ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව තනිවී නෑ

107
  • අගමැති දිනේෂ් ගුණවර්ධන

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රට මුහුණ දුන් තත්ත්වය මත ශ්‍රී ලංකාව තනිවෙලා යැයි කියන කාරණාවක් මතු නොවෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

හිටපු විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජිනීවා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සිය මතය ඊයේ දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ අපේ හිටපු විදේශ ඇමතිතුමා හදිසියේ ප්‍රකාශයක් කරා. එතුමාත් හිටපු විදේශ අමාත්‍යවරයෙක්, මමත් හිටපු විදේශ අමාත්‍යවරයා හැටියට අපි දෙදෙනාම දන්නවා අපේ රට මුහුණ දෙන මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඇති අර්බුදය ගැන. අපි අනුගමනය කර තිබෙන වැඩ පිළිවෙළේ ප්‍රගතිය සහ එහි ප්‍රතිඵල ගෙන ඒමේ ගැටලු. ඔබතුමා ඉතා පැහැදිලිව ඒක දන්නවා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් රාශියක් නිදහස් කර යැව්වා. ඉතිරි සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා වූ ක්‍රියා මාර්ගයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලි මඟපෙන්වීමක්, ප්‍රතිඥාවක් කර තිබෙනවා. සබි්‍ර ඇමතිතුමා එය ජිනීවාවලදී පැහැදිලිව ඉදිරිපත් කළා. ඒ පළමු කාරණය, මේ කාලයත් එක්ක ගැටලු.

දෙවන කාරණය, අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා ඔබතුමත් මමත් එකම කාරක සභාවක ඒ කෙටුම්පත සකස් කළා. දැන් ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඒ කැබිනට් මණ්ඩල අනුමැතිය නීතිය බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවරවල් අධිකරණ ඇමතිතුමා විසින් ගන්නවා. ඒ බවත් පැහැදිලි කැබිනට් අනුමැතිය දීලා ඒ පියවර අරගනිමින් තිබෙනවා. ඉතා ඉක්මනින් ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් ඔබතුමා ඒ පිළිබඳ ඉතා පැහැදිලිව කාරණාව දන්නවා එය ඉක්මනින් ඉටු කිරීමට අපි රජය හැටියට තීරණය කර තියෙනවා.

තුන්වෙනි කාරණය, මේ බරපතළ ප්‍රශ්නයකදී අර්ථනිරූපනය වැරදී ආකාරයට ලබා දීමෙන් මං හිතනවා රට නොමඟ යවන්න පුළුවන්. මං විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි ඇමතිතුමා අපේ මිත්‍ර රටවල් ඇතැමෙක් ඡන්දය දුන්නේ නෑ කියනවා. එතුමා විදේශ ඇමති කාලයේත් සමහර රටවල් ඡන්දය දුන්නේ නෑ. මම විදේශ ඇමති කාලයේත් ඡන්දය දුන්නේ නෑ. ඒ ඒ ලංකාව එක්ක අමනාප වෙලා නෙමෙයි. ඔබතුමා ඒක දන්නවා අත්දැකීම් ලබපු කෙනෙක් හැටියට මමත් ඒ අත්දැකීම් ලබපු කෙනෙක් හැටියට. යම් යම් රටවල් යම් යම් ප්‍රතිපත්ති අනුව, තමන්ගේ ජාතික ස්ථාවරයන් අනුව අභ්‍යන්තරව හා තමන්ගේ ජාත්‍යන්තර මිත්‍රත්වය අනුව ඡන්දය දීමේ දී විවිධ පිළිවෙත් අනුගමනය කරනවා.

නමුත් ප්‍රධාන වශයෙන් ඇමතිතුමා කිව්වා විසි දෙනෙක් ඡන්දය පාවිච්චි කළේ නැහැ. ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දීමට ඉදිරිපත් වුණේ විස්සයි. මම කියන්නේ ශ්‍රී ලංකාව තනිවෙලා තියෙන කාරණාව මතුවෙන්නේ නෑ. මොකද, අපේ මිත්‍රත්තවය මේ හැම රටක් එක්කම අපි අඛණ්ඩව ගෙනියනවා. ඒ මිත්‍රත්වයේ ප්‍රතිඵල අපේ රටට ලබාගන්න පුළුවන්කම තිබෙනවා. ඒ රටවල් කිසිවක් ශ්‍රී ලංකාව එක්ක කරන වෙළෙඳ හෝ වෙනත් විශේෂිත රැකියා ආදී ගනුදෙනු ආධාර ගනුදෙනු කිසිවකට අත තියලා නවත්තලා නෑ.

ඉතින් ඒකට මුළු පාර්ලිමේන්තුවම සතුටු වෙන්න ඕනේ. ඒ බවක් කිසිවිට කවුරුවත් ප්‍රකාශ කරේ නෑ. ඉතින් හිටපු විදේශ ඇමැතිතුමාට මම සිහිපත් කරන්න කැමැතියි මෙය අඩුපාඩුවක්. ජිනීවාවල අපට හානිදායක කියලා හිතෙන තත්ත්වය වෙනස් කරගැනීමට අපි අරන් තියෙන පියවරවල් මම පැහැදිලි කළා. ඔබතුමයි මමයි දෙදෙනොම විපක්ෂනායකතුමත් සතුටු වෙන්න ඕනේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment