ජාතික රෝහලේ කොලෙස්ටරෝල් කැල්සියම් පරීක්‍ෂණ නැවතී රෝගීන්ට දැඩි පීඩා

114

මේක රසායනාගාර බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් – රවි කුමුදේශ් චෝදනා කරයි

අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබීම නිසා කොළඹ ජාතික රෝහලෙහි සිදු කෙරෙන කොලෙස්ටරෝල්, කැල්සියම් ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ ජීව රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම නතර කර තිබීම හේතුවෙන් රෝගීන් දහස් ගණනක් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම තත්ත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරමින් නතර කර ඇති රසායනාගාර පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා ජාතික රෝහල අවට තිබෙන පෞද්ගලික රසායනාගාර වෙත රෝගීන් යොමු කරවීමට රෝහලේ බලධාරීන් විසින් කටයුතු කරමින් සිටින බව පවසන කුමුදේශ් මහතා අදාළ පෞද්ගලික රසායනාගාර සමග ජාතික රෝහලේ ඉහළ නිලධාරීන්ගේ පවතින සෘජු සම්බන්ධතා මෙයට හේතු වී ඇති බව සඳහන් කරයි.

මේ වන විට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබීමෙන් ජාතික රෝහල් රසායනාගාරයේ සිදු කිරීම නතර කර ඇති පරීක්ෂණ අතර ‘ඒ. එල්. ටී.’, ‘ඒ. එස්. ටී., ‘බිලිරුබින්, ‘ක්‍රියෙටිනින්’, ‘කොලෙස්ටරෝල්’, ‘එච්. ඩී. එල්.’, ‘ඒ. එල්. පී. ප්‍රෝටීන්’, ‘මැග්නීසියම්’, ‘කැල්සියම්’ , ‘ඇමයිලෙස්’, ‘ටී. එස්. එච්.’ වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ වන බවත්, හදිසි හා අත්‍යවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කළ හැකි උපරිම එම පරීක්ෂණ සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත් එම සීමාසහිත පරීක්ෂණ ද සිදු කරනු ලබන්නේ රෝහල තුළම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බවත් හෙතෙම කීවේය.

ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයන් තමන් කැමති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීමයි. ජාතික රෝහල සඳහා ලබා ගැනීමට උත්සාහ කරනු ලබන ඇතැම් ප්‍රතික්‍රීයක ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොලැබූ ඒවා වන බැවින්, එම සියලු කටයුතු අවසන් වන තුරු රෝගීන්ට පරීක්ෂණ නොකොට බලා සීටීමට සිදුවනවා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී සහ ඒවායෙන් වඩා ලාභදායී ලෙස ප්‍රතික්‍රීයක ලබා ගැනීමට හැකිව තිබියදී, ඒවා දැඩිව ප්‍රතික්ෂේප කරමින් මෙම අර්බුදය හිතාමතාම නිර්මාණය කර ඇති එකක් බවට පෙනෙන්නට තිබෙනවා යැයි ද ඔහු පැවසීය. ඉන්දියානු ණය ආධාර පහසුකම් යටතේ ඩොලර් මිලියන 60කට වඩා තවදුරටත් ඉතිරිව තිබියදී සහ හතර ගුණයකට වඩා ලාභදායී ප්‍රතික්‍රීයක ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකිව තිබියදී, ජාතික රෝහලේ මෙසේ ප්‍රතික්‍රීයක හිඟවීම රසායනාගාර සේවාවේ බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් යැයි ද ඔහු කීවේය.

රසායනාගාර සේවා අංශයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 125ක් ප්‍රයෝජනයට නොගෙන හරවා යවා තිබෙන තත්ත්වයක් යටතේ රට පුරා ප්‍රතික්‍රීයක හිඟයක් පැවතීම සහ ඉතා අසරණ අඩියකට පත්ව ඇති මහ ජනතාවගේ පරීක්ෂණ ටික සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කර ඔවුන්ව පෞද්ගලික රසායනාගාර වෙත යොමු කර සාමූහිකව ගසා කෑම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන වැරදි නිසා සිදු වන්නක් බව පැහැදිලියි යනුවෙන් ද ඔහු කීවේය.

ඒමන්ති මාරඹේ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment