ජාතික වීරයන්ගේ දෛවය

503

1948 පෙබරවාරි මස හතර වැනිදා ශ්‍රී ලංකාවාසී අපට නිදහස ලැබුණේ යැයි කියනු ලැබේ. නිදහස ලැබුවේ ඉංග්‍රීසි ජාතිකයන් ගෙනි. ඉංග්‍රීසි පාලනය විසින් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සකල විධ ජනතාව පීඩනයට පත් කළ ආකාරය ඉතිහාසය කියවනවිට පැහැදිලි වේ.

එහෙත් අප අදටත් අපේ භාෂාව කතා කිරීමට වඩා ඉංග්‍රීසියෙන් කතා කිරීම මහා උජාරුවක් කොට සලකමු. ඉංග්‍රීසි බැරි එකා ගොඩයෙකි. එමෙන්ම බත් සමග වෑංජන වුවද හැන්ද හා ගෑරුප්පුව භාවිත කර කෑම උජාරුවක් කොට සලකමු. බත්වලට වඩා ෆ්‍රයිඩ් රයිස්, ෂෝට් ඊට්ස්, කෑම ද ඉංග්‍රීසි ක්‍රමය නිසා ඊට කැමැතිය. අපට අපේම කිව හැකි ඇඳුමක් ද නැති අතර කලිසම හා ටයි කෝට්වලින් සැරසෙමු. ජාතික ඇඳුමට ‘කපටි සූට්’ එක යැයි කියන්නෝ ද අපිමය. දෑත් පපුව මත තබා ආචාර කරනවාට වඩා සුද්දන් මෙන් අතට අත දීමට අපි කැමැතිය. ‘ආයුබෝවන්’ කියන්නේ ගමේ ගොඩයෝය.

වසර කිහිපයකට මම මෙවැනි කවියන් දුටුවෙමි. එහි මාතෘකාව වූයේ ‘සුද්දාගේ නිදහස් දින හඬය’ යි කවිය මෙසේය.

මගේ භාෂාව
මගේ ඇඳුම
මගේ කෑම බීම
මගේ සිරිත් විරිත්
තොපට මොන නිදහසක් ද බොලව්!

කතාව ඇත්ත ය. නිදහස ලැබී අවුරුදු හැත්තෑවක් ගත වුවත් අපි සුද්දාම අනුගමනය කරමු. එසේ කරන හැටි විශේෂයෙන් ඉගැන්වීමට ජාත්‍යන්තර පාසල් බිහිවී තිබේ. ජාතික පාසලින් නිදහස් අධ්‍යාපනය ලැබූ උගත්තු යැයි කියන පාලකයෝ බොහෝමයක්ම කළු සුද්දෝ වෙති.

ජාතික වීරයන්ගේ දෛවය

අප මෙවැනි තත්ත්වයකට වැටී ඇත්තේ ඉතිහාසය අමතක කිරීම නැතහොත් නොදන්නාකම නිසාය. මේ ලිපියෙන් අප උත්සාහ ගන්නේ නිදහස වෙනුවෙන් සටන් කළ ජාතික වීරවරයන් කිහිපදෙනකුගේ දෛවය ගැන සාකච්ඡා කිරීමටය.

වසර තුන්සිය ගණනක් මුළුල්ලේ බටහිර ජාතීන් තුනකට යටත්කර ගතහැකි නොවුණු අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වන්නේ සටනක් පරාජය වීමේ ප්‍රතිඵලයක් ලෙස නොව පාවා දීමක ප්‍රතිඵලයක් ලෙස බව කීමට සිදුවීම කනගාටුදායකය. ඒ 1815 වසරයි. ඉතිහාසයේ ශෝචනීය කාලයයි. එවකට රජු වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වූ අතර මේ වනවිට රජතුමා බේබද්දෙක්ව සිටි බව කියනු ලැබේ.

සේනාධිපති වූ ලෙව්කේ දිසාපතිතුමා නොයෙක් යුද්ධවලදී සිය දක්‍ෂතාව පෙන්වා තිබූ වීරයෙකි. එමෙන්ම අතිශය රූපසම්පත්තියෙන් යුතු කඩවසම් පිරිමියෙකි. කවියෙකු එතුමා ගැන මෙසේ කීවේය.

ඉඳගත්තම පිළිමය තිබ්බා වාගේ
නැඟිටපුවම වේපත බැන්දා වාගේ
යන එන ගමන විදුලිය කෙටුවා වාගේ
ලෙව්කේ මැතිඳු ගල් අතරට කෙත වාගේ

එහෙත් සේනාධිනායක ලෙව්කේ දිසාව ගැන රජු සිටියේ ඊර්ෂ්‍යාවෙනි. එය වෛරයක් බවට පත්විය. 1803 සැප්තැම්බර් 6 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සේනාවක් සමග පහතරට ආක්‍රමණය කළේය. මෙහිදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ලෙව්කේ හා රජු විරසක විය. කුමන්ත්‍රණය කළේ ද සිංහලයෝමය. මෙහිදී රජුගේ නියමයෙන් ලෙව්කේ දිසාවගේ හිස ගසා දමන ලදී. ජනකවියකු එය දුටුවේ මෙසේය.

පුන්සඳ සේම පායාලා රට මැද්දේ
රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ
මාර සෙනඟ වටකරගෙන යම යුද්දේ
ලෙව්කේ මැතඳු අද තනියම වෙල මැද්දේ

ලෙව්කේ මැතිඳුන් ධනු ලග්නයෙන් ඉපදී ඇති අතර පුවපුටුව නැකත හිමි වේ. උපතින් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකයන් ගෙවෙන අවස්ථාවක එතුමා ඝාතනය කර ඇති බව ද පෙනේ. ජාතික වීරයන් නැවත නැවත ඉපදෙන බවද සිතිය හැකිය. ලෙව්කේ දිසාපතිතුමා හතරකෝරලයෙන් බිහිවූ නායකයකු වන අතර 1970 දශකයේ කීර්තිමත් මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය ඇම්. ඇම්. පෙරේරාගේ කේන්ද්‍රය ද ලෙව්කේ දිසාවගේ කේන්ද්‍රයට සමාන වේ.

බේබදු බවට පත්ව සිටි රාජසිංහ රජු බලයෙන් පහකරන්නට සිංහලේ නායකයන් උත්සාහ කළ අතර ඇහැලේපොළ නිලමේ ද ඉන් එක් අයෙකි. මේ බව ආරංචි වූ රජු ඔහුට තමා ඉදිරියේ පෙනී සිටින මෙන් අණ කළ ද එම අණ නොතකා හේ පලා ගියේය. මෙවිට පළිගත්තේ එතුමාගේ බිරිඳ හා දරුවන්ගෙනි. රජු විසින් ඇහැලේපොළ කුමාරිහාමි හා දරුවන් සිරගත කොට තැබූ අතර බෙහෙවින් රූමත් වූ කුමාරිහාමිට අපූරු යෝජනාවක් කළේය. මේ පණිවිඩය රැගෙන ආ අයට කුමාරිහාමි කීවේ වඩුගයෙක් සමග සැතපීමට මම වඩුග ගැහැනියක් නොවෙමි. යනුවෙනි.

මෙයින් රජු කෝපයට පත්විය. අවසානයේ රජුගේ නියමය වූයේ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමටත් දරුවන් හිස ගසා මරා දැමීමටත්ය. මෙම ඝාතන සියැසින්ම දැක ගැනීම සඳහා රජු පත්තිරිප්පුවේ සිට බලා සිටි බව කියනු ලැබේ.

මෙහිදී වැඩිමහල් පිරිමි දරුවා භීතියට පත්ව මව පිටුපසට වී සැඟවුණු අතර අවුරුදු හතක් වයස වූ මද්දුම බණ්ඩාර කුමරු ‘අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා හැටි මම පෙන්වමි’ කියමින් ගහලයාට සිය ගෙල පෑවේය. වැඩිමහල් පුතාත් මේ දෙවැනි පුතාත් හිසගසා මරා දැමූ පසුව රජු නියම කළේ කුමාරිහාමිගේ අතේ කිරි බොමින් සිටි කුඩා දරුවාගේ හිස ගසා වංගෙඩියක දමා කොටවන ලෙස ය. මවකට එසේ කළ හැකිද? එහෙත් එය ප්‍රතික්‍ෂේප කළ විට රජු කීවේ එසේ නම් ඇය සැඩොලකුට පාවා දෙන බවය. මෙහිදී වංශාභිමානය මෙන්ම ජීවිතය මෙන් රැකගෙන ආ පතිවෘතාව අගය කරන කුමාරිහාමි තම ආදරණීය පුංචි බිලිඳාගේ හිස දැමූ වංගෙඩිය මත එක වරක් පමණක් මෝල් ගහ හෙළා සිහි නැතිව බිම ඇද වැටුණා ය. ඉන් පසුව එතුමිය ද බෝගම්බර වැවේ දියේ ගිල්වා මරා දමන ලදී.

ඇහැලේපොළ කුමාරිහාමි 1780 උපන් අතර 1814 ඝාතනය කරන විට වයස අවුරුදු 34කි. ඇය ද උපන්නේ ධනු ලග්නයෙන් වන අතර ලග්නපති ගුරු එකොළහේ තැන්පත් ව තිබිණි. කුජ හතරේය. ගුරුගේ ශුභ දෘෂ්ටීන් හත්වැන්නට ලැබීම ශුභ විවාහයන් හා යහපත් චරිතයක් ඇයට උරුමකරදී තිබිණි. සඳු ලග්නයේ තිබූ අතර ලග්න හා ජන්ම ඒරාෂ්ට අපල දෙකක් එකවර යෙදී තිබූ බරපතළ සෙනසුරු අපල කාලයක ඇයට පවුලත් ජීවිතයත් අහිමි වූ බව පෙනෙන්නේ ජ්‍යොතිෂයේ නිවරැදි බව හා අගය තව තවත් පසක් කරමිනි.

එමෙන්ම වීර මද්දුම බණ්ඩාර කුමරුන් උපදින්නේ ඇයට වයස 26ක් වූ 1806 දීය. කුමරු උපන් ලග්නය සිංහ වූ අතර ලග්නයෙහි රවි, බුධ හා කුජ සමග හත්වැන්නේ ද සඳු දෙවැන්නේ හා ගුරු පහේ සිටියේය. රවි – කුජ – බුධ කුමරුන්ගේ වීරත්වය සංකේතවත් කරයි.

ඇහැලේපොළ කුමාරිහාමි ජාතියට දායාද කරන්නේ වීරත්වය පමණක් නොවේ. චරිතය හෙවත් පතිවෘතාව ආරක්‍ෂා කර ගැනීමට ක්‍රියා නොකර බේබදු රජුගේ ආශාවන් මුදුන්පත් කළා නම් ඇයටත් දරුවන්ටත් ජීවිත දානය ලැබෙන්නට ඉඩ තිබිණි. එහෙත් පවුලේ අභිමානය හා පතිවෘතාව ඇය ජීවිතයට වඩා අගය කළ බැවින් අදත් ඇය හා මද්දුම බණ්ඩාර කුමරුන් ජාතියේ වීරවරයින් බවට පත්ව සිටිති. මේ අනුව අප ද විශේෂයෙන් අපගේ කාන්තා පක්‍ෂය ද දරුවන් ද මේ ශ්‍රේෂ්ඨ මව හා දරුවා ආදර්ශයට ගත යුතුය. යටත්විජිත වාදීන් අප රට යටත් කරගත්තේ මෙවැනි අමන බේබදු රජකු පාලනය යටතේ ජාතික නායකයන් භේද භින්න වී විරසකව සිටින යුගයකය. මේ අනුව ඇහැලේපොළ නිලමේගේ පවුල ඝාතනය කළ ආකාරය ගැන ආරංචි වූ ඔහුගේ පූර්ණ අනුග්‍රහය ලබන ඉංග්‍රීසි හමුදා 1815 දී උඩරට යටත් කර රට තුළ හිරු නොබසින අධිරාජ්‍යයේ ආධිපත්‍යය පතුරුවන ලදී.

එහෙත් ඉංග්‍රීසීන් රට පාලනය කළේ අපේ නායකයන් බලාපොරොත්තු වූ ආකාරයට නොවේ. මෙහි ප්‍රතිඵලය වූයේ රට තුළ ඉංග්‍රීසි විරෝධී කැරලි ඇතිවීමයි. 1818 ඇති වූ කැරැල්ල එවැන්නකි. මෙම සටනේදී ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු නමක් වන්නේ මොනරවිල කැප්පෙටිපොළ යන නමයි. ඌව වෙල්ලස්ස දිසාව වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේ වර්ෂ 1766 උපන්නේ කුජ හිමි වෘශ්චික ලග්නයෙනි. ලග්නාධීපති කුජ හතරේත් ගුරු දහයේත් සිටි එතුමා සටනට නායකත්වය දුන් වරදට 1818.11.26 දින හිස ගසා මරා දමන ලදී. එවිට එතුමාගේ වයස අවුරුදු 52කි.

අරගල එතැනින් නිම වූයේ නැත. ජය ගත්තේ ද නැත. සිංහලේ වෙනුවෙන් කරන ලද තවත් කැරැල්ලකට නායකත්වය දුන් තරුණයෙක් නැවත කරළියට එන්නේය. ඒ පුරන්අප්පු වීරයා ය. බොහෝ වීරයන් මෙන්ම 1812 දී ඔහු ද ඉපදෙන්නේ කුජ හිමි වෘශ්චික ලග්නයෙනි. කුජ හා සිකුරු එකොළහේත් බුධ ලග්නයේත් ගුරු උච්චව නවයේත් තැන්පත්ව සිටිය දී උපදින පුරන් අප්පු වීරයා මෙහෙයවන කැරැල්ල ද නිම වන්නේ ඔහුගේ ජීවිතය පූජා කිරීමට සිදුවීමෙනි. භද්‍ර යෞවන වයසේ සටන් කරන පුරන්අප්පු වීරයා තම 35 වැනි වියේදී ජීවිතය මාතෘ භූමියට පූජා කරමින් අවසන් හුස්ම හෙළන්නේය.

එදා සිට 1948 දක්වාම බි්‍රතාන්‍ය ජාතිකයන් සමග අරගල කළ වීරයන් සංඛ්‍යාව සුළුපටු නොවේ. ඒ සියලු දෙනා ගැනම ලිවීමට තරම් මේ ලිපිය දිගු කිරීම අපේ අපේක්‍ෂාව නොවේ.

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment