ජාතික මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලිය හැකි ඉක්මනින් පවත්වනවා – මලල ක‍්‍රීඩා සභාපති පාලිත ප‍්‍රනාන්දු

449

කල් දමන්නට යෙදුණු ජාතික මලල ක‍්‍රීඩා ශුරතා තරගාවලියේ අවසන් අදියර පුළුවන් තරම් ඉක්මනින් පැවැත්වීමට කටයුතු යොදන බව මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති (විශ‍්‍රාමික) මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින’’ ට ඊයේ (09 වැනිදා) පැවසීය.

ජාතික මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලිය අවසන් අදියර හෙවත් දෙවන අදියර අද (10 වැනිදා) සහ ඊයේ (09 වැනිදා) දෙදින තුළ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද රටේ කොවිඞ් තත්ත්වය දරුණු වීම හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ආයතනය පසුගියදා තීරණය කළේය.

‘අපට මේ තරගාවලිය පහක් ඉක්මනින් පැවැත්වීමට අවශ්‍යයි. ඒත් රටේ කොවිඞ් තත්ත්වය ඊටත් වඩා දරුණුයි. ඒ නිසයි තරගාවලිය අපට කල් දැමීමට සිදු වුණේ. නමුත් අපි තත්ත්වය අධ්‍යයනය කරමින් ඉන්නවා. අවස්ථාවක් ලැබුණු සැණින් තරගාවලිය පවත්වනවා’ යැයිද මලල කී‍්‍රඩා සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජාතික මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලියයේ පළමු අදියර පසුගිය මැයි මස 21 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වුණු අතර දෙවැනි අදියර සඳහා අදාළ ඉසව්වලින් සුදුසුකම් ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400 දෙනෙකුගේ පමණ දක්‍ෂතා අද (10 වැනිදා) සහ ඊයේ (09 වැනිදා) දිනවලදී සුගතදාස පිටියේදී උරගා බැලීමට නියමිතව තිබිණි.

එම ඉසව් අතරට මීටර් 10000, මීටර් 5000, මීටර් 1500, මීටර් 100 කඩුලූ පැන දිවීම, මීටර 400 කඩුලූ පැන දිවීම, රිටි පැනීම, මී. 200 මීටර් 800 කවපෙත්ත විසි කිරීම, තුන් පිම්ම යගුලිය විසි කිරීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම යන කාන්තා හා පිරිමි ඉසව් මෙන්ම සත් ප‍්‍රයාම කාන්තා සහ දස ප‍්‍රයාම පිරිමි යන ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

‘මලල ක‍්‍රීඩා ජාතික තරගාවලියේ අවසන් අදියරේ දක්‍ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික මලල ක‍්‍රීඩා පුහුණු සංචිතයට නිර්දේශ කෙරෙනවා. එම නිසා මේ තරගාවලිය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඉතා වැදගත්. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මෙන්ම ආයතන ක‍්‍රීඩා උළෙලක් ලබන වසරේදී පැවැත්වෙනවා. එම තරගවලටත් ක‍්‍රීඩකයන් සූදානම් කිරීමට මේ තරගාවලිය ඉතා වැදගත්’ යැයිද මලල ක‍්‍රීඩා සභාපතිවරයා තව දුරටත් සඳහන් කර සිටියේය.

ජාතික මලල ක‍්‍රීඩා ශුරතා තරගාවලිය දැඩි සීමා යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් සහ කළමනාකරුවන් පමණක් සහභාගී කරවා ගෙන අද සහ ඊයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment