ජාතික මහා ක්‍රීඩා තරගාවලිය ජූලි 17, 18 සහ 19 සුගතදාස ක්‍රීඩාංගණයේදී

69

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇති 48 වැනි ජාතික මහා ක්‍රීඩා තරගාවලිය ජූලි මස 17, 18 සහ 19 යන තෙදිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ඉසව් මෙම තෙදින තුළ ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩකාවන් බොහෝ දෙනකු තම පළාත නියෝජනය කරමින් සහභාගි වෙති. “ජනාධිපති අභියෝග කුසලාන” ප්‍රදානය වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ජාතික මහා ක්‍රීඩා තරගාවලිය මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා එකතුවයි. මෙය අන්තර් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන අතර එහි දී වැඩිම රන් පදක්කම් ප්‍රමාණය තහවුරු කර ගැනීමට සමත් වන පළාතට “ජනාධිපති අභියෝග කුසලාන” ප්‍රදානය කෙරේ. ඒ, ක්‍රීඩා 31 ක් ආශ්‍රිතව පිරිමි සහ කාන්තා ලෙස දිනා ගන්නා පදක්කම් සංඛ්‍යාව අනුවය.

කණ්ඩායම් ක්‍රීඩා සහ බර පන්ති ක්‍රීඩා තරග මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතරවාරයේ දී පාපැදි (පිරිමි සහ කාන්තා), තරග ඇවිදීම (පිරිමි සහ කාන්තා), මැරතන් (පිරිමි සහ කාන්තා) තරග ජූනි 14, 15, 16 දිනවල මහියංගනය නගරය මුල් කර ගනිමින් පැවැත් වීමට සංවිධායකයින් සැලසුම් කර තිබේ.

එම දිනවලදී සැහැල්ලු පන්දු ක්‍රිකට් (පිරිමි සහ කාන්තා) තරගාවලිය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ද ජිම්නාස්ටික් (පිරිමි සහ කාන්තා) තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ද ද කැරම් (පිරිමි සහ කාන්තා) තරගාවලිය කොළඹ ටොරින්ටන් ක්‍රීඩාගාරයේදී ද පැවැත්වීමට නියමිතය. පිරිමි සහ කාන්තා හෑන්ඩ් බෝල් තරගාවලිය බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණ භූමිය කේන්ද්‍ර කර ගනිමින් ජූනි 13 සිට 16 දක්වා පැවැත්වේ. මේ වන විට ජූඩෝ, බැඩ්මින්ටන්, කරාටේ දෝ, බර ඉසිලීම, ටයිකොන්ඩෝ, කඹ ඇදීම, වෙරළ වොලිබෝල්, වෙරළ කබඩි, මල්ලව පොර සහ රට හරහා දිවීම යන තරග අවසන් කර ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කර තිබේ.

ජූනි 26 සිට 30 දක්වා කාලය තුළ එල්ලේ, මේස පන්දු, පැසි පන්දු, නෙට්බෝල්, කබඩි, පාපන්දු, ක්‍රිකට්, චෙස්, තරග මාලාවන් ක්‍රියාත්මක කෙරෙන අතර ජූලි මස 04 සිට 07 දක්වා කාලය තුළ වොලිබෝල්, බොක්සිං, පිහිනුම්, රග්බි පාපන්දු, හොකී, වූෂූ සහ කායවර්ධන තරග පැවැත්වීමට පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment