ජාතික සත්වෝද්‍යානයට කන්න නැද්ද?

297

නෑ ඒ කතාව බොරුවක්! – අධ්‍යක්ෂ ජනරාල් කියයි…

දෙහිවල ජාතික සත්වෝද්‍යානය සුවිශේෂී විදේශීය හා දේශීය සත්ත්ව විශේෂ එකතුවක් ඇති ආසියාවේ ඇති පැරණිතම සත්වෝද්‍යානයකි. වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් මිලියන එකහමාරකට වැඩි පිරිසක් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන අතර පාසල් සහ විශ්වවිද්‍යාලවල සිසුන් කණ්ඩායම් අධ්‍යන කටයුතු සඳහා සත්වෝද්‍යානයට පැමිණේ.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සඳහා දෛනික ආහාර සැපයීමේ ගැටලුවක් මතුව තිබේ. බලශක්ති අර්බුදය හා දෙස් විදෙස් සංචාරකයන්ගේ අඩුවීම සහ භාණ්ඩ පිරිවැය ඉහළ යෑම යන ගැටලුව පිළිබඳ සත්වෝද්‍යානයේ වර්තමාන අධ්‍යක්‍ෂ තිලක් ප්‍රේමකාන්ත මහතාගෙන් මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ අප කළ විමසීමකදී ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

ඇත්තටම ආහාර අර්බුදයක් නැහැ. අපි ආහාර ගන්නේ ටෙන්ඩර් කරුවන්ගෙන්. ඔවුන් අපිට ආහාර නියමිත විදියට සපයනවා. ඒ නිසා ආහාර අර්බුදයක් නැහැ. මේ වෙනකොට වර්තමානයේ රටේම ආහාර අර්බුදයක් තියනවා. මේක සත්තුන්ටත් බලපාලා තියනවා. දැනිලත් තියනවා. අපිට නම් ටෙන්ඩර් කරුවන් බැඳිලා ඉන්නවා නියමිත වෙලාවට ආහාර සපයන්න. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ආහාර අර්බුදයක් එයි කියලා ලෑස්ති වෙනවා. ඒ වගේම ඊළඟට ටෙන්ඩර් එක දෙන කොට අපි දන්නවා කලින් මිලට දෙන්න බෑ කියලා. ඒක සාධාරණයිනේ.

ජාතික සත්වෝද්‍යානයට කන්න නැද්ද?

ගෝනපොළ තියනවා අපේම ෆාම් එකක්. ඒ ෆාම් එකේ සතුන්ට අවශ්‍යය ආහාර එය තුළම නිපදවීම තමයි අපේ පරමාර්ථය. තණකොළ වවලා තියනවා. වැඩි දියුණු කළ ප්‍රබේද ඒවා වැඩියෙන් වවන්න කංකුන් මුකුණුවැන්න වවලා තියනවා. උක් එතකොට සතුන්ට ඕන පළතුරු වර්ග දැනටමත් අපි වගා කරලා තියනවා. එහි ප්‍රමාණය වැඩි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. උදාහරණයක් වශයෙන් බණ්ඩක්කා මෑ කරල් කෙසෙල් වගාව, අඹ වගාව වැනි වගාවන් තියෙනවා. ඒවා පිටින් ගන්න ප්‍රමාණය අඩු කරන්නටයි අපේ අදහස. අපේ තියෙනවා රිදීගම සෆාරි උද්‍යානයක් ඒකේ ෆාම් එකක් තිබුණේ නෑ. එකෙත් අපි අක්කර 20 ක ෆාම් එකක් හදන්න මේ දවස්වල කටයුතු කරනවා. කෙසෙල්, පැණිකොමඩු, පැපොල් ඒ වගේ ඒවා වවන්න හදන්නේ.

අපිට මේ අස්වැන්න මාස තුනකින් වගේ ගන්න පුළුවන් හැබැයි අඹ වගේ ඒවා බැහැ. නමුත් තණකොළ වැනි දේවල් මාස තුනකින් ගන්න පුළුවන්. එළවළු මාසයකින් මාස දෙකහමාරෙන් ගන්න පුළුවන්. ඒ වගේම කොස්, පොල්, කිතුල්, වැනි දේද වගා කරලා තියෙන්නේ ඒවාගේ අස්වැන්න අපිට අවුරුදු 3-4 කින් ගන්න පුළුවන් වෙන්නේ.

අපිට රජයෙන් තමයි මේ සත්ත්ව උද්‍යානයේ ප්‍රතිපාදන දෙන්නේ අපි ගත්තොත් තණකොළ වවන්න අවශ්‍ය යෙදවුම් තියනවනේ. උදාහරණයක් විදියට ට්‍රැක්ටර් ගත්තොත් ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන ගන්න එක. එළවළුවලට නම් පොහොර ගන්න එක රජය ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා.

සතුන්ට අවශ්‍ය වෙන බෙහෙත් ගැන සලකා බලනවිට අපි දැනට අවුරුද්දකට ප්‍රමාණවත් බෙහෙත් වර්ග රැස් කරගෙන තියෙනවා. ඉදිරියේදී වැඩිවන ඖෂධ මිල ගණන් නිසා ඒවාට නිසි පිළියම් යොදන්න බලාපොරොත්තු වෙනවා.

අනාගතයේදී ඇතිවිය හැකි ආර්ථික අර්බුදයට මුහුණ දීමට කැපකරු මාපිය ක්‍රමය කියලා එකක් හදලා අපි ළඟදීම එළියට දානවා. එතකොට කැමැති අයට පුළුවන් තමන් කැමති සතෙක්ව භාර අරන් එයා වෙනුවෙන් වියදම් කරන්න. සතියකට, දවසකට, මාසෙකට වගේ වියදම ඒ අයට දරන්න පුළුවන්. මේක අපි වෙබ් එකේ දානවා එතකොට කැමති කෙනෙක්ට පුළුවන් සතුන්ට දවසක් හෝ සතියක්, මාසයක් ඒ සතාගේ කෑම වියදම දරන්න. නැතිනම් ඩොනේෂන් දෙන්නත් පුළුවන්. කම්පැණිවලටත් භාර දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේ ඩොනේෂනුත් භාර දෙනවා.

ජාතික සත්වෝද්‍යානයට කන්න නැද්ද?

සත්ත්ව උද්‍යාන සුභ සාධක අරමුදල කියලා එකක් තියෙනවා. ඒකට පිටරටවල ෆොරිනස්ලාගේ ආධාර වගේම ලංකාවේ මිනිසුන්ගේද ආධාර හම්බ වෙනවා.

තවද පැවසිය යුතුයි. සතුන් රක්‍ෂිතවලට දාන එක මේ හේතුව නිසා නෙමෙයි දාන්නේ. සත්තු උද්ද්‍යානවලින් සතුන් බිහි වෙනවනේ එතකොට ඒක අලුතින් දෙයක් නෙමෙයි. හැබැයි කැලෑවලට මුදාහැරියොත් මේ සතුන් කැලෑවලට හුරු නැති නිසා කැලේ ඉන්න සතුන් ඒ සතුන්ට හානි කරනවා. ඒක නිසා ඒ සතුන් දාන්න සුදුසු බඩගමුව වැනි රක්‍ෂිතවලට තමයි මුදා හරින්නේ. එහෙම දාන්නේ සත්තු දෙන්නයි තුන් දෙනයි. එහෙම දාන්නෙත් ලංකාවේ ඉතුරුවෙලා ඉන්න මුවෝ, පිනි මුවෝ ඇරෙන්න වෙන අය දාන්නේ නෑ.

අපේ සත්ත්වෝද්‍යාන පනත 1982 හදලා තියෙන්නේ අද තියන තත්ත්වයට ඒක ගැළපෙන්නේ නැහැ. ඒ පනත සංශෝධනය කිරීමට සැලසුම් කරගෙන යනවා. මේ දවස්වල ඊට අමතරව මාස්ටර් පැලෑන් එකක් නැහැ. සත්ත්ව උද්‍යානයට මැයි මාසේ ඒකත් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා.

දෙහිවල සත්ත්ව උද්‍යානය 1936 දී ආරම්භ කරන ලද්දකි. මෙහි 40 පැරණි සත්ත්ව උද්‍යාන පනත වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කළ යුතුය. එම පනතේ අන්තර්ගතය වන්නේ විනෝදාස්වාදය පිණිස පමණයි සත්ත්ව උද්‍යානය භාවිතා කළ යුත්තේ යන්නයි. නමුත් එය එසේ නොවිය යුතුයි. සත්ත්ව උද්‍යාන සංකල්පයට අනුව සංරක්‍ෂණය, පර්යේෂණය, අධ්‍යාපනය යන කරුණුත් එම පනතට අඩංගු විය යුතුය. එම පනත ආරම්භ කළේ 1982 අංක 41 දරන ජාතික සත්ත්ව උද්‍යාන පනත හැටියටයි.

රජය මැදිහත් වී මෙම උද්‍යානය රැකගැනීම සඳහා විදිමත් අවදානය යොමු කළ යුතුව ඇත. එසේ නොවුන හොත් අප රටට ඩොලර් එන එක් ප්‍රධාන ප්‍රවාහකයක් අවහිර වනු ඇත. එම නිසා නිසි බලධාරීන්ගේ මේ කෙරෙහි අවදානය යොමු විය යුතුම මොහොතකි.

සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment