ජාතික ශූරතා කනිෂ්ඨ  මළල ක්‍රීඩා තරගාවලිය  හෙට සිට ඇරැඹේ  – යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500ක්

284

මැයි මස 09 දින රට තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන්නට යෙදුණු ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙට (07) පෙ.ව. 09.00 ට ආරම්භ කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සංවිධානය කර ඇති මෙවර තරගාවලිය මෙම මස 07, 08, 09 සහ 10 යන දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒ සඳහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 ක් පමණ සහභාගි වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කර සිටී.

ඉකුත් මැයි මස 09 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු මෙවර තරගාවලියේ මුල් දිනට නියමිත තරග ඉසව් අතරින් තරග ඉසව් කිහිපයක් අවසන් කර ගැනීමට සංවිධායකයන්ට හැකි විය. පළමු දිනයේ ඉතිරී වූ සහ ඉදිරි සියලුම තරග ඉසව් උද්ගත වූ හදිසි තත්ත්වය හේතුවෙන් කල් දමන්නට එදින දහවල් පියවර ගත් අතර එම තරග හෙට (07 දා) සිට පැවැත්වේ.

සුපුරුදු පරිදි මෙවර ජාතික කනිෂ්ඨ තරගාවලිය යටතේ අවුරුදු 23 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) මෙන්ම අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ තරග ඉසව් ක්‍රියාත්මක කෙරේ.

මෙවර තරගාවලියේ ආරම්භක දිනය වන ජූනි 07 දින අවසන් තරග ඉසව් 11 ක් ද දෙවන දිනය වන ජූනි 08 දින අවසන් තරග ඉසව් 49 ක් ද තෙවන දිනය වන ජූනි 09 දින අවසන් තරග ඉසව් 18 ක් ද අවසන් දිනය වන ජූනි 10 දින අවසන් තරග ඉසව් 33 ක් ද පැවැත් වීමට සැළසුම් කර තිබේ.

හෙට (07) දින පැවැත්වීමට යෝජිත අවසන් තරග ඉසව් පහත දැක්වේ

අවුරුදු 23 න් පහළ පිරිමි

මීටර් 3000 බාධක දිවීම

අවුරුදු 23 න් පහළ කාන්තා

මීටර් 3000 බාධක දිවීම

අවුරුදු 20 න් පහළ පිරිමි

මීටර් 3000 බාධක දිවීම

අවුරුදු 20 න් පහළ කාන්තා

මීටර් 3000 බාධක දිවීම

අවුරුදු 18 න් පහළ බාලක

රිටි පැනීම, යගුලිය දැමීම සහ මීටර් 2000 බාධක දිවීම

අවුරුදු 18 න් පහළ බාලිකා

උස පැනීම සහ මීටර් 2000 බාධක දිවීම

අවුරුදු 16 න් පහළ කාන්තා

හෙල්ල විසි කිරීම සහ දුර පැනීම

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment