ජාවාරම්කරුවන්ට හසුවී අපා දුක් විඳින අපේ අම්මා ගෙනත් දෙන්න – දරුවෝ හඬා වැළපෙති

878

මිනිස් ජාවාරමකට හසුව සෞදි අරාබියාවේ නිවසක වධ බන්ධනයන්ට ලක් වෙමින් දුක්විඳින තිස් හැවිරිදි දෙදරු මවක මෙරටට ගෙන්වා දෙන ලෙස ඇගේ සැමියා වන වත්තේගෙදර ශිරන්ත මධුශංක තිලකරත්න යන අය ඉල්ලා සිටී.

ඔහු පවසන්නේ මේ පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට හා ඇය ගෘහ සේවයට යැවූ ගම්පොල නගරයේ පිහිටි රැකියා ඒජන්සියෙන් ඉල්ලා සිටි බවයි.

ගම්පොල උඩපලාත අගුරුමුල්ල පහල වත්තහේන ලිපිනයේ පදිංචි අමු හේනේගෙදර සචිනි මධුෂානි ගුණසේකර නමැති කාන්තාව ගෘහ සේවිකාවක ලෙස මෙසේ සෞදි රටට යැවූ බව පවසන ඇගේ සැමියා මේ වන විට එම රටේ නිවසක සිර කරගෙන සිටිමින් ඇයට පහර දී කාලවේලාවක් නොමැතිව ඇගෙන් සේවය ලබා ගන්නා බව පවසයි.

ඇයගේ ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් හා පහර දීම් තුවාල සහිත ඡායාරූපයද පෙන්වමින් ඔහු පවසන්නේ මෙම පහරදීම් නිසා ඇගේ රහස් ප්‍රදේශයෙන් නොනවත්වා රුධිරය පිටවීම සිදු වන බව ද ඇය දන්වා ඇති බවයි.

නිතරම හිස ප්‍රදේශයට පහර දීමෙන් ඇය බරපතළ රෝගී තත්ත්වයට පත්ව ඇති බවත් ආහාර පවා නොදෙන බවත් එම නිවසේ ආහාර ගෙන ඉතිරිවූ ආහාර ස්වල්පයක් ඉඳහිට දෙන බව ඇය පවසා ඇති බවද කියයි.

ඒජන්සිය හරහා ඇය විදේශගත කිරීමේ දී මොවුන්ට රුපියල් ලක්ෂ හතරක් දෙන බව ප්‍රකාශ කර තිබුණ ද ගමන් බලපත්‍රය සෑදීමට රුපියල් අසූ දහසක් ගොස් ඇති බව පවසා ඉතිරි මුදල් නොදුන් බවත් තිලකරත්න පවසන අතර අවසානයේ බිරිඳ රට යවා රුපියල් දහතුන් දහසක් ද දෙන බව පැවසුවද එය ද ලබා ගැනීමට වාර දහයකට වඩා ගියද එම මුදලද නුදුන් බව ඔහු පවසයි.

මොවුන්ට වයස අවුරුදු 3ට අඩු දරුවකු හා එකොළොස් හැවිරිදි පාසල් දරුවකු සිටින අතර මොවුන් බලාගැනීමට තිලකරත්නට නිවසේ සිටීමට සිදුවීමෙන් මෙම දරුවන්ගේ ආහාර වේල පවා සොයාගැනීමට නොහැකි බව තිලකරත්න පවසයි.

ලෑලි හා ඉටිරෙදි යොදාගෙන ඉදිකර ඇති කුඩා නිවස සාදා ගැනීමට බිරිඳ රට ගිය බවද ඔහු කියයි.

විදේශගතව සිට පැමිණි ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ සංගීතා නමැති කාන්තාවක් සචිනි යන අයගේ තොරතුරු තිලකරත්නට ලබාදී ඇති අතර මෙම සංගීතා යන කාන්තාව ද රෝගී වී සෞදි රටේ දුක් විඳිමින් සිටියදී සාමදාන නමැති ප්‍රජා සංවිධානයක් මුල් වී ඇය මෙරටට ගෙන්වා ගත් බවද ඇය පවසයි.

මෙම ප්‍රජා සංවිධානයේ සරත් දුල්වල හා ආනන්ද විජේසුන්දර යන මහත්වරු සෞදි රටේ සිරවී සිටින මෙම සචිනි මධුෂානි ගුණසේකර යන කාන්තාවගේ තොරතුරු සොයා එම ඡායාරූප ද මාධ්‍යයට ලබාදීමට කටයුතු කළ අතර මොවුන් පවසන්නේ මෙරට ජාවාරම්කාර

රැකියා ඒජන්සි කීපයක් එක් වී මිනිස් ජාවාරම්වල යෙදී ඔවුන් මෙරට කාන්තාවන්ගෙන් මුදල් උපයන බවයි.

බිරිඳ රට යැවූ ඒජන්සියට තිලකරත්න ගිය පසු ඇය නැවත ගෙන්වා දීමට නම් රුපියල් ලක්ෂ 8 ක මුදලක් හා ටිකට් පත සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලෙස රුපියල් ලක්ෂ නමයක මුදලක් ඉල්ලන බවත් රෝගී තත්ත්වය හා පහර දීම් ඔවුන්ට අදාළ නොමැති බවත් පැවසූ බවත් සඳහන් කරයි.

මේ පිළිබඳව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට පවසා ඇති බවද තිලකරත්න කියා සිටී.
ගම්පොළ – සුරංග දිල්හාන්

සැමියා සහ දරු දෙදෙනා

advertistmentadvertistment
advertistmentadvertistment