ජිප්සීස් නායක සුනිල් අභාවප‍්‍රාප්ත වෙයි – කොවිඩ් සුව වී ගෙදර ගිය පසු නියුමෝනියාව වැළදීලා …..

346

* I don’t know why….. මෙහෙම වෙන්නෙ ඇයි?

*අවසන් කටයුතු ඊයේම සිදු කෙරේ

ජිප්සීස් නායක සුනිල් අභාවප‍්‍රාප්ත වෙයි - කොවිඩ් සුව වී ගෙදර ගිය පසු නියුමෝනියාව වැළදීලා .....

මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් අනුපමේය කාර්යභාරයක් ඉටුකළ ප‍්‍රවීණ ගායකයකු සහ සංගීතඥයකු වූ සුනිල් පෙරේරා මහතා ඊයේ (06දා) අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

මෙරට කණ්ඩායම් සංගීත කේෂ්ත‍්‍රයේ පුනරුදයක් ඇතිකළ සුනිල් පෙරේරා මහතා මියයන විට 68 වැනි වියේ පසුවිය.

ජිප්සීස් නායක සුනිල් අභාවප‍්‍රාප්ත වෙයි - කොවිඩ් සුව වී ගෙදර ගිය පසු නියුමෝනියාව වැළදීලා .....

ඒ මහතා කොවිඞ් ආසාදනය වීමෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 05 වැනිදාය. එහිදී අසනීප තත්ත්වය උත්සන්න වීමෙන් දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කරන ලද සුනිල් පෙරේරා මහතා සති තුනකට ආසන්න කාලයක් ඇවෑමෙන් සුවය ලබා නිවසට පැමිණ සිටියේය.

දින කිහිපයක් නිවසේ විවේක සුවයෙන් ගතකළ සුනිල් පෙරේරා මහතාගේ පෙනහළුවල යළි මතුවූ ආසාත්මිකතාවක් හේතුවෙන් පසුගිය 03 වැනිදා ඔහු යළි රෝහල්ගත කරනු ලැබීය. එහිදී අසනීප තත්ත්වය උග‍්‍රවීම හේතුවෙන් ඔහු යළිත් වරක් රෝහල් දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කෙරිණි.

වරක් කොවිඞ් මාරයා පැරදවූ සුනිල් පෙරේරා මහතා මෙවර නිව්මෝනියා තත්ත්වය උග‍්‍රවීම හේතුවෙන් ඊයේ අලූයම් කාලයේ සදහටම දෙනෙත් පියා ගන්නේ මෙරට සංගීත කේෂ්ත‍්‍රයට කිසිදා පිරිමැසිය නොහැකි බරපතළ හිඩැසක් ඉතිරි කරමිනි.

ඇන්ටන් පෙරේරා සහ ඩොරින් පෙරේරා යුවළට දාව අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මෙලොව එළිය දකින්නේ 1952 වසරේ සැප්තැම්බර් 14 වැනිදා මොරටුවේදීය. එ් දස දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙසයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ද, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ද ලැබූ ඔහු ගායකයකු, වාදකයකු, ගීත රචකයකු හා සංගීතඥයකු ලෙස කටයුතු කළේය.

ශාන්ත පීතර විද්‍යාලයේ ඔහුගේ සමකාලීන ශිෂ්‍යයන් අතර ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක රෝයි ඩයස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, වෛද්‍ය වසන්ත පෙරේරා, වෛද්‍ය ඔමා පීරිස්, වෛද්‍ය ඇන්තනී සෙනෙවිරත්න, ප‍්‍රියාන් රණසිංහ පියතුමා, නාවික කොමදෝරු හර්ෂ මායාදුන්න සහ ප‍්‍රකට වෘත්තික ලක්ෂ්මන් පෙරේරා වැන්නවුන් වෙති. සුනිල් පෙරේරා මහතා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන විට සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක දුලිප් මෙන්ඩිස්, ඬේමියන් අපොන්සු වැන්නවුන් ඔහු සමග එකට අධ්‍යාපනය ලැබූහ.

සිය පියා විසින් ආරම්භ කරන ලද ජිප්සීස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු එකොළහක්ව සිටියදී සුනිල් පෙරේරා එක්වන්නේ 1969 වසරේදීය. ඔහු සිය සොහොයුරන් වූ නිහාල්, ලාල්, නිමල්, පියල් සහ තවත් ඥති සොහොයුරන් එක්ව ජිප්සීස් මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් බවට පත් කළේය. 1970 දශකයේ සොහොයුරු පියල් පෙරේරා සමග නිර්මාණය කළ ළිඳ ළඟ සංගමය, අම්මා අම්මා මේ මට ගීතයන් ඉතා ජනප‍්‍රිය වූ අතර, 80 දශකයේ ඉදිරිපත් කළ කුරුමිට්ටෝ එවක අතිශය ජනප‍්‍රිය කැසට් පටයක් විය. ඊට අමතරව 1974 වසරේ ඉදිරිපත් කළ කැඩපතකින් සහ නෝනේ මගේ සුදු නෝනේ, 1987 වසරේ ඉදිරිපත් කළ ලූණු දෙහි, 1989 වසරේ ඉදිරිපත් කළ ඔයේ ඔජායේ මෙන්ම 1987 වසරේ ඉදිරිපත් කළ පිටි කොටපන් නෝනේ මෙන්ම සිංඤෝරේ මෙරට කණ්ඩායම් සංගීතයේ සදාතනික සිහිවටන බවට පත්වී හමාරය.

ජීවිතේ කැපකරලා දිව රැ නිදි නොබලා
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
දුන්නත් ඉතිං එදා මනාප නැතිව මෙදා
පැරදිලා අපේ මැතිතුමා..

මේ ගීතය මෑත කාලයේ අතිශය ජනප‍්‍රිය ගීතයක් බවට පත්විය.

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැකගත්තා
වැද්දත් ඇවිදින් අප සැම පිළිගත්තා
ප‍්‍රීතියෙන්

ඕයේ ඔජායේ ඔයේ ඔජායේ…

ඕයේ ඔජායේ ඔයේ ඔජායේ…..

මේ ගීතය බාල මහලූ කා අතරත් අතිශය ජනාදරයට පත්විය. එවන් ගීතයන් ඔහු අපේ සංගීත කේෂ්ත‍්‍රයට දායාද කළේය.

1981 වසරේ ගීතා කුලතුංග සමග විවාහ වූ සුනිල් පෙරේරා, සජිත්, ගයාන් සහ රෙහානා සහ මනීෂා යන දූ දරුවන් සිව්දෙනකුගේ පියෙකි. සංගීත කේෂ්ත‍්‍රයේ කෙළින් කතා කරන කලාකරුවකු ලෙස ඔහු සිය මතවාදයන් නොබියව ඉදිරිපත් කළේය. තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමින් ජනහද දිනාගත් සුනිල් පෙරේරා මෙරට බයිලා සංගීතය ප‍්‍රචලිත කිරීමටද ප‍්‍රමුඛ කාර්යභාරයක් සිදුකළේය. සමාජයේ සිදුවන විවිධ අකටයුතුකම් වැරදි සිය ගීතයෙන් විවේචනයට ලක්කළේ ජනතාවට සිතීමට යමක් එක්කරමිනි.

‘ශක්තිය ඔබයි අම්මේ’ චිත‍්‍රපටය වෙනුවෙන් ‘ලෝ මුදුනේ……..’ ගීතය ගයමින් සිනමා පසුබිම් ගීතයට අවතීර්ණ වූ ඔහු ඉන්පසු මෑතක තිරගත වූ ‘කෝ මාක් නෝ මාක්’ චිත‍්‍රපටයේ විජය නන්දසිරි වෙනුවෙන් ඔහු ගැයූ ‘පක්ෂියා රජ වුණු දවසට ලක්ෂෙට කොඩි වැනේ………’ නම් ගීතය මතකයේ රැඳේ.

ඉකුත් 2019 වසරේ ඔහුගේ උපන්දිනයට දෙදිනකට පෙර තිරගත වීම ඇරඹුණු ‘ජය ශ‍්‍රී ඇමතිතුමා’ චිත‍්‍රපටයේ ද ඔහු ශ‍්‍රියන්ත මෙන්ඩිස් වෙනුවෙන් ‘දියවන්නාවේ……..’ නම් ගීතයක් ගායනා කළේය. රන්ජන් රාමනායකයේ වන්ෂොට් වන් චිත‍්‍රපටයේ පුෂ්පකුමාර නමැති අමාත්‍යවරයකුගේ චරිතයක්ද නිරූපණය කළ ඔහු එම චිත‍්‍රපටයට ගායනයෙන්ද එක්විය.

සංගීත ශිල්පීන්ගේ හිමිකම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු නිරතුරුව හඬ නැගුවාක් මෙන්ම ඉන් ඔබ්බට ගොස් ජනතා වේදිකාවේ හඬ අවදි කරන්නත් කැපවූ කලාකරුවකු ලෙස ප‍්‍රසාදයට පත්විය. තම නිර්මාණයට දායක වූ ශිල්පීන් වෙනුවෙන් ගීත රචකයාගේ සිට සියලූම ශිල්පීන් වෙනුවෙන් හිමිවිය යුතු බුද්ධිමය හිමිකම් වෙන්ම වටිනාකම් හිමිකර දීමට නිරතුරුව පෙනී සිටියේය.

ජීවිතයේ යථාර්ථය සංගීතය තුළින් ප‍්‍රකට කළ එ් ගායකයා වාදකයා ගීත රචකයා සංගීතඥයා මේ සියල්ලටම ඉහළින් කෙළින් කතා කරන හිතහොඳ මිනිසා සිය 68 වැනි ඡන්ම දිනයට හරියටම දින අටක් ඉතිරිව තිබියදී මෙරට සංගීත ක්‍ෂේත‍්‍රයට අහිමි විය. ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඊයේ (06දා) සවස 6.00 ට බොරැුල්ල කනත්ත ආදාහනාගාරයේදී පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකෙරිණි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment