ජාතිය ඇමතීම ; දුමින්ද බැසිල්

275

මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව දෙනු ලැබීම පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වේ. දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන පක්ෂව මෙන්ම විපක්ෂව අදහස් දක්වන්නෝ බොහෝය. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ ජුනි 24 නිදහස් කෙරිණි. දුමින්ද ඇතුළු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද වෙති. කොටි සිරකරුවන් නිදහස් කිරීම අගය කරන කොළඹ ඇමෙරිකානු තානාපතිනිය දුමින්ද නිදහස් කිරීම හෙළා දකී. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වූ රැුඳවියන් නිදහස් කිරීමට ගත් පියවර පිළිගන්නා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු

කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍ය අනතුරේ හෙලීමක් බව ඇලයිනා ටෙප්ලිට්ස් පවසයි. සිරකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් පවසන්නේ වගවීම සහ යුක්තිය වෙත පිවිසීමට ඇති සමාන ප‍්‍රවේශයන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව කැප වී ඇති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් අතර ප‍්‍රධාන වන බවය. ජනපතිගේ තීන්දු ඇමෙරිකානු තානාපතිනිය ප‍්‍රශ්න කරන්නේ කුමන පදනමකින්ද යන්න අපට පැහැදිලි නැත. කොල්ලූපිටියේ තානාපති කාර්යාලවලට අවශ්‍ය ලෙස රට පාලනය කරන්න නොහැකිය. මේ අතර ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ප‍්‍රකාශ කරන්නේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම ඊට අදාළ නඩු අදාළ තීන්දුව ලබා දුන් විනිසුරුවරුන්ගේ වාර්තාවට, නීතිපතිවරයාගේ මතය අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව සිදුව ඇත්දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවය. 2011 ඔක්තෝබර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡුන්දය පැවති දිනයේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබිණි. කෙසේ නමුත් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වූයේ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සහ විනිසුරුවරියක් අතර සිදු විනැයි පැවසෙන දුරකථන සංවාදයක් මුල් කර ගනිමිනි. නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගිය වසරේ ජනවාරියේදී අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් ඉහත කී විනිසුරුවරිය ඇතුළු විනිසුරු මඬුල්ලක් විසින් ලබා දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසය.

ජනපතිතුමා විනාඩි 69ක් තිස්සේ සිදු කරනු ලැබූ ජාතිය ඇමතීමේ කතාවේදී නම් දුමින්ද පිළිබඳ සඳහනක් කළේ නැත. සමහරු ඒ ගැන බලාපොරොත්තුව සිටිය බව පෙනී යයි. හිරෙන් පිටව ගිය දුමින්ද ගැන කතා කිරීමෙන් පලක් නැත. එය පොහොට්ටුවේ දේශපාලන උපක‍්‍රමයකි. එය වාසියක් වෙයිද පාරාවලල්ලක් වෙයිද යන්න ඉදිරියේදී දැනගත හැකිවනු ඇත. කොරෝනා වසංගතය බැ?රුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පවසා සිටියේය. ජනතාව තමා ජනාධිපති තනතුරට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතුව බව කී රාජපක්ෂ මහතා මොන තරම් බරපතළ ප‍්‍රශ්න මැද්දේ වුවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමා බැඳී සිටින බවද අවධාරණය කළේය. ඇත්තෙන්ම ජනපති බලයට පත්වී මාස කිහිපයක් ගතවන විටම රට පමණක් නොව ලෝකයම වසංගත අඳුරට බිලිවීම බරපතළ ඛේදයකි. එනිසාම සියලූ කටයුතු අතහැර වසංගතය මැ`ඞීමට කටයුතු කරන්නට ජනපතිවරයාට සිදු විය. රටේ ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ සැලසුම් ගෝලීය කොරෝනා වසංගතය නිසා ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වාතාවරණයක් ඇති වූ බවත් ජනපතිවරයා සිය ප‍්‍රකාශයේ සඳහන් කර සිටියේය. එය සැබවින්ම ඇත්තකි. ජනතා පැතුම් කොරෝනාවෙන් දියවී ගියේය. එය අවාසනාවකි.

ආණ්ඩුවේ ජනප‍්‍රියතාවයටද වසංගත අඳුර කළු වලාවක් විය. නමුත් ජනපතිවරයා හැකි උපරිමයෙන් රට වෙනුවෙන් කටයුතු කරන බව බහුතර ජනයා හොඳින්ම දනී. ජනපති සිය කතාවේ එක වැදගත් අදහසක් ප‍්‍රකාශ කළේය. සමහරුන් තමන්ගේ පෞද්ගලික ඉල්ලීම් ඉටු නොවුණා කියා රජය සමග අමනාප වී රජය අසාර්ථක යැයි මතයක් ජනගත කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇති බවත් තමාට අවශ්‍ය වන්නේ කීපදෙනකු සතුටු කිරීම සඳහා ප‍්‍රතිපත්ති වෙනස් කිරීම නොවන බවත් අවධාරණය කර සිටියේය. සමහර ගිහි පැවිදි පිරිස් හිතේ අමාරුවට ආණ්ඩු විරෝධයක් මවන බව රහසක් නොවේ. ඒ පිරිසට ජනපතිවරයා උත්තර දී ඇත. පන්සල් ගානේ ගොස් එක් එක් අයගේ හිතේ අමාරු දුරු කිරීමට රටේ නායකයාට වෙලාවක් නැත. ‘‘අද සත්‍ය යටපත් වී බොරුව ජය ගනිමින් තිබෙන” බව එතුමා පැවසුවේ මේ නිසාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ ප‍්‍රකාශය අර්බුදකාරී සමයක කළ හැකි උපරිමයෙන් ප‍්‍රශස්ත බවත් රාජ්‍ය තාන්ත‍්‍රික වර්ණ සියල්ල එහි අඩංගු බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය මුහුණු පොතේ සඳහන් කර තිබිණි.

මැයි 12 වැනිදා ඇමෙරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා යළි ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු ලබන 08 වැනිදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ ප‍්‍රතිපත්ති සම්පාදන, මුදල් හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි. මීට පෙර ජුලි 06 වැනිදා දිවුරුම් දෙන බවට මීට පෙර වාර්තා වූ නමුත් ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන් වීමට නියමිතව තිබෙන්නේද 06 වැනිදායි. 2010 – 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ද ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරුවේ බැසිල් රාජපක්ෂ මහතා විසින් වන අතර දැනටත් එම අමාත්‍ය ධුරයට අදාළ වගකීම දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා හරහා දරන්නේ ඒ මහතාය. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය මන්ත‍්‍රී ධුරය පරිත්‍යාග කිරීමට රංජිත් බණ්ඩාර මහතාට අමතරව තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුම ඉදිරිපත්ව සිටින බවද පසුගිය දිනවලදී වාර්තා වී තිබිණි.

බැසිල් ආගමනය දේශපාලන කරලියේ වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇත. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටී ඇති ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා ප‍්‍රකාශ කර තිබිණි. මේ දක්වා ආණ්ඩුවට පිටතින් සිටිමින් බැසිල් රාජපක්ෂ මහතා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදුන් බවත්, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම හරහා ඊට වැඩි සහයෝගයක් ලබාදිය හැකි බවද ඇමැතිවරයා කියයි. බැසිලාගමනය ගැන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නම් බෙහෙවින් සතුටුවනු ඇත. මන්ද පොඩි එකාගේ ලියුම් ලියා විශාල අපහසුවකට පත්වූයේද එතුමාය. එම ලියුම පිටුපස සිටින්නේ කවුරුද යන්න රටම හොඳින් දනී. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු මේ ජාතිකවාදී පිරිස බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන දරන්නේ කවර මතයක්ද යන්න පැහැදිලි නැත. ඉන්දියානු ආණ්ඩුවේ නොඑසේනම් භාරතීය ජනතා පක්ෂ රජයේ ප‍්‍රධාන දේශපාලන තීරකයා වන්නේ අමිත් ශා ඇමැතිවරයාය. ඔහු දෙවැනි වන්නේ අගමැති මෝදිට පමණි. නූතන කෞටිල්‍ය ඔහුය. එසේම නූතන ලංකා දේශපාලනයේ කෞටිල්‍ය අන් කවරෙක්වත් නොව බැසිල් රාජපක්ෂ බව අවිවාදිතය. එය පක්ෂ විපක්ෂ සියලූ දෙනාම පිළිගන්නා කරුණකි. බැසිල් රාජපක්ෂ යනු ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂ දේශපාලකයෙකු යයි ඇමැති මංගල සමරවීර මහතා පවසා තිබුණේ මීට වසර කිහිපයකට පෙරය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව 2016 නොවැම්බරයේ පැවැත්වුණු අතර එයට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා ‘‘අපේ අතින්, අපේ ආණ්ඩුවෙන් වැරදි වෙච්ච හන්ද තමයි අපිව පරාජය කරන්න ජනතාව තීන්දු කළේ. අපි ඒ ජනතාවගේ තීන්දුවට හිස නමනවා. ඒ වැරදි නිවැරදි කරගෙන අපි ගමන් කරන්න යන ගමනක්.” යනුවෙන් පවසා සිටියේය.

චතුර පමුණුව

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment