ජිනීවා නුවරදී ඉන්දියාව 13 මතක් කිරීම

304

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඔහු බලයේ සිටි දස වසර තුළ ඔහුගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහසය වතාවක් සංශෝධනය කර ගත්තේය. මෙයින් මතභේදයට ලක්වුණේ 1987 නොවැම්බර් මාසයේ සිදුකරන ලද 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයයි. 1987 ඉන්දු – ලංකා ගිවිසුම අනුව යමින් ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත්සභා ක්‍රමය පිහිටුවන ලද්දේ 13 සංශෝධනය අනුවය.

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තේමාව වූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රට වලින් සැදුම්ලත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණ්ඩායම විසින් සම අනුග්‍රහය දක්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනා කෙටුම්පත පසුගිය 14 වැනිදා ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. උග්‍රවන ආහාර අනාරක්ෂිත භාවය, දැඩි ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ ගෘහාශ්‍රිත ආදායම් අඩුවීම ඇතුළු ආර්ථික අර්බුදයේ බලපෑම් පිළිබඳව යෝජනා කෙටුම්පතෙන් අවධානය යොමු කර ඇත. කෙටුම්පත් යෝජනාව තුළින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට පවතින ආර්ථික අර්බුදයට හා දේශපාලන මානව හිමිකම් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ලෙසයි.

 ජිනීවා සමුළුවත් සමගම දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වටයකින් කරලියට පැමිණ ඇති බව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබාදීමට පොරොන්දු වූ දේශපාලන විසඳුම ලබා නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට සහභාගි වෙමින් ජිනීවා හි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ මහතා ප්‍රකාශ කිරීමත් සමගය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලය බෙදීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම තුළින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට ඇති කැපවීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්ව නැතැයි පාන්ඩේ මහතා මෙහිදී අවධාරණය කර තිබිණි. ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වී ඇති මානව හිමිකම් යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට ඉඩ තිබියදී පාන්ඩේ මහතා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ලංකා ආණ්ඩුවට යම් පණිවිඩයක් ලබා දීම සහාය. ඒ අනුව ඉදිරියේදී මානව හිමිකම් යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ඉන්දියාව බොහෝ විට ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවලදී තුන්වරක් ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර දෙවරක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

 2021 ජනවාරියේ දී මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් මෙලෙස ප්‍රකාශ කර තිබිණි. “ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අපගේ සහයෝගය දිගු කලක් තිස්සේ පවතින අතර ඇත්ත වශයෙන්ම ජනවාර්ගික සමගිය දිරිගැන්වීම සියලු දෙනාගේම දේශපාලන අභිප්‍රායයි. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය පිළිබඳ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන්නේ ශ්‍රී ලංකාවේම උන්නතිය වෙනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව අර්ථවත් බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම් එයට එක හා සමානව බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය නිසැකවම ඉදිරියට යනු ඇත,” එවක පැවතියේ රාජපක්ෂ ජනපතිවරයාගේ පාලන සමයයි. ඔහු 13 ක්‍රියාත්මක කිරීම කෙරෙහි උනන්දුවක් දැක්වූ අයෙක් නොවීය. එය වඩා හොඳ දෙයකි. නමුත් වික්‍රමසිංහ ජනපතිතුමා මේ ගැන කවර ස්ථාවරයක් දරන්නේද යන්න පැහැදිලි නැත. ජිනීවා සමුළුව පැවැත්වෙන බොහෝ අවස්ථාවල ඉන්දීය නියෝජිතයා 13 ගැන කතා කිරීම ප්‍රකට කරුණකි. 13 ක්‍රියාත්මක නොකිරීම ඉන්දියාවේ කණස්සල්ල වුවත් මෙරට බහුතරය එයට එකඟ නොවේ. දෙමළ ජනතාවටද ඒ ගැන උනන්දුවක් නැත. ත්‍රස්තවාදය අවසන් ව ඇති නිසා ඔවුහු සතුටින් වෙසෙති. පසුගිය කාලයේ පැවති අරගල සඳහා උතුරු නැගනහිර ජනතාව සම්බන්ධ වූයේ නැත. ඔවුන් දැක්වූයේ උදාසීන බවකි. උතුරෙන් ගාළුමුවදොරට පැමිණියේ කොටි හිතවාදී කණ්ඩායම් පමණි. දකුණෙන් සම්බන්ධ වූ බහුතරය අරාජිකත්වය ප්‍රියකරන්නෝ විය. එය වෙනම කතාවකි. කවරක් නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළා කියා දෙමළ ජනයාගේ බඩ පිරෙන්නේ නැත. ඇත්තෙන්ම පළාත් සභාවලට ඉඩම් බලතල නැති අතර ඉන්දියාවට අවශ්‍ය පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතලද ලබා දීමටය. දෙමළ ජනතාවට සම අයිතිය දෙන්න යැයි ඉන්දියාව නිතරම කියයි. සිංහලයා හා සමානවම දෙමළ වැසියන් සතුටින් ජීවත්වෙයි. නමුත් හිතේ අමාරු සුව කිරීම වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකිය.

 ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඔහු බලයේ සිටි දස වසර තුළ ඔහුගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දහසය වතාවක් සංශෝධනය කර ගත්තේය. මෙයින් මතභේදයට ලක්වුණේ 1987 නොවැම්බර් මාසයේ සිදුකරන ලද 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයයි. 1987 ඉන්දු – ලංකා ගිවිසුම අනුව යමින් ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත්සභා ක්‍රමය පිහිටුවන ලද්දේ 13 සංශෝධනය අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නීතිගත කරනු ලැබ ඇති නමුත් අදාළ බලතල පළාත් සභාවලට නොපවරණ බවට මෙන්ම, එම සමස්ත ආකෘතියම අහෝසි කළ යුතුය යන විවාදය එම සංශෝධනයෙන් දශක තුනකට පසුවත් තවමත් නොවිසඳුන තත්ත්වයක පවතී. 1987 අගෝස්තු 18 වැනි දින ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉලක්ක කර ගත් බෝම්බයක් පාර්ලිමේන්තුව තුළ පුපුරා ගියේ ඉන්දු – ලංකා ගිවිසුමට විරෝධය පළ කිරීමක් වශයෙනි. ලලිත් ඇතුලත්මුදලි මහතා 1987 ක්‍රියාත්මක කළ වඩමරච්චි හමුදා ක්‍රියාන්විතය ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට තුඩු දුන් බව එවකට ඉන්දීය මහ කොමාසාරිස් ලෙස ලංකාවේ කටයුතු කළ ජේ. එන්. ඩික්සිත් රචනා කළ “කොළඹ භූමිකාව” කෘතියේ 126 වැනි පිටුවේ සඳහන් වී ඇත. යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනයේ වැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ නැව් මඟින් ලංකාවට එවමින් සම්බාධක කඩා බිඳ දැමීමට රජීව් ගාන්ධි මහතා පියවර ගෙන තිබුණේ 1987 ජුනි 02 වැනිදා ය. එදින මධ්‍යම රාත්‍රියේ භාණ්ඩ රැගත් ඉන්දීය බෝට්ටු යාපනය අවට වෙරළට සේන්දු විය. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සන්නද්ධ බෝට්ටු විසින් මෙම සහනාධාර රැගත් බෝට්ටු ආපසු හරවා යවන ලදී. ඉන් අනතුරුව ජුනි 4දා ඉන්දීය ගුවන් යානා මඟින් ආහාර සහ ඖෂධ මෙටි්‍රක් ටොන් 25ක් යාපනයට හෙළනු ලැබුවේ යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් එල්ල විය හැකි ප්‍රහාරවලට මුහුණදීම සඳහා දකුණු ඉන්දීය ගුවන් කඳවුරු පවා සීරුවෙන් තබමිනි. ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4 වැනිදා පස්වරු 2.30ට ඉන්දීය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දීය රජය එදින පස්වරු 3.30ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස් තිලකරත්න එදිනම පස්වරු 2.55ට කොළඹ සිටින විදේශ ඇමැති ඒ. සී. එස්. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු කියාමාර්ගයක් නොගැනීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇති බවය. ඉන්දීය බලහත්කාරය නිසා ජනපති ජයවර්ධන අසරණ විය. ඒ වන විට රටම ගිනිගෙන තිබිණි. කොටින් ම කිවහොත් එවකට ලංකාවේ හිටපු අගමැති ආර්. ප්‍රේමදාස මහතා, ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ඇතුළු ඇමැතිවරුන් රජීව් ගාන්ධි මහතා පිළිගැනීමේ උත්සවයට හෝ තේපැන් සංග්‍රහයට සහභාගි වූයේ නැත. ඊට හේතුව ඉන්දු – ලංකා ගිවිසුම කෙරෙහි ඔවුන් තුළ පැවැති විරෝධයයි. එහෙත් පසුව ලංකාවට හමුදා ඒවා ඉන්දියාව කරගත්තේ බලවත් මෝඩකමකි. උතුරු නැගෙනහිර දී ඉන්දීය සෙබළුන් 1200ක් මරණයට පත්විය. අවසානයේ රජිව් ගාන්ධි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවසන් ගමන් ගියේය.

 ඉන්දියාව තවදුරටත් ලංකාවට ආධාර සපයන්නේ නැති බව පසුගිය සතියේ නිකුත් වූ රොයිටර් වාර්තාවක සටහන්ව තිබිණි. ලංකාව ඉතාම නරක ලෙස ආර්ථික අර්බුදයට ලක්ව සිටි පසුගිය මාස වල ඉන්දියාව ඩොලර් බිලියන 04 පමණ ආධාර ලබා දුන් බව අප අමතක කළයුතු නැත. නමුත් ඒ නිසා අපට 13 ක්‍රියාත්මක කිරීම නම් සිදු කළ නොහැකිය. ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රහ්මණ වංශිකයන්ට නම් 13 අවශ්‍ය වේ. මනි පාන්ඩේ ජිනීවාවලදී කියන්නෙත් දිල්ලියෙන් එවුණු පිටපතය. එහෙත් ඉන්දියාව ලංකාව සම්බන්ධව විවේචන එල්ල කරද්දී චීනය හා පාකිස්තානය ලංකාව වෙනුවෙන් පෙනී සිටී. පාකිස්තානය ආසියානු කුසලානයේදී ලංකාවට පරාජය වුවත් ජිනීවාවලදී දෙරටම එකම මතයක සිටී. එහෙත් ඉන්දියාව අහක බලාගෙන සිටී.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment