තැබීමේ වැඩකටයුතු අවසන් විය. ඉන්පසුව සියල්ලෝම පැමිණියේ සිමෙන්ති කම්හලේ වැඩකටයුතු දැකබලා ගැනීම සඳහා ය. එහිදී අග‍්‍රමාත්‍යවරයාට සිමෙන්ති නිෂ්පාදනාගාරය පුරා ඇවිදිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කරන්නට අවශ්‍ය විය. ජනාධිපතිවරයා උඩු මහලේ පිහිටි මෙහෙයුම් කාමරය වෙත ගියේ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන අවබෝධයක් ඇති කරගැනීමට ය. එහි සිටි ඉන්දියානු හා ශ‍්‍රී ලංකික ඉංජිනේරුවරු නිෂ්පාදන ක‍්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් කළහ.

අවශ්‍ය අමුද්‍රව්‍ය වරායේ සිටම යාන්ත‍්‍රික උපකරණ භාවිතයෙන් නිෂ්පාදනාගාරය වෙත ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කර ඇති ආකාරය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.

”මිනිස් ශ‍්‍රමය අවමයි. යන්ත‍්‍ර සූත‍්‍ර තමයි ඔක්කොම කරන්නේ. අපි තාක්ෂණය මෙහිදී උපරිමයෙන් භාවිතාවට ගත්තා.”

”පරිසරය දූෂණය අවම වීම ගැන තමයි මේ වගේ කර්මාන්ත ශාලාවලදී අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන…” ජනාධිපතිවරයා කීවේය.

ආවරණය කරපු බෙල්ට් එකක තමයි වරායේ ඉඳලා අමුද්‍රව්‍ය ගේන්නේ. දූවිලි පොදක් වත් පරිසරයට එකතු වෙන්නේ නෑ…” ඉංජිනේරුවරු සහතික වූහ. නිරීක්ෂණ චාරිකාව නිමවා අගමැතිවරයා ද ඉහළ මාලයට පැමිණි පසු වැඩ ආරම්භ කිරීමේ බොත්තම එබීමේ කටයුත්ත ජනාධිපතිවරයා වෙත පැවරිණි.

ජනාධිපතිවරයා බොත්තම එබීම ඇඟිල්ල දිගු කරමින් නැවත හැරී මෙසේ ඇසුවේය…

”ඔය යන්ත‍්‍රසූත‍්‍ර ඇතුලේ එහෙම කවුරුවත් ඉන්නවද දන්නෑ… හොඳටම විශ්වාසයි නේද කවුරුවත් නෑ කියලා…

”සේවකයෝ අවශ්‍ය නැහැ සර් ඒ තැන්වලට. ඔක්කොම ස්වයංක‍්‍රීයව යන්ත‍්‍රානුසාරයෙන් සිදුවෙනවා…” ඉංජිනේරුවරු එම සහතිකය දුන් පසු ජනාධිපතිවරයා බොත්තම ඔබා නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ සියලූදෙනාගේම අත්පොළසන් නාදය මධ්‍යයේය.

ඉන්පසුව උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ විය. එය නැටුම් ගැයුම්වලින් පිරි අලංකාරවත් උත්තරයක් විය. උත්සවය මෙහෙයවනු ලැබුවේ අසේල බණ්ඩාරනායක ය.

මුලින්ම නන්දන ජයදේව ලොකුවිතාන පිළිගැනීම් කතාව කරමින් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ රටේ සෞඛ්‍ය අංශ වලටත් ප‍්‍රමුඛ ස්තූතිය පළ කළේ 2020දී වැඩ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කොවිඞ් ව්‍යසනය තදින් තිබුණ යුගයේ දී පවා අතරමග නතර කිරීමකින් තොරව පවත්වාගෙන යන්නට අවසර දීම සම්බන්ධවයි.

”එදා අපිට ඒ අවසරය නොලැබුණා නම් අද අපිට මේ තරම් ඉක්මනින් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න වෙන්නේ නෑ…”

උත්සව සභාව අමතා චමල් රාජපක්ෂ කතා කරමින් රුහුණු මාගම්පුර කර්මාන්ත පුරවරයෙහි අනාගත වැඩපිළිවෙළ රටේ සංවර්ධනයට දායක වන ආකාරය පැහැදිලි කළේය.

”දැනට ලංකාවේ අපට තියෙන්නේ කර්මාන්ත පුරයන් 14යි. අපි ඉදිරියේදී දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා මුල් තැන දෙමින් තවමත් කර්මාන්ත පුරයන් 11ක් ආරම්භ කරනවා. 2024 වන විට ඒවායේ වැඩ කටයුතු අවසන් කිරීමයි අපේ ඉලක්කය” ඞී.වී. චානක පෙන්වා දුන්නේය.

මේ අයුරින් උත්සවයේ වැඩකටයුතු ඉක්මනින් අවසන් වූයේ ජනාධිපති, අගමැති දෙදෙනාම එම අවස්ථාවේ කතා නොකළ නිසාය. අගමැතිවරයා තවත් විශේෂ කටයුතු කීපයකට සහභාගිවීමට හම්බන්තොට ප‍්‍රදේශයේ තවදුරටත් රැඳී සිටියත් ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් කොළඹ ආවේය. විශේෂ කැබිනට් රැස්වීම ඇතුළු තවත් වැඩ කටයුතු රාශියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෙදී තිබීම ඊට හේතුවයි.

ආණ්ඩුවේ හවුල්කාර අනෙකුත් පක්ෂවලට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් පසුගිය කාලයේ ලැබුණේ නැතැයි කියා චෝදනාවක් ද විය. පසුගිය දිනවල මේ පිළිබඳ සමාජයෙන් නොයෙකුත් කතා ඇති වුවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නැත. මන්ද ආණ්ඩු පක්ෂයේ වැඩ කටයුතුවලදීත් රටේ තීන්දු තීරණ ගන්නා කැබිනට් මණ්ඩලය වැනි තැන්වලදීත් එම පක්ෂ නියෝජිතයන්ට කතා කරන්නට හා යෝජනා ඉදිරිපත් කරන්නට සමාන අවස්ථා ලැබී තිබූ නිසාය.

”කැබිනට් එකේදී කතා කරන්න ඕන දේවල් කතා නොකර සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ එළියට ගිහිල්ලා මයික් හා කැමරා ඉස්සරහ වීරයෝ වගේ කෑගහනව. ඕකද කරන්න ඕන.”

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ අනෙකුත් ප‍්‍රධාන පක්ෂවලට කතා කරන්නට වෙනමම අවස්ථාවක් ලබා දෙන්නට ජනාධිපතිවරයා කල්පනා කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති සමඟ සාකච්ඡා කරන්නට වෙනම අවස්ථාවක් උදා වූයේ ඒ අයුරිනි.

  • ඇතුළෙදි නැති සද්ද
    එළියෙදි දැම්මාලූ

පසුගිය 8 වෙනිදා හවස ජනාධිපති කාර්යාලයේදී එම හමුවීම සිදුවිය.

එදා හවස නියමිත වේලාවටත් කලින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු ජනාධිපති කාර්යාලයේ උඩුමහලේ අමුත්තන්ගේ කාමරයට පැමිණ සිටියහ. රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ෂාන් විජයලාල්, ලසන්ත අලගියවන්න, ඇතුළු 13 දෙනෙක් මේ සඳහා පැමිණ සිටියහ. තේ පානය කර විවේකීව සිට ටික වේලාවකට පසුව සාකච්ඡා වට පැමිණ ඔවුන් ජනාධිපතිවරයාට වම් පසින් වාඩි වූයේ පළමු ආසනය මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ඉතුරු කරමිනි.

ඉදිරි පෙළ අසුන් කීපය වෙන්ව තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටය. ඒවායේ මෛත‍්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වශයෙන් නම් ලියා තිබුණු අතර දෙවැනි පෙළ අසුන්වල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්…. යනුවෙන් පොදුවේ නම් කර තිබිණි. ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු ශාන් විජේලාල් ද සිල්වාට ආසනයක් වෙන්කර තිබුණේ නැති බැවින් ඔහු දෙවන පෙළ අසුන්වල වාඩි වූයේය.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පැමිණියේ රැස්වීම ආරම්භ වෙන්නට ඔන්න මෙන්න තිබියදී ය. ඊට පෙර අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පැමිණ සිටියහ. දිනේෂ් ආවේ මදක් ප‍්‍රමාද වී ය. ඔහු පැමිණ වාඩිවෙන්නට ගියේ වූ වම් පස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන් කර තිබූ අසුන්වල ය. ඉන් පසුව ආණ්ඩු පක්ෂයේ අය දකුණු පැත්තෙන් වාඩි වී සිටිනවා දුටු ඔහු ආයෙත් ඒ පැත්තට යන්නට සූදානම් වන විට දයාසිරි කතා කළේය…

”එන්න එන්න මේ පැත්තට. ඔබතුමාත් ඉන්න ඕන අපිත් එක්ක තමයි…”

”ඔබතුමා එන්න මේ පැත්තෙන් ඉඳගන්න”… අමරවීර කීවේය.

”නෑ… නෑ… මේ පැත්තෙ ඉඳගන්න එක ආරක්ෂාවට හොඳයි”… කියමින් දිනේෂ් අනිත් පැත්තෙන් වාඩි වූයේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණි පසුව ටික වෙලාවක් සුහද කතාබහක් පැවති අතර ජනාධිපතිවරයා නිසි වෙලාවට පැමිණ සාකච්ඡා ව පටන් ගත්තේය.

දෙපාර්ශ්වය අතර තිබූ බොහෝ අනවබෝධයන් හා අවිශ්වාසයන් ගැන මෙහිදී කරුණු කාරණා දීර්ඝ ලෙස සාකච්ඡා වට ලක්විය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් කිරීමත් සමඟම රටේ විවිධ කතා පැතිර යන්නට විය.

ඇතැම් කතාවකින් කියැවුණේ ආණ්ඩුව ඇතුළේ සිටින පක්ෂ එකොළහේ නියෝජිතයෝ ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව රට හමුවේ තිබෙන අර්බුද ජයගන්නට ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කිරීමට යන බවකි.

එම සර්වපාක්ෂික ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පත් කිරීමට ඉඩ ඇති බව ඇතැමුන් මත පළ කළහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සති අන්තයේ සිය පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ගැන විශේෂ උනන්දුවක් දක්වමින් දෙවන පෙළ නායකයන් සමග නිරන්තර සාකච්ඡා වක යෙදී සිටියේය. සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන් පටන්

ගැනීම, විරෝධතා හා සත්‍යග‍්‍රහ සංවිධානය කිරීම, ලක් වනිතා සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු වේගවත් කිරීම ආදී කාරණා ගණනාවක් ඔහුගේ සාකච්ඡා වලට මාතෘකා සපයනු ලැබීය.

  • ආණ්ඩුවෙන් රනිල්ට
    තනතුරක් දෙනවාලූ
ජාතික නිදහස් පෙරමුණ දෙකඩ කරන්නට ඇතුළෙන්ම සැලැස්මක්

මේ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී රනිල් වික‍්‍රමසිංහට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ හා විපක්ෂයේ මන්ත‍්‍රීවරු ගණනාවකගේ ප‍්‍රශ්න රැසකට උත්තර බඳින්නට සිදුවිය. මුලින්ම ඔහුගෙන් මේ ප‍්‍රශ්න අහන්නට පටන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු ය. අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය රනිල් වට කරගනිමින් ඔවුහු ප‍්‍රශ්න කරන්නට වූහ.

ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට ආණ්ඩුව කරන වැඩ ගැන ආරංචි වෙන්නෙ නැද්ද…? මමද දැන් ඔයාලට ආරංචි කියන්න ඕන…

ඒ අතර එතෙනට විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ද පැමිණියහ…

අපටත් ආරංචි වුණා ඔය වගේ කතාවක්. එහෙම කතාවක් මේ විදියට පැතිරිලා යන්න හේතුවක් තියෙන්නත් ඕන… විපක්ෂයේ තර්කය විය.

‘‘ඔයාලට ආරංචි වුණේ නැද්ද මටත් තනතුරක් ඒක ඇතුළෙ ලැබෙනවා කියලා. මටත් ඇමැතිකමක් දෙන්න යනවා කියලා ඇහුනා…” රනිල් කීවේය.

අපට නම් ආරංචි ඔබතුමාට අගමැතිකමට ආරාධනා කරනවා කියලා…

‘‘දන්නේ නෑ. ඔයාලා තමයි කියන්න ඕනේ.” නායකයා ද පිළිතුරු දුන්නේය.

‘‘කොහොම වුණත් ඔබතුමා හොඳ ආර්ථික දැක්මක් තියෙන අගමැති ධුරය දැරූ සෑම අවස්ථාවකදීම හොඳ ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන ගිය කෙනෙක් කියන කාරණය රටම පිළිගන්නවා. ඒකත් මේ කතාව මෙහෙම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති.” තවත් පසුපෙළ මන්ත‍්‍රීවරයෙක් කීවේය.

‘‘ජාතික ආණ්ඩුවක් හදනවට වඩා අවුරුදු 15 ක්

20 ක් යන ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් හදන්නයි පාර්ලිමේන්තුවේ 225 ම එකතු වෙන්න ඕනේ.” නායකයා කී විට සියලූ දෙනා හිස සලා එය අනුමත කළහ.

  • සජබෙ විරෝධතා හා
    සජබෙට විරෝධතා….

රට දැඩි ඞීසල් හිඟයකට මුහුණ පෑමත් සමගම රට පුරාම තෙල් පෝලිම් ඇති විය. එක් පැත්තකින් ආහාර ද්‍රව්‍ය හා නිෂ්පාදන ප‍්‍රවාහනය කරන ලොරි රථය. තවත් පැත්තකින් මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස්රථය. තවත් පැත්තකින් පුද්ගලික ප‍්‍රවාහනයේ යෙදෙන කාර් සහ වෑන් රථය. මේ සියල්ල අතර ගොවිබිම් වල හා වැඩ බිම් වල තිබෙන යන්ත‍්‍රසූත‍්‍ර සඳහා ඞීසල් රැගෙන යෑමට පැමිණෙන පුද්ගලයන්ය.

පසුගිය සතිය පුරාම මේ අය ඉන්ධන පිරවුම්හල් අසල එක්රැස් වී දිවා ? ගෙවමින් ඊළඟ ඉන්ධන බවුසරය පැමිණෙනතුරු බලා සිටියදී ඒ ඒ තැන්වල අමුතු සංස්කෘතීන් බිහිවන්නට ද විය.

යම් පිරිසක් මෙසේ එක්රොක් වී සිටින අයට තේ කෝපි විකුණන්නට වූහ. ඉන්ධන පිරවුම්හල් අසල ලොකු කුඩා හෝටල්වලට බත් පාර්සල්වලට හා ආහාරවලටද ලොකු ඉල්ලූමක් ගොඩනැගෙන්නට විය.

ඒත් සමගම ඒ ඒ තැන්වල ඇතැම් අය එක්කාසු වී මත්පැන් බී සින්දු කියන්නට ද පටන් ගෙන තිබුණේ විඩාව කාන්සිය හා කාලය ගෙවා දැමීමට මෙන්ම කේන්තිය ද පහ කරගැනීම සඳහාය.

මේ අතර එම තැන්වලට පැමිණ පෝලිං කරුවන් සමග ඒකරාශී වී උද්ඝෝෂණ පවත්වන්නට ද ඇතැමෙකු සූදානම් වූහ.

පසුගිය සතියේ සමගි ජනබලවේගයේ පිරිසක්ද මෙවන් ජනාකීර්ණ පෝලිම් වලට ගොස් අත් පත‍්‍රිකා බෙදා හරිමින් පෝලිම් අස්සේ දේශපාලන ක‍්‍රියාකාරකම් ප‍්‍රචලිත කරන්නට උත්සාහ කළහ.

ඇතැම් තැන්වල මෙම වැඩ කටයුත්ත සාර්ථක විය. එහෙත් ගිනි ගන්නා රැවුලෙන් සුරුට්ටු පත්තු කර ගන්නවා වැනි මෙබඳු ක‍්‍රියා සමහර පිරිස් අනුමත කළේ නැත. එවන් සමහර තැන්වල එම දේශපාලන ක‍්‍රියාකාරකම්වලට එරෙහිව ප‍්‍රති විරෝධතා මතු වීම නිසා පත‍්‍රිකා බෙදා හැරීම හා උද්ඝෝෂණ කිරීම නවතා සමගි ජන බලවේගයට ආපසු හැරෙන්නට සිදුවිය.

මෙම ක‍්‍රියාන්විතයට ප‍්‍රතිවිරුද්ධ තවත් ක‍්‍රියාන්විතයක් පසුගිය සතියේ අපට දකින්නට ලැබුණේ පිටකෝට්ටේ ප‍්‍රදේශයේදී ය.

පිටකෝට්ටේ ප‍්‍රදේශයේ තිබෙන සමගි ජන බලවේගයේ ජාතික කාර්යාලය වට කරගත් එක්තරා පිරිසක් මේ දුෂ්කර අවස්ථාවේ සමගි ජන බලවේගය මහජනයා කුපිත කරවීම සඳහා ගෙනයන ක‍්‍රියාකලාපයට එරෙහි වෙමින් විරෝධතාවක් පවත්වන්නට වූහ. නුගේගොඩ – රාජගිරිය මාර්ගය පිට කෝට්ට ප‍්‍රදේශයෙන් අවහිර වන ලෙස සෙනඟ එක්රැස්වී දක්වන ලද මෙම විරෝධයේ දී එක්තරා පිරිසක් නරක් වූ බිත්තර වලින් ද සජබෙ කාර්යාලයට පහර දෙන්නට වූහ. කුණු බිත්තර නොමැති තැන අහල පහල වෙළෙඳසල් වල තිබූ සියලූම බිත්තර අවසන් වන තුරුම මෙම පහරදීම නතර වී තිබුණේ නැත.

  • සජිත්ගෙන් ආණ්ඩුවට
    අලූත් සටනක්

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පක්ෂ නායක සජිත්ගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කලාවක් තුළ පැවැත්විණි. මුලින්ම සතියේ දේශපාලන වැඩ කටයුතු ගැන කතා බහ කිරීමෙන් පසුව ඔවුහු රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද සාකච්ඡා කරන්නට පටන් ගත්තේ මෙසේ ය.

‘‘මෑත කාලයේදී මාධ්‍යයට වගේම සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන්ටත් රජයෙන් විශාල බලපෑමක් එල්ලවුණා. ඒ හැම වෙලාවකදීම සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම කැපවීමෙන් ඔවුන්ට අවශ්‍ය නීති උපදෙස් දුන්නා. ඒ ගැන අපි විශේෂ ස්තුතියක් කරන්න ඕන’’ සජිත් කීවේ මාධ්‍ය මර්දනය ගැනද අදහස් දක්වමිනි.

ඒ අතර පළාත් පාලන මැතිවරණයට ගෙන ඒමට අපේක්ෂා කරන සංශෝධන ගැනත් අවධානය යොමුවිය.

‘‘පළාත් පාලන මැතිවරණයට මේ සංශෝධන ගේන්න හදන්නේ පොහොට්ටුවට මැතිවරණ දිනන්න බැරි බව දන්නා නිසයි. තමන්ට ඡන්ද දිනන්න අවශ්‍ය වෙන විදියට මැතිවරණ ක‍්‍රමයක් සංශෝධනය කරන එක තරම් තවත් කැත වැඩක් නෑ’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘මේක යටතේ කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය පහළට වැටෙනවා. මේ ආණ්ඩුව ඉදිරියට යන වැඩ වෙනුවට රිවස් වෙන වැඩ විතරයි කරන්නේ’’ රෝහිණී කුමාරි කවිරත්න චෝදනා කළාය.

‘‘මේ සංශෝධනවලට විරුද්ධව අපි සටන් කරන්න ඕන’’ එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා කළ යෝජනාවට සියල්ලෝම කැමැත්ත දුන්හ.

‘‘අපි කාන්තා දිනය අර්ථවත්ව සැමරුවා. රත්නාවලී බාලිකා විද්‍යාලයට බස් රථයක් ප‍්‍රදානය කළා. ඒ අතරේ ආණ්ඩුව කාන්තා නියෝජනය නැති කරන්න කටයුතු කරන එක ලැජ්ජා නැති වැඩක්’’ සජිත් කීය.

මේ අතර ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතාව ගැනද අවධානය යොමුවිය.

‘‘මේක ජනතාව ඉල්ලන විරෝධයක්. විපක්ෂයක් ලෙස අපි ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගන්න විශාල මැදිහත්වීමක් කළා. ඒත් ආණ්ඩුව වැරදි පාරේමයි යන්නේ. මේ ෆේල් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැස්වීමට මේ විරෝධතාව පවත්වනවා’’ මරික්කාර් කීවේය.

‘‘මේ මර්දනයට විරුද්ධව අපි ශක්තිමත්ව කටයුුතු කරන්න ඕන. හිරුණිකාගේ ගෙදරට කණ්ඩායමක් ගහන්න හැදුවා. අපි 15 වැනිදා විරෝධතාවත් එක්ක ජනතාව එක්ක මහ පාරේ අරගල කරමු’’ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ යෝජනාවට සියල්ලෝම එකඟත්වය දැක්වූහ.

මේ අතර කබීර් හෂීම්, එරාන් වික‍්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා මහ බැංකු අධිපතිවරයා හමුවීමට මහ බැංකුවටම ගියේය. රටේ ආර්ථික තත්ත්වය ගැන ඔවුන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.

  • ජනපති සිරිසේන
    සටන අතහැරලා..

මෙම සාකච්ඡා වේ දී පළමුව කතා කළේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි. ඔහු එහිදී පවත්නා දේශපාලන හා ආර්ථික අර්බුදය ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හා ස්ථාවරය පැහැදිලි කරමින් විශේෂ කතාවක් කළේය. එම කතාව අතරතුර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පහළොවක් ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ ය.

මෙම යෝජනා 15 ඇතුළෙ ආර්ථිකමය වශයෙන් වෙන් වූ යෝජනා අටක් ද තිබිණි.

හිටපු ජනාධිපතිවරයා එම යෝජනාවන් ගැන පැහැදිලි කිරීමට රංජිත් සියඹලාපිටිය ට අවස්ථා ලබා දුන්නේය.

මේ වෙලාවේ පවත්නා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නේ කෙසේද කියා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා අට ගැන සියඹලාපිටිය හොඳ අර්ථ විග‍්‍රහයක් කළේය.

”අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට මතක ඇති එදා 2009 දීත් අපි මේ වගේ දුෂ්කර අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ අපිට සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ගිහිල්ලා ඒ දෙන උපදෙස් පිළිපැදලා රටට ගැළපෙන යෝජනාවලට අනුව වැඩ කරලා ආර්ථිකය ගොඩ ගන්න. කවුරු මොනවා කිව්වත් හොඳ දේ අවශ්‍ය මොහොතේ කරන්න අපට සිද්ධ වෙනවා.”

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ද සියඹලාපිටියගේ අදහස අනුමත කරමින් මෙසේ කීවේය…

”ඔව් මට මතකයි… ඒ වෙලාවෙත් රංජිත් තමයි ඒ වැඩකටයුතු සම්බන්ධීකරණය කළේ…”

එසේ කියා අමාත්‍ය දිනේෂ් දෙසට හැරී රංජිත්ව පෙන්වමින් අගමැතිවරයා තවත් මොනවාදෝ කීවේය.

ඉන්පසුව ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා වක් ඇති විය.

ආණ්ඩුවේ දැන් එක එක පිල් එක එක පැත්තට අදින්න පටන් අරන්…

”අපි නම් හැදුවේ ආණ්ඩුවේ පිල් බෙදන්න නෙමෙයි. ඒ වුණාට මේ ආණ්ඩුවක් හදන්න කලින් අපි බලවේගයක් හැටියට එකතු වුණු වෙලාවේ කතා කරගත්ත විදියක් තියනවා. එකඟතා රැසක් තියෙනවා. ඒ එකඟතා ආරක්ෂා කරගන්න ඕන.

ඒ වගේම අපට ඕන මේ ආණ්ඩුව කඩා බිඳ දාන්න නෙවෙයි… අපිට ඕනේ මේක ඇතුලෙ තියෙන වැරදි හදාගන්න.” මෛත‍්‍රී තව තවත් පැහැදිලි කිරීම් කළේය.

”අපි සන්ධානයකට එකඟ වුණා. අපි සූදානම් නෑ සන්ධානය කඩන්න…” ශ‍්‍රීලනිපයේ අනිත් නියෝජිතයෝ ද කීහ.

”අපි එකතුවෙලා ආණ්ඩුවේ ඉන්න හවුල්කාර පක්ෂ සමඟ මේ ගනුදෙනුව මීට කලින් කළා නම් ප‍්‍රශ්න ගොඩක් මීට කලින් නිරාකරණය කරගන්න තිබුණා” ජනාධිපතිතුමා ද කිව්වේය.

ඉන්පසුව කතා කළේ විමල් වීරවංශලා වෙන්වීම ගැනය. ආණ්ඩුවේ බොහෝ නියෝජිතයන් සිතා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සිටින්නේ විමල් වීරවංශලාගේ කඳවුරේ ඔවුන් දරන ස්ථාවරයේය කියාය. එහෙත් මෙම සාකච්ඡා වෙන් අනතුරුව මෛත‍්‍රී ඇතුළු ශ‍්‍රීලනිප ය විමල්ගේ කඳවුරේ මතයෙන් මදක් වෙනස් ආස්ථානයක පසුවන බව ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට අවබෝධ වූහ. එහෙත් විමල් ගැන ගෝඨාභය කතා කළේය.

”විමල් කියන්නේ මේ ආණ්ඩුව හදන්න හුඟක් මහන්සි වුණ කෙනෙක්. හැබැයි මහන්සියෙන් හදාගත්ත ආණ්ඩුව රැක ගන්න එකත් එයාලගෙ යුතුකම. ඒගොල්ලො කැබිනට් එකේ කතා කරල සටන් කරලා දිනා ගන්න ඕන දේ එළියට ගිහින් කරන්න

ගියා. මට එයාලව අයින් කරන්න වුණේ ඒකයි.” ජනාධිපති කීවේය.

”මේ වගේ බොහොම බැරෑරුම් කාලෙක ආණ්ඩුවක් තීන්දු ගන්න කොට හැමෝගෙම අදහස් විමසලා තීන්දු තීරණ ගන්න පුළුවන් විදියටයි මම ආණ්ඩුවට ‘සර්ව පාක්ෂික කමිටුවක්’ යෝජනා කළේ.” මෛත‍්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.

”පාර්ලිමේන්තුවෙන් ඉන්න සියලූම පක්ෂ නියෝජනය වන පරිදි ඉහළ කමිටුවක් පත් කරනවා. එතනින් යෝජනා අරගෙන ඒ අනුව ආණ්ඩුව වැඩ කරනවා. ඒ පිළිබඳ දිගින් දිගටම පැහැදිලි කිරීම් සිදුවිය.

මේ සාකච්ඡා ව ඉතා සරලව සාමයෙන් සමගියෙන් පැවතුණු සාකච්ඡා වක් වූහ. ආණ්ඩුවට බොහෝ වැදගත් යෝජනා හුවමාරු වූ සාකච්ඡා වක් ලෙස එය ඉතිහාසයට එක් විය.

  • විමල්ට එරෙහිව
    පරීක්‍ෂණ ඇරඹිලා
ජාතික නිදහස් පෙරමුණ දෙකඩ කරන්නට ඇතුළෙන්ම සැලැස්මක්

පසුගිය අඟහරුවාදා බදාදා දිනවල පාර්ලිමේන්තුව පැවතුනත් විමල් වීරවංශ පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත. එහෙත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල නම් දිගටම පාර්ලිමේන්තුවට පැමිණියේය.

මුළු පාර්ලිමේන්තුවම කතාබහ කළේ විමල්ලාගේ අස්කිරීම හා ඉන් පසුව ඔවුන් ගනු ලැබූ දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා ද පසුගිය සඳුදා සිය වරාය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම භාර දුන්නේය.

”මගේ නායකයාව ආණ්ඩුවේ වරදක් පෙන්නුවා කියලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරාම මම කොහොමද දේශපාලන ගෞරවයක් තියාගෙන ඒ ආණ්ඩුවේ තනතුරක ඉන්නේ. මමත් ප‍්‍රතිපත්තිමය කරුණු මත ඉල්ලා අස්වෙනවා…”

ඔහු පුවත්පත් සාකච්ඡා වක් කැඳවමින් එම නිවේදනය කර පසුව දා අමාත්‍යාංශයේ බඩු භාණ්ඩ හා වාහන සියල්ල භාරදී අමාත්‍ය ධුරයෙන් ඉවත්ව නිවසට ආවේය.

වත්මන් රජය තුළ ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රිවරු 6 දෙනෙකු සිටිති. විමල් වීරවංශ, ජයන්ත සමරවීර, එම්. එච්. මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ හා උද්දික පේ‍්‍රමරත්න ඒ හයදෙනා ය. ඒ හය දෙනාම සිටියේ විමල් වීරවංශ සිටින මතයේය.

එහෙත් පහුගිය සතිය වන විට රට පුරා කථාවක් පැතිර ගියේ ඔවුන් අතරද භේදබින්නතා මතුව ඇති බවටය. හය දෙනා අතරින් තුන් දෙනෙක් දැනටමත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමග එක්ව ඇති බවත් ඉදිරියේදී ඔවුන්ට තනතුරු හා වරප‍්‍රසාද ලැබෙනු ඇති බවත් එම කතාවලින් ප‍්‍රචලිත විය.

ඒ පිළිබඳ ජයන්ත සමරවීර කියා සිටියේ විමල්ලා හා ආණ්ඩුව අතර විරසකය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට උත්සාහ කරන අය ආණ්ඩුව ඇතුළේ බහුල වුවත් ඒ විරසකය තව තවත් තීව‍්‍ර කරමින් ඔවුන්ව ආණ්ඩුවෙන් පැන්නීමට මාන බලන සුළු පිරිසක් ද ආණ්ඩුවේ සිටින බවකි.

පසුගිය සතියේ පාර්ලිමේන්තු ලොබියේ මේ පිළිබඳ නොයෙකුත් සාකච්ඡා ඇති විය. මන්ත‍්‍රීවරු පිරිසක් කතාබහ කරමින් සිටින අතර විමල්ගෙ පක්ෂයේ දෙදෙනෙක් ද එතැනට පැමිණියහ…

”අපිත් එක්ක තරහා වෙලා ඔරවගෙන ඉන්න එපා ඉතින්… අපි කරපු දෙයක් නෑ නේ…”

”අපේ නම් ඇති තරහක් නැහැ…. ඒ උනාට මේ වෙන දේවල් දිහා බලනකොට තරහ නොවීත් බෑ…”

”ඇයි ඒ… දැන් මොනවද වෙලා තියෙන්නේ…

”වෙලා තියෙන්නෙද… 2010 – 14 කාලෙ විමල් ඇමැතිතුමා ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කළාය කියලා යහපාලන ආණ්ඩුව දාපු පැමිණිල්ලක් ඔන්න දැන් මේ ආණ්ඩුව විභාග කරන්න යනවා කියලා කියන්නේ…” ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයා කීවේය.

  • ඩුබායි බෑග් පාටි
    ලන්සා වාසුට කියයි

මේ අතර එතනට නිමල් ලන්සා ඇමැතිවරයා පැමිණියේය. ඔහු සමග ඉන්පසුව මන්ත‍්‍රීවරු කතාබහ කරන්නට පටන් ගත්තේ ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගනු ලැබූ අලූත් තීන්දු තීරණ ගැන ය…

”රුපියල පා කරන්න ගත්ත තීන්දුව ගැන මම නං එකගයි… ඒත් ඉතිං බදු ගහලා මිදි චීස් බටර් වගේ කෑම ජාති පිටරටින් එන එක තහනම් කරන්න යන එක නම් සාර්ථක නෑ…”

එතන සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා නිමල් ලන්සාගේ අදහසට විරුද්ධව කතා කළේය…

ඔයා කියන්නේ රටේ තියෙන ඩොලර් ටික ඉවර වෙනකන් මිදි, ඇපල්, බටර් චීස් ලංකාවට ගේන්න කියලද… ඒව බදු ගහලා සීමා කරන්න ආණ්ඩුව ගත්ත තීන්දුව ඉතාම නිවැරදි තීන්දුවක්…” වාසු තර්ක කළේය.

”අනේ ඇමැතිතුමා… අර උන්ඩියල් වැඬේ වගේම තමයි. ඔය මිදි ඇපල් ටොපි චොකලට් චීස් බටර් වගේ පොඩි පොඩි කෑම ජාති ගෙන්නන එක නවත්තන්න බදු ගහලා විකාරයක් කළහම ඒව හොර පාරවල්වලින් රටට එන එක වැඩි වෙනවා. ඕකෙන් වෙන්නේ මේ රටේ ස්මග්ලිං තව තවත් වැඩි වෙන එක…” ලන්සා කීවේය.

”ඒ කොහොමද ස්මග්ලිං වැඩි වෙන්නේ…” වාසු තව තවත් තර්ක කළේය.

”ඔබතුමා දන්නවද ගුවන් තොටුපළ හරහා ප්ලේන් එකේ ඩුබායි ගිහින් එහෙයි මෙහෙයි අතර සල්ලියි බඩුයි හුවමාරු කරන ”බෑග් පාටි” ගැන. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි ගේම ගහන්න පටන් ගන්නේ…”

වාසු එතනින් යන්න ගියේ මම දන්න පාටියක් නෑ කියන්නා සේය…

එතන සිටි මාධ්‍යවේදියෙක් බෑග් පාටි කතාව කුමක්දැයි ලන්සාගෙන් විමසා සිටියේය.

”බෑග් පාටි කියන්නේ හැමදාම උදේට ප්ලේන් එකේ ටිකට් අරගෙන බෑග් එකක් පිරෙන මෙහෙන් බඩු අරන් ඩුබායි ගිහිල්ලා එහේ මාකට් එක දාල එහෙන් ඔය ටොපි චොකලට් චීස් බටර් රත්තරන්, ඇපල් අයි ෆෝන් වගේ බඩු ටිකක් ඒ බෑග් එකේ පුරවන් එදා හවස මෙහෙට එන බිස්නස්කාරයන්ට. දැන් ඔය ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා බෝතලූයි සිගරටුයි අරගෙන ආපහු ඉන්දියාවට යන්නේ. අන්න ඒ වගේ එමිරේට්ස් ප්ලේන් එකේ උදේට ඩුබායි ගිහිල්ලා හවසට බඩු අරන් ලංකාවට එන බිස්නස්කාරයෝ සෙට් එකක් ඉන්නවා කටුනායක අවට මීගමුව හලාවත පැත්තේ. වැඩිපුර ඉන්නේ මුස්ලිම් දෙමළ අය. හැමදාම දෙසීයක් විතර එහෙ මෙහෙ යනවා… දවසකට රටින් පිටත යන ඩොලර් ගාණ කොච්චරද කියලා දන්නවද. දවසකට මේගොල්ලෝ රටට ගේන්න ඩුබායි බඩුවල වටිනාකම කොච්චරද කියල දන්නවද. මාධ්‍යවේදියෝ හැටියට හොයලා බලන්න. ඔන්න ඔය ක‍්‍රියාකාරකම් තව තවත් වැඩි වෙන එක තමයි මේවයින් වෙන්නේ….”

ලන්සාගේ එම පැහැදිලි කිරීම මාධ්‍යවේදියාට ද තවත් හොඳ ගවේශනාත්මක ලිපියකට කදිම මාතෘකාවක් විය.

  • ශ‍්‍රී ල නි ප සමුළුවේ
    පුටුවකට රණ්ඩුවක්

පසුගිය බ‍්‍රහස්පතින්දා කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සම්මේලනය පැවැත්වුණි. පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් පැවැති මෙම සමුළුවට සාමාජිකයෝ තුන් දහසකට අධික පිරිසක් පැමිණ සිටි අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ සියලූම ආසන සංවිධායකවරු හා සම්බන්ධිකාරකයින් පැමිණ සිටියහ. නිදහස් ජනතා පැතුම යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වුණු අතර එහිදී කතා කළ නිමල් සිරිපාල ද සිල්වාගේ කතාවක් නිසා සභාවෙන් නොසන්සුන් බවක් පළ විය.

”මේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා ආසන සංවිධායකවරු විශාල ප‍්‍රමාණයක්. හැබැයි ඒ එක්කෙනෙක් අතර වත් කිසිම සමගියක් නෑ. සමගියක් නැතුව කරන වැඩක් සාර්ථක වෙන්නේ නෑ…

මේ අයුරින් නිමල් සිරිපාල කරන ලද කථාව නිසා සභාවේ විවිධ ශබ්ද ඇති වන්නට විය. අවසානයේදී නිමල් කතාව වෙනස් කළේය. ආසන සංවිධායකවරුන්ට ද මෙහිදී අදහස් දක්වන්නට ඉඩක් ලැබුණි.

ආසන සංවිධායකවරුන් කතා කරන අතරේ සභාවේ ගාලගෝට්ටියක් ඇතිවිය. ඊට හේතුව සංවිධායකවරු දෙදෙනෙක් අතර ආසනයකට ඇති වූ බහින් බස් වීමකි. සංවිධායකවරු දෙදෙනා හෙක්ටර් බෙත්මගේ හා ගාමිණී තිලකසිරි ය. දෙදෙනා හොඳ යාළුවො වුවත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් දෙදෙනා අතර කලක සිටම පැවැතුනේ ගැටුමකි.

ගාමිණී තිලකසිරිට තිබුණේ ඉදිරියේ අසුනකි. ඔහු කතා කරන්නට වේදිකාවට ගිය මොහොතේ ඔහුගේ අසුන හිස් විය… කතාව අතරතුර සුමිත් සොයිසා හෙක්ටර් බෙත්මගේ ට පොඩි උපදෙසක් දුන්නේය…

”මචං උඹ තමයි ජ්‍යෙෂ්ඨයා. හරි නම් උඹ ඉන්න ඕන ආර ආසනේ. එතැන ගාමිණියා වාඩිවෙලා.

මේ උපදේශය නිසා හෙක්ටර් ගොස් ගාමිණී වාඩිවී සිටි හිස් අසුනේ වාඩි විය. ගාමිණී තිලකසිරි කතාව අවසන් කොට පැමිණ තම අසුන වෙනුවෙන් හෙක්ටර් සමග වාදයක පැටළුනි.

අවසානයේ මෙම රණ්ඩුව අවසන් කරන්නට පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරටත් මැදිහත් වන්නට සිදු විය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment