ජාතීන් අතර සාමය සමගිය ඇති කිරීමට ගම් මට්ටමින් සංහිඳියා කමිටු පිහිටුවනවා- අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

74

ජංගම සේවා තුළින් උතුරේ ලේඛන ගැටලු සියයට 90 ක් විසඳුවා

විකාශන නියාමන කොමිසම පිළිබඳ අවසන් තීරණයක් නෑ නමුත් යෝජනා මාලාවක් සකස් කළා

ගමෙහි සාමය සමගිය ආරක්ෂා කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් සංහිඳියා කමිටු පිහිටුවීම ආරම්භ කර තිබෙනවා යැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා අතුරුදන් වූ පුද්ගලයන් සඳහා වූ කාර්යාලය 2016 ආරම්භ කළා. එම කාර්යාලය විසින් කරනු ලබන විමර්ශන අනුව යුද්ධය හේතුවෙන් මියගිය හා අතුරුදන් වූ තැනැත්තන් වෙනුවෙන් සහතික නිකුත් කරනවා. හානියට පත් දේපළ වෙනුවෙන් හානි පූර්ණ කාර්යාලය ආරම්භ කළා. ජාතීන් අතර සමගිය සංහිඳියාව වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය ආරම්භ කළා. එම කාර්යාලය යටතේ ගමෙහි සාමය සමගිය ආරක්ෂා කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් සංහිඳියා කමිටු පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. ගම් මට්ටමින් පිහිටුවනු ලබන එම සංහිඳියා කමිටු මගින් ගමේ සාමය සමගිය ඇති කරමින් ජාතීන් අතර සංහිඳියාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. එම කමිටුවල කටයුතු අධික්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. උතුරු පළාතේ ජනතාවට ලේඛන සම්බන්ධව පවතින නීතිමය ගැටලු විසඳීම සඳහා එම පළාත තුළ ජංගම සේවාවන් හතරක් අපි පසුගිය කාලය තුළ පැවැත්වූවා. ඒ තුළින් එම පළාතේ ජනතාවට පවතින ගැටලුවලින් සියයට අනූවක් සඳහා විසඳුම් ලබා දුන්නා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලයෙන් පසුව වසර 35 කට පසුව අපි පසුගිය සතියේ නැගෙනහිර පළාතේ ජනතාව සඳහා විශේෂ ජංගම සේවයක් පැවැත්වුවා. ඒ තුළින් දහසකට පමණ ආසන්න ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දුන්නා. ඇතැම් පුද්ගලයන් සඳහා වසර ගණන් පැවති ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දුන්නා.

2016 වසරේ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ කාර්යාලය ආරම්භ කරනු ලැබූවත් එහි ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වීමට හැකි වුණේ නෑ. ඒ නිසා එහි කටයුතු විධිමත් ලෙස කාර්යක්ෂම කර තිබෙනවා. මේ වනවිට එම කාර්යාලය සඳහා අතුරුදන් වූ බවට වන පැමිණිලි 21374 ක් ලැබී තිබෙනවා. ඉන් පැමිණිලි 6386 ක් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිළිබඳව වන අතර සෙසු පැමිණිලි 14988 ක් ලැබී තිබෙනවා. 2020 වසරේ පැමිණිලි 184 ක්, 2021 වසරේ පැමිණිලි 95ක්, 2022 පැමිණිලි 2110 ක් හා 2023 වසරේ මේ වනවිට පැමිණිලි 781 සම්බන්ධව විමර්ශන සිදු කළා. ඒ අනුව මේ වනවිට පැමිණිලි 3170 ක් පිළිබඳව විමර්ශන අවසන් කර තිබෙනවා. විකාශන නියාමන කොමිසමක් පිහිටුවීම සඳහා රජය විසින් සකස් කිරීමට නියමිත විකාශන නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය. විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැහැ. එම කොමිසම පිහිටුවීම සම්බන්ධ මූලික කටයුතු සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. දැනට ලබා දී ඇති ගුවන් විදුලි නාලිකා සම්බන්ධ බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේයි. රූපවාහිනී බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතෙහි ප්‍රතිපාදන අනුවයි. ඒ නිසා මේ බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබෙනවා. එහි සභාපති ලෙස මමත්, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරනවා.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා. මේ යෝජනා සම්බන්ධ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකියි. එළඹෙන 07 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ පිළිබඳව විශේෂ සංකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙනවා. මේ සකස් කර තිබෙන්නේ කෙටුම්පතක් නොවෙයි යෝජනා මාලාවක් පමණයි. මේ සම්බන්ධව යෝජනා ලබාදීමේ හැකියාව මාධ්‍ය ආයතනවලට තිබෙනවා.

අතුරුදහන් වු පුද්ගලයින් පිළිබදව වූ කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද, එහි විධායක අධ්‍යක්ෂ ජෙගනාදන් තත්පරන් යන මහත්වරුන් මෙහිදී අදහස් දැක් වූ අතර අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාව සඳහා එක් විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment