ජීප් රථයක් තෑගි ඇදී ඇතැයි පවසා තරුණයකුගේ ලක්‍ෂ තුනකට විදලා

276

දිනුමක් ලෙස ඇදී ඇති ජීප් රථයක් තමා සන්තක කර ගැනීමට බදු මුදල් ලෙස ගෙවිය යුතු යැයි දැන්වූ රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් ඊසි කෑෂ් කළ තරුණයකුට අවසානයේ සියල්ල අහිමි වී නීතියේ පිහිට පැතීමට සිදු වූ පුවතක් ගම්පොල පොලිසියෙන් වාර්තා වේ.

ගම්පොල පුස්සැල්ලාව හෙල්බොඩ ප‍්‍රදේශයේ පදිංචි මෙම තරුණයාට ලැබී ඇති දුරකථන ඇමතුමකින් කියවී ඇත්තේ ඔබ පාවිච්චි කරන දුරකථන සිම්පත අයිති සමාගම මගින් අදින ලද දිනුමකට අනුව විශාල තෑග්ගක් සමඟ බොලේරෝ ජීප් රථයක් ලැබී ඇති බවයි.

ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී පැහැදිලි කර ඇති ඔවුන් අවසානයේ එම තෑග්ග හෙළිකර එය ලබා ගැනීමට නම් රජයේ බදු, දිනුම් හිමියා විසින් ගෙවිය යුතු බව දන්වා ඇත.

එහිදී ජීප් රථය මෙම තරුණයාට ලැබෙන දිනය දන්වා ඇති අතර එය ගම්පොල නගරයට ගෙනැවිත් දෙන බව පවසා තිබේ. මෙම දුරකථන සමාගමේ ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් ජීප් රථය රැුගෙන ගම්පොල නගරයට පැමිණීමට පෙර මෙම බදු මුදල ලබා දෙන දුරකථන අංකවලට ඊසි කෑෂ් කළ යුතු බව ද දැන්වීම මත තරුණයා මුදල් රැුගෙන හැකි ඉක්මනින් ගම්පොල නගරයට පැමිණ ඇත.

ඒ අනුව මොවුන් දුරකථන අංක 30 ක් ලබා දී එක් අංකයකට රුපියල් දස දහස බැගින් යවන ලෙස දන්වා ඇත. තරුණයා එම කටයුත්ත සිදුකර සමාගමට දැන්වූ පසු ඔවුන් පවසා ඇත්තේ අප කොළඹ සිට පැමිණෙමින් සිටින බවත්, ගම්පොල නගරයට වී සිටින ලෙසත් ය.

ඒ අනුව තරුණයා පැය ගණනාවක් ගම්පොල නගරයේ රැුඳී සිට ඇති අතර බොහෝ වේලා ගතවන නිසා මොහු වරින්වර එම දුරකථන අංකයට කතා කිරීමට උත්සාහ කළ ද එය භාවිතයේ නොමැති බව හෙළිවීම නිසා අවසානයේ තරුණයා නිවසට ගොස් ඇත. පසුව මිතුරන් සමඟ එම දුරකථන සමාගමේ ප‍්‍රාදේශීය කාර්යාලයට ගොස් මේ බව විමසුවද එවැනි දිනුම් ඇදීමක් තම සමාගම මගින් සිදු නොකරන බව පැවසීම නිසා ඔහු මෙසේ නීතියේ පිහිට පතා තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න මහතා, මෙවැනි මුදල් වංචා කිරීම රට තුළ විශාල ලෙස පවතිනවා. මේ නිසාම ඒ පිළිබඳව අප විසින් ජනතාව නිතර නිතර දැනුවත් කර තිබෙනවා. නමුත් මිනිසුන්ගේ තන්හාව නිසා කවුරු හරි දෙයක් දෙනවා කීව ගමන් ඒ ඔක්කොම අමතක වෙනවා. මේ නිසා මේ සිද්ධි කාටවත් නොකියාම ක‍්‍රියාකිරීම නිසා මේ වංචාකාරයන්ට මේ අය අහුවෙනවා.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment