ජාතික ශූරතා කනිෂ්ඨ මලල  ක්‍රීඩා තරගාවලියේ ඉතිරි කොටස ජුනි මස දෙවැනි සතියේදී

138

රට තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන්නට යෙදුණු ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන ජූනි මස පැවැත්වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සංවිධානය කර ඇති මෙවර තරගාවලිය ජුනි මස 07, 08, 09 සහ 10 යන දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කර සිටී.

ඉකුත් මැයි මස 09 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු මෙවර තරගාවලියේ මුල් දිනට නියමිත තරග ඉසව්ව අතරින් 12 ක් අවසන් කිරීමට සංවිධායකයන්ට හැකි විය. පළමු දිනයේ ඉතිරි වූ සහ ඉදිරි සියලුම තරග ඉසව් උද්ගත වූ හදිසි තත්ත්වය හේතුවෙන් කල් දමන්නට එදින දහවල් පියවර ගත්තේය.

ඒ අනුව ඉතිරි වූ සියලු තරග ඉසව් ජූනි මස පැවැත්වීමට දැන් පියවර ගෙන තිබේ. සුපුරුදු පරිදි මෙවර ජාතික කනිෂ්ඨ තරගාවලිය යටතේ අවුරුදු 23 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) මෙන්ම අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ තරග ඉසව් ක්‍රියාත්මක කෙරේ.

මෙවර තරගාවලියේ ආරම්භක දිනය වන ජූනි 07 දින අවසන් තරග ඉසව් 10 ක් ද දෙවන දිනය වන ජුනි 08 දින අවසන් තරග ඉසව් 47 ක් ද තෙවන දිනය වන ජූනි 09 දින අවසන් තරග ඉසව් 18 ක් ද අවසන් දිනය වන ජූනි 10 දින අවසන් තරග ඉසව් 33 ක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment