ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය තුළින් රාජ්‍ය සේවය හා ජනතාව දිනවමු –  පෙරඹර

169

රටක හෝ සමාජයක ස්ථාවරත්වය, සන්නද්ධ යුද්ධයකින් බිඳ දැමිය හැකි මෙන්ම නිසි වැටුප් ක‍්‍රමවේදයකින් තොරවීම නිසා ඇති වන වෘත්තීය අරගල, සටන් හා උද්ඝෝෂණ නිසාද යම් රටක් හෝ සමාජයක් අස්ථාවර කළ හැක. වැටුප යනු, මූලික වැටුපට පමණක් සීමා නොවන්නකි. එය, මූලික වැටුප වැටුප් දීමනා වරප‍්‍රසාද වැනි අංග ගණනාවකින් යුක්ත වේ.

 වැටුප ඕනෑම ආයතනයක හෝ රටක මානව සම්පතේ නිවැරදි සංයුතිය කාර්යක්ෂමව වඩා ඵලදායිතාවයෙන් පවත්වාගෙන යෑමට මෙන්ම, ආයතනයකින් අපේක්ෂිත කාර්යභාරය ඉටු කිරීමේ තීරණාත්මක සාධකයකි.

 වැටුප් ප‍්‍රතිපත්තියකින් තොරවීම රටක අස්ථාවරභාවයට හේතු විය හැකිද?

 2003 වසර පෙර සමයේ, කැබිනට් මණ්ඩලය, කැබිනට් අනු කමිටු, අමාත්‍යාංශ කමිටු හරහා කිසිදු පදනමකින් තොරව, සවන්දීම්වලින් පමණක් විවිධ කාණ්ඩ සඳහා වැටුප් නිර්ණය කිරීම සිදු විය. මේ හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් අසමතුලිත නිසා රට පුරා විවිධ කාණ්ඩ දවස් 365 න් 183 ක් ම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයන්ට යොමු විය.

 ජාතික වැටුප් ප‍්‍රතිපත්තියේ ආරම්භය

 මේ බව 2003 දී නිරීක්ෂණය කළ අප වැටුප් ප‍්‍රතිපත්තියකින් තොරව ආණ්ඩුවක් කටයුතු කිරීම මගින් යුද්ධයෙන් අස්ථාවරව තිබූ ආකාරයටම රට අස්ථාවර කළ හැකි බවත්, එම නිසා රටක යුද්ධයට දුන්නා වූ අවධානය ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවට ද ලබා දිය යුතු බවත් පෙන්වා දෙන ලදී.

 මෙය වටහා ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය එතුමියගේ යුගයේදී මේ පිළිබඳව අප විසින් පෙන්වා දුන් පසු, පූර්ණකාලීන වැටුප් කොමිසමක් පත් කරන ලද අතර ඒ පිළිබඳව දැනුම් තේරුම් ඇති පිරිස්වල දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඉන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ආරක්ෂා කළ අතර ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක් බිහි කිරීම ඔහුගේ දායකත්වයෙන් සිදු විය.

 මෙසේ වැටුප් ප‍්‍රතිපත්තියකට අනුගත වීම මගින් මූලික වැටුප යන කාරණය පමණක් යම් නිසි ප‍්‍රතිපත්ති රාමුවකට අනුගත වූ නිසා රට පුරා සිදු වූ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග නිමා වෙමින් රාජ්‍ය අංශය තුළ වැටුප් ස්ථාවරභාවයක් ගොඩ නැගුණි. මෙහිදී වැටුපේ අනිකුත් අංග වන දීමනා හා වරප‍්‍රසාද වැනි දෑ නිවැරදි කිරීම හා වැටුප් විෂමතා සඳහා ගත යුතු නිසි පියවරයන් මේ තාක් ඉටු වී නොමැත.

 ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය

 යහපාලන සමයේදී ”කැබිනට් මණ්ඩලයෙන් වැටුප් ලබා දීම” නැවතත් ආරම්භ විය. මහ බැංකුවට හා අධිකරණ පද්ධතියට නිසි ක‍්‍රමවේදයෙක් බැහැරව ජාතික වැටුප් කොමිසමේ විරෝධාතාවය මැද වැටුප් වැඩි කිරීම් සිදු කරනු ලැබිණි. එසේ ආරම්භ වූ වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම මේ වන විට වඩාත් බැ?රූම් තත්ත්වයකට පත්ව ඇත. ප‍්‍රතිපත්තිගරුකව තිබූ වැටුප් ක‍්‍රියාමාර්ගය විවිධ සංවෘත සේවා ඇති කරමින්, භේද ඇති කරමින් වර්තමාන රජයද ඒ ප‍්‍රතිපත්ති සම්පූර්ණයෙන් විනාශ කර දමමින් සිටී.

 නැවතත් 2003 ට

 වැටුප යනු ඉතාමත් සංකීර්ණ විෂය ක්ෂේත‍්‍රයකි. මේ සඳහා කටයුතු කිරීමට දැනුම් තේරුම් ඇති පිරිස් අවශ්‍ය වේ. එය කිරීම සඳහා 2003 – 2006 අතර කාලයේදී නිවැරදි දැනුම් සම්භාරයක් ඇති පිරිස් යොදා ගනිමින් කටයුතු කරන ලදී. නමුත් මේ වන විට වැටුප පිළිබඳව පැහැදිලි විද්‍යාත්මක දර්ශනයක් නොමැති, වැටුප සම්බන්ධයෙන් නිවැරදි හැසිරවීමක් කළ නොහැකි, විශ‍්‍රාම ගිය පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙක් යොදා ගනිමින් නිසි සැලසුමකින් තොරව කටයුතු කරමින් පවතී. උදාහරණයක් ලෙස පුද්ගලබද්ධ වැටුප් කොමිසමකින් ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම මගින් වැටුප් ගැටලූව තීව‍්‍ර වීම පෙන්වා දිය හැක. මේ හේතුවෙන් රට නැවතත් 2003 වර්ෂයේ මෙන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග දාමයකට යෑම වැළැක්විය නොහැකි වනු ඇත. මෙම කාරණයේදී ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සඳහා දායකත්වය දක්වන පිරිස් අතර වෘත්තීය සංගම් නායකයින් ලෙස හඳුනා ගත් දේශපාලන හෙන්චයියන් මෙන්ම භඨධ ක‍්‍රමන්ත‍්‍රණකරුවන් සිටිනු පෙනෙන්නට ඇත. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සමහර ඇමැතිවරුන් මෙන්ම හිටපු ඇමැතිවරුන්ද මෙම ප‍්‍රතිපත්තිය විනාශ කිරීමට නායකත්වය දෙමින් ඇත. මෙම සමස්ත ක‍්‍රියාවලිය හරහා රාජ්‍ය සේවය ජනතාව අතර අපකීර්තියට පත් කිරීමත්, ඊට විකල්පය ලෙස පුද්ගලීකරණ ක‍්‍රියාවලියකට යොමු කිරීමත් අභිමතාර්ථය බව පැහැදිලිව ඇත. මේ හරහා නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපන පූර්ණ පුද්ගලීකරණයට ලක් කිරීම මෙම කුමන්ත‍්‍රණකරුවන්ගේ අරමුණ බව පැහැදිලිය. සමස්ත ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය රාජ්‍ය සේවය දිය කර හැරීමත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය දිය කර හැර වරප‍්‍රසාද ලත් පැලැන්තියකට වාසිදායක පරිසරයක් නිර්මාණය කිරීමත්ය. එම නිසා මෙම අවස්ථාවාදි දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ දේශපාලනික වෘත්තීය සමිති නායකයින්ගෙන් රට ගලවා ගැනීමේ ඓතිහාසික වගකීම අප දෙවුර මත පැටවී ඇති අත්හළ නොහැකි වගකීමකි. මෙම කුමන්ත‍්‍රණ පරදවා රාජ්‍ය සේවය සුරක්ෂිත කර ගනිමින් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට නම්,

 1. නිවැරදි අධ්‍යයනයකින් තොරව අත්තනෝමතික වැටුප් පරිමාණ එළිදක්වන කැබිනට් පත‍්‍රිකා, අමාත්‍යංශය කමිටු හා කැබිනට් අනුකමිටු පිටු දැකීම.

 2. ජාතික වැටුප් කොමිසම යාවත්කාලීන කර අදාළ විෂය සම්බන්ධ ප‍්‍රාමාණික වියතුන්ගෙන් ඊට සම්පත් දායකත්වය ලබා ගැනීම.

 3. ජාතික වැටුප් ප‍්‍රතිපත්තියකට අනුගතව පමණක් සියලූ වැටුප් සංශෝධන සිදු කිරීම.

 ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය ආරක්ෂා කර ගනිමු. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සුරකිමු. වැටුප් සටන හා රාජ්‍ය සේවයේ ගරුත්වය රැුක ගැනීමට සටන් කරමු. රට දිනවමු.

ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය තුළින් රාජ්‍ය සේවය හා ජනතාව දිනවමු -  පෙරඹර

වෛද්‍ය  – නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment