ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ 200කට කොවිඩ්

173

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙසීයකට වැඩි පිරිසක් ඉකුත් සතියේ කොවිඞ් ආසාදිත තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

මේ අතරින් හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට අයත් ගර්භණී නිලධාරිනීයන් ඇතුළු පස් දෙනකු කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද එම සංගමය ඊයේ (24 දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

කොවිඞ් ආසාදිතව ඇති සියලූ රෝහල් කාර්ය මණ්ඩල එන්නත් සියල්ලම ලබාගෙන ඇතත් ඇන්ටිජන් පරීක්‍ෂාවන් සහ පී.සී.ආර්. පරීක්‍ෂාවන් සිදුකිරීමේ ප‍්‍රතිශතිය අඩු අගයක් ගැනීම නිසා මෙලෙස රෝහල් ගතකර තිබේ.

ගර්භණී හෙද නිලධාරිනියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයත් මේ වනවිට කිරිදෙන මව්වරුන් වන සේවිකාවන්ද කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට සේවයට කැඳවීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි ද සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කර සිටී.

කොළඹ ජාතික රෝහලේ පමණක් ඉකුත් සතියේ සිට මේ දක්වා කොවිඞ් ආසාදිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙසීයක පමණ පිරිසක් වාර්තා වුවා සේම මාතර, හම්බන්තොට, ගාල්ල, ති‍්‍රකුණාමලය, පොලොන්නරුව, මහනුවර සහ මඩකලපුව ඇතුළු ප‍්‍රධාන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හී සැලකිය යුතු පිරිසකට කොවිඞ් ආසාදිත වී ඇතැයිද එම සංගමය සඳහන් කර සිටියේය.

වැඩිවන කොවිඞ් තත්ත්වයට මුහුණදීම සඳහා කොළඹ ජාතික රෝහලේ අලූතින් කොවිඞ් වාට්ටු හතක් ස්ථාපිත කර ඇති බවද කී එම සංගමය යම් පාලනයකට නතුකර කර තිබූ මෙරට කොවිඞ් වසංගත තත්ත්වය නැවතත් රට පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද අනතුරු ඇඟවීය.

කොවිඞ් වසංගතය හමුවේ හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණදී සිටින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැනට අවලංගු කර ඇති නිවාඩු ලබා ගැනීම් පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්කර කණ්ඩායම් වශයෙන් සේවයට කැඳවීම යළි කි‍්‍රයා කළ යුතුව ඇතැයි ද සමස්ත ලංකා හෙද සංගමය කියයි.

සුජීව තත්සර, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment