ජාතික පාසල් දේශපාලන සහභාගිත්වයෙන් විවෘත කිරීම වර්ජනය කරනවා – ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු

164

ඉදිරි සති දෙක තුළ ජාතික පාසල් ලෙස නම් කළ සියලූ පාසල් දේශපාලකයන්ගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට රජය තීරණයකර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇතත් එම උත්සව වර්ජනය කිරීමටත්, එම කටයුතු සංවිධානය නොකිරීමටත් ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ සභාපතිවරයා තවදුරටත් කතාකරමින්, ගුරු විදුහල්පති විරෝධය හමුවේ රජය මේ වනවිට ප‍්‍රාදේශීය දේශපාලකයන් හා ආදී ශිෂ්‍ය සංගම් හරහා එම විවෘත කිරීම් සිදු කිරීමට සැලසුම්කර තිබෙනවා. එම පාසල්වලට දේශපාලකයන් පැමිණ උත්සව පවත්වන සෑම දිනකම, සෑම පාසලකම එම පාසල් ඉදිරි පිට උද්ඝෝෂණ කිරීමට තීරණයකර තිබෙනවා. ගුරු වැටුප් ගැටලූව විසඳීමට පාර්ලිමේන්තුවේදී කිසිදු වචනයක් කතා නොකර ගුරුවරුන්ට නින්දා අපහාස කළ කිසිම දේශපාලකයකුට පාසලකට එන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ජාතික පාසල් ලෙස බෝඞ් ලෑලි පමණක් මාරු කළාට එම පාසල්වලට කිසිම සම්පතක් ලබා දී නැහැ. උත්සව පවත්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්න හදනවා. ගුරු විදුහල්පතිවරුන්ට වැටුප් ගැටලූවට විසඳුම් දීම තව දුරටත් කල් දැමීමට කටයුතු කරන්නේ නම් මීටත් වඩා දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නවා.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment