ජා. සේ. ස. ඛනිජ තෙල් කැඳවුම්කරු ආනන්ද පාලිතට ඇප

530

රට තුළ ඉන්ධන තොග හිඟයක් ඇති බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළැයි චෝදනා නඟමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (22 දා) නියෝග කළාය.

පෙරේදා(21දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රටේ ජන ජීවිතය කැළඹීමට පත්කරන එවැනි ආන්දෝලනාත්මක ප‍්‍රකාශ තවදුරටත් සිදුකිරීමට ඉඩ ඇති බැවින් ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1) අනු ව්‍යවස්ථාවට අනුව රටේ ජනතාවට භාෂණයේ නිදහස ඇති බවත්, සත්‍ය තොරතුරු පදනම්ව එකී භාෂණයේ නිදහස භාවිතා කිරීම ඇප ලබාදිය නොහැකි වරදක් නොවන බවත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා එම ප‍්‍රාකශය කිරීමට පෙර ඛනිජ තෙල් විෂය බාර අමාත්‍යවරයාද මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශයක් කරමින් ඉන්ධන හිඟයක් ඇති විය හැකි බැවින් ඒවා වඩා සැලකිලිමත්ව භාවිතා කරන ලෙසට ප‍්‍රකාශ කර ඇති බවත් එවන් පසුබිමක් මත සැකකරු සතුව තිබූ දත්ත අනුව එකී ප‍්‍රකාශය කර ඇති බවත් ජනාධිපති නීතිඥ ශීනාත් පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුව නැවත සැප්තැම්බර් 29 වැනිදා කැඳවීමටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියම කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment